සම්පත් මනම්පේරි රිමාන්ඩ්….

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

ඒ අනුව ඔහු මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළැඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණි.

මීට අමතරව අදාළ ඉඩමේ තිබී හමුවූ අවි ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි නමැත්තා ඔක්තෝබර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙසද වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පසුගිය 17 වනද දහවල් සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාර වුණි.

පසුව ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබාදී තිබුණි.

තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවෙයි….

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (22) සොයාගත් අතර එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

උපන් දිනය දා තරුණයෙකු එලොව යැවූ බීමතින් රිය පදවා පෙර වැරදි කිහිපයක්ද තිබූ බේබදු රියදුරු එළබෙනෙ ඔක්තෝබර් 02 දක්වා රිමාන්ඩ්…

අධික වේගයෙන් දාවනය වූ ලොරි රථයකට යතුරුපැදියක් ගැටී එම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු (21) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන්නතුරුව (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබිණ ,

අදාළ සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු (22) සවස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපර්ශවයේ කරුණු සලකා බැලූ නුවරඑළිය මහේස්ත්‍රාත් කේ.ජී.බී.එච්.දර්මදාස මහත්මිය ලොරි රථයේ රියදුරු එළඹෙන ඔක්තෝබර් මස 02 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය ,

මෙහිදී සැකකාර ලොරි රථ රියදුරාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජීව කෞශල්‍ය ඩයස් මහතා ඉදිරිපත් වූ අතර අනතුරින් මියගිය තරුණයාගේ පාර්ශවය වෙනුවෙන් නුවරඑළිය රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රථ වාහන අංශයේ නිලධාරින්  අධිකරණය වෙත කරුණු දැක්විය ,

මෙහිදී නුවරඑළිය රථ වාහන පොලිසිය කරුණු දක්වමින් කියාසිටියේ අනතුරට හේතුව වශයෙන් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහනය අධික වේගයෙන් පැදවූ බවත් එලෙස අධික වේගයෙන් ධාවනය වූ වාහනය පැදවූ රියදුරා බීමතින් සිටි බවය ,

තවද ලොරි රඨ්ගයේ රියදුරු මීට පෙරද බීමතින් රිය ධාවනය කර කිහිප වතාවක්ම අධිකරණයේ වැරදිකරු වී ඇති බවය ,

සිදුවූූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ නුවරඑළිය හාවාඑළිය පදිංචි වයස අවුරුදු 21ක් වූ පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු මනෙත් අපූර්ව නම් තරුණයා වේ ,

පෙරේදා  (21) රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ  නුවරඑළිය උඩ පුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය සිටි හංදිය දැව සංස්තාව අසලේ වයි වංගුව අසලදීය ,

තම නිවසේ සිට හාවාඑළිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා සිටි හංදිය වයි වංගුවෙදී යතුරුපැදිය නුවරඑළිය නගරය දෙසට හරවනවාත් සමග එම දිශාවටම උඩ පුස්සල්ලාව දෙස  සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව හා අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිටි බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත ,

අනතුරෙන් මිය ගිය තරුණයා සහ ලොරි රථය ධාවනය කළ රියදුරා යන දෙදෙනාගේම උපන්දින දින යෙදී ඇත්තේ අනතුරට පත් තරුණයා මියගිය ඒයේ (22) දින වීම අහඹු දෛවෝපගත සිදුවීමකි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

රාජ්‍ය සේවයේ වැඩ පහසු කරන්න Government SuperApp එයි…

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේ සුපර්ඇප්’ යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර තිබේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර්ඇප්’ යෙදවුම (Government SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ ඇත.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනු ඇත.

ඒ අනුව, ‘රජයේ සුපර්නැප්’ (Government SuperApp) යෙදවුම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500ක් භාවිතයෙන් 2025 – 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

පෙම් සුව විඳි තරුණ යුවළක් මුහුදට ගසාගෙන යයි – බේරාගන්න දැරූ උත්සාහය කැමරාවේ…

ගාල්ල – කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට එම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් කටයුතු කර තිබේ.

ඊයේ සවස සිදුව තිබූ එම අනතුර අසල වූ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබුණි.

ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීම සඳහා පැමිණ තිබූ මෙම යුවළ මුහුද සැරවීමත් සමඟ එකවරම මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඒ මොහොතේ ඕලන්ද ගොඩනැඟිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරී ගාමිණී මහතා විසින් අදාළ සිදුවීම දැක වහාම මුහුදට පැන තිබේ.

පසුව අවට සංචාරක ආපනශාලාවල සිටි තරුණ පිරිසක් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා යුවළ බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට ලක්වූ තරුණිය හා තරුණයා අහංගම සහ ලණුමෝදර පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘සපුමල්’ ට වෙඩි තියලා – තුවාල බරපතළයි…..

හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගෙන සිටින ‘සපුමල්’ ලෙස හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද සඳහන්ය.

වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය වන්නේ, දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි ඇති බවය.

වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා ඇති අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බව ඇතාව දුටු සංචාරකයින් පවසයි.

ඉක්මනින් ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වේ.

වෙඩි වැදී සිටින ඇතා කොරගසමින් කවුඩුල්ල වැව් තාවුල්ලේ ගමන් කරන අයුරු ඊයේ (22) එහි ගිය සංචාරකයින් පිරිසක් විසින් පටිගත කර තිබුණි.

තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට…..

තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි.

පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල  කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන් වෙයි.

තංගල්ල, සීනිමෝදර ප්‍ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලිසියට ලද තොරතුරු මත ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක තිබී අදාල අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

එහිදී එක්ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍ය වලට අමතරව ටී – 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකල නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය  විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවටයි පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

රෝහල්ගතව සිටිය දී ඊයේ දිනයේ මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බවද  වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක්ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව  පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරයට QR කේතයක් එයි….

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවත් ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

ඒ අනුව ඉදිරියේදී ලබා දෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තා පොහොර ලබා දීමේ නව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ වගේම අපේ තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් මේ 2025 අවුරුද්දට තේ පොහොර සහනාධාරය ලබා දෙන්න අපි වෙන් කරලා තියෙනවා.  විශේෂයෙන් 75%ක් ඉන්නේ කුඩා තේ වතු හිමියෝ. ඔවුන් ඉලක්ක කරලා රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාර ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒක QR කෝඩ් එකක් මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට රජයේ පොහොර සහනාධාරය ඇතුළු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් පොහොර සහනාධාරය ලබා ගැනීමේ හැකියාවත් එක්ක අපි මේ මාසේ 26 වැනිදා කළුතර, මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේදී ගොවියන්ට මේක ලබා දෙමින් මේ අවුරද්දේ ඉතා ඉක්මනින් තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප…

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- මුදල් ඇපයක හා ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා මොරටුව මහ නගරසභාවට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර ඇත.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගරසභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්…..

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.