ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි….

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතක. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරිත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් පවතිනවා. ලොව විවිධ කලාපවල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් පවතිනවා. නිරවි යුද්ධයෙන් පසු බිහිවූ ලෝකය දැන් වෙනස් වෙමින් පවතිනවා.”

“කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක් කලාපයක් වන්නේ ඉන්දියන් සාගරයයි.”

“වසර දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වුණා. ඉන්දියානු සාගරය සමාජයන් බෙදා වෙන් කරනවා වෙනුවට ඒවා එකිනෙක සම්බන්ධ කළා.”

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව එම සම්බන්ධතාවයේ පැරණිතම උදාහරණයක්.”

“ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් පමණ මෙම මුහුදු තීරය හරහා ගමන් කරන අතර, ලොව බහාලුම් ගමනාගමනයෙන් අඩක් පමණ එහි මුහුදු මාර්ග ඔස්සේ සිදුවෙනවා.”

“මෙම මාර්ගවලට තර්ජන එල්ලවූ විට, එහි ප්‍රතිවිපාක මුළු ලොවටම දැනේ. මෑතකාලීන ගෝලීය සිදුවීම් මෙම ස්ථාවරත්වය කෙතරම් බිඳෙනසුලු විය හැකිද යන්න අපට මතක් කර දෙනවා.”

“මැදපෙරදිග නොසන්සුන්තාවන් බලශක්ති වෙළෙඳපොළ සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි දිගින් දිගටම බලපාන අතර ප්‍රධාන බලවතුන් අතර උපායමාර්ගික එදිරිවාදිකම් සමුද්‍රීය කලාප තුළ වඩ වඩාත් දෘශ්‍යමාන වෙයි. මේ නිසාම, ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය යළිත් වරක් තීරණාත්මක වී තිබෙනවා.”

“උපායමාර්ගිකව සංවේදී කලාපවල පිහිටි රටවල් සඳහා, විදේශ ප්‍රතිපත්තිය සමතුලිතතාවය, දුරදක්නා නුවණ සහ විනය මගින් මෙහෙයවිය යුතුයි. අපගේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත යුතු අතර අපගේ සමුද්‍රීය කලාපය සුරක්ෂිත කළ යුතුයි.”

“ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ යටිතල පහසුකම් ඉන්දියාවේ ආර්ථික පරිමාණයට අනුපූරක වන අතර අපගේ රටවල් දෙකට එක්ව කලාපීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය ශක්තිමත් කළ හැකියි.”

“කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ අභ්‍යවකාශ තාක්ෂණය තවදුරටත් හුදු ආර්ථික අංශ පමණක් නොවේ. ඒවා ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය බලය හැඩගස්වන උපායමාර්ගික ක්ෂේත්‍ර වෙයි.”

“මගේ පරම්පරාවට උරුම වී ඇත්තේ ගෝලීය වෙනස්කම්වලට හුදෙක් ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, එය මෙහෙයවීමට සහ හැඩගැස්වීමට ඇති වගකීමයි.”

“එදිරිවාදිකම්වලට වඩා සහයෝගීතාවය ඉහළින් පවතින සහ ජාත්‍යන්තර නීතිය මගින් ස්ථාවරත්වය මෙහෙයවන ලෝකයක් ගොඩනැගීමේ වගකීමයි.”

“ඉන්දියන් සාගරය සැමවිටම පැවති ආකාරයටම – ශිෂ්ටාචාරයන් අතර පාලමක් ලෙස පැවතිය යුතුයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපයේ රටවල් මෙම මුහුදු තීරය විවෘත, සුරක්ෂිත සහ සහයෝගීතාවයෙන් යුක්තව පවත්වා ගැනීමට එක්ව කටයුතු කළ යුතුයි.”

“මන්ද, ඉන්දියන් සාගරය ස්ථාවර නම් ගෝලීය ආර්ථිකයද ස්ථාවර වනු ඇත.” 

“එය සාමයේ, සහයෝගීතාවයේ සහ පොදු සමෘද්ධියේ සාගරයක් ලෙස පවතින බව සහතික කිරීම අපේ පරම්පරාවේ වගකීමයි.”

බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක් අත්සන් තබයි…

බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත.

ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ.

එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් 124,412ක් අත්අඩංගුවට….

‘රටම එකට’ ජාතික මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් 30වනදා ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදුකර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද (18) රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහ් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි දරුවන් 1772ක් සහ ගැහැණු දරුවන් 81ක් සිටින බවය.

එමෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ද ඒ අතර සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධි වත්කම් පිළිබද සැකකරුවන් 196ක්, රැඳවුම් නියෝග මත 2,268ක් සිටින අතර, තවත් 1,840ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.

මේ අතර මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම්වලට අමතරව ගංජා කිලෝ 4,520ක්, හෙරොයින් කිලෝ 1,066යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ 1,930ක් සහ කොකේන් කිලෝ 270ක් මෙන්ම මත්පෙති 983,143ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බවය.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් ‘1818’ යන දුරකථන අංකය ඔස්සේ පොලීසියට ලැබෙමින් තිබෙන බවත්, ඊට අදාළ මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5කට රැඳවුම් නියෝග….

දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ, බහුදින යාත්‍රාවකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා අද (18) අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් පස්දෙනෙකුව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

ඉතිරි සැකකරුවන් 5දෙනාට මෙම මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද නියෝග කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී බහුදින ධීවර යාත්‍රවක ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග ධීවර යාත්‍රාව පසුගිය 12 වෙනිදා පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය.

එහි සිදුකළ විමර්ශන වලදී බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු උර 48ක් සොයාගැනීමට හැකිවිය.

ඉන් කිලෝග්‍රෑම් 478ක් අයිස් බවත්, ඉතිරි කිලෝග්‍රෑම් 176 හෙරෙයින් බවත් පොලීසිය පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගයට අමතරව පිස්තෝල වර්ගයේ ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 වර්ගයේ ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් සොයාගත් අතර, එය මහ මුහුදේදි නාවික හමුදාව සිය භාරයට ගත් වැඩිම ගිනිඅවි තොගයද විය.

නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග…..

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, අදාළ තොරතුරු ලබාදීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර ඇති බවය.

ඒ අනුව පහත අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දුරකථන අංක : 0112106767 / 0117296130

නොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්….

නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් පහත බැස ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති පසුබිමක, ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට වන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.

ඒ අනුව ඉකුත් මාර්තු 03 වැනිදා ගල්අඟුරු දහනයෙන් ගිගාවොට් 34.2ක විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ඇති අතර, එම අගය ඊයේ දිනයේදී එනම්, මාර්තු  17 වැනිදා ගිගාවොට් 26.2ක් දක්වා පහළ ගොස් තිබේ.

කෙසේ නමුත් එම වාර්තාවලට අනුව මාර්තු 03 වැනිදා ඩීසල් බලාගාර මගින් ගිගාවොට් 18.7ක විදුලි ධාරිතාවක් උත්පාදනය කර ඇති අතර, එම අගය මාර්තු මස 17 වැනිදා ගිගාවොට් 26ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින පසුබිමක විදුලි උත්පාදනයටත් මෙලෙස ඩීසල් බලාගාර වැඩි දායකත්වයක් ලබාදීම අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල කරනු ඇති බවට විශේෂඥයන්ගේ මතය වී තිබේ.

අල්ලස් ගත් අඩවි වන නිලධාරීන් ඇතුළුව 05ක් අත්අඩංගුවට….

අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, නිලධාරිනියක් සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි පළමු සැකකරු ලී මෝලක හිමිකරුවෙක්ය. ඔහු,

පැමිණිලිකරු විසින් ගෝනවල, කැලණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසෙහි උළුවහු, ජනෙල් සකස්කර ගැනීමට මිලදී ගත් දැව, ඉදිකරනු ලබන නිවසට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටුකර දීම සඳහා එම දැව මිල දී ගත් ලී මෝලේ හිමිකරුවන පළමු සැකකරු විසින් දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම්දීම මත එම නිලධාරීන්ට ලබාදීම සඳහා තුටු පඬුරක් ලෙස රු.10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම.

දෙවන සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරියෙක්ය. ඔහු,

පැමිණිලිකරු විසින් උළුවහු, ජනෙල් සකස්කිරීම සඳහා ලී මෝලෙන් ගෙන මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කර දීමේ රාජකාරී කටයුතු සඳහා සහය වීම් වෙනුවෙන් තුටු පඬුරක් ලෙස රු.1,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම.

තෙවන සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කරවනැල්ල) නිලධාරියෙක්ය. ඔහු,

ලී මෝලෙන් ගෙන මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කරදීමේ රාජකාරි කටයුතු සඳහා රු.10,000ක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් මුලින් ඉල්ලා පසුව, 2026.03.17 වන දින ලී මෝල වෙත පිටව ගොස් එම දැව කඳන් පරීක්ෂා කර ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට අවශ්‍ය රාජකාරී කටයුතු ඉටු කර දීම වෙනුවෙන් පළමු සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000ක මුදලක් අල්ලස් වශයෙන් භාර ගැනීම

හතරවන සැකකරු බිට්ටු වන (දැරණියගල) නිලධාරීයෙක්ය. ඔහු,

බලපත්‍රයට නිර්දේශය ලබාදීම වෙනුවෙන් පළමු සැකකරුගේ තුටු පඬුරක් ලෙස රු.3,000ක මුදලක් අල්ලස් වශයෙන් භාරගැනීම.

පස්වන සැකකාරිය වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරිනියක්ය. ඇය,

බලපත්‍ර සකස් කරදීමේ රාජකාරී කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තුඩු පඬුරක් ලෙස රු.1,000ක මුදලක් පළමු සැකකරුගෙන් අල්ලස් වශයෙන් භාර ගැනීම.

ඒ අනුව අදාළ සැකකරුවන් පිළිවෙළින් ඊයේ (17) පිළිවෙළින් ප.ව. 3.20, ප.ව. 3.42, ප.ව. 4.05, ප.ව. 4.32 සහ ප.ව 5.02ට පමණ පළමු සැකකරු, ඔහුගේ නමින් ඇති ලී මෝල තුල දී සහ අනෙක් සැකකරුවන් දෙහිඕවිට අඩවි වන කාර්යාලය තුළදී ද අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා රග්බි – කාගේ අතටද මේ ක්‍රීඩාව ගිහින් තියෙන්නේ?

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝලීන්ට රහසක් නොවේ. රටේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, සංගමයේ ඇතැම් තීරණ පෞද්ගලික වාසි සහ සමාජශාලා බලය වටා ගමන් කරන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

සංගමයේ සභාපති ලෙස කටයුතු කරන පවිත්‍ර ප්‍රනාන්දු මහතා විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා, සමාජ කණ්ඩායම් කිහිපයකට පමණක් වාසිදායක වන බවට ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනා අදහස් පළ කරති.

විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්න මතුවී තිබේ. රටේ ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, ජාත්‍යන්තරයේ පෞද්ගලික බලය හා තනතුරු සඳහා වැඩි අවධානය යොමු කර ඇති බවටද විවේචන පවතී.

විශේෂයෙන් කාන්තා රග්බි ක්‍රීඩාව සහ බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංවර්ධනය අද වන විට සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට බරපතල අනතුරකි.

මේ අතර, මේ සතියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජීය සත් සාමාජික රග්බි තරඟාවලිය සම්බන්ධයෙන්ද විවිධ සැක සහ ප්‍රශ්න මතුව තිබේ.

විදේශීය ක්‍රීඩකයන් ගෙන්වා ක්‍රීඩා කිරීම රග්බි ඉතිහාසයේ අලුත් දෙයක් නොවුවද, එය සාධාරණ හා පැහැදිලි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුය. නමුත් මෙම තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම්වලට එම අවස්ථාව නොලැබී, එක් කණ්ඩායමකට පමණක් විදේශීය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවී ඇත.

එමෙන්ම එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් පැමිණෙන UUDS කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වීම සහ ඔවුන් සමඟ විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කිරීම පිළිබඳවද ක්‍රීඩා ලෝලීන් අතර දැඩි සැකයන් පවතී.

අනිත් සියලු කණ්ඩායම්වලට විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට නොහැකි බව පවසන අතර, එක් කණ්ඩායමකට පමණක් එම අවස්ථාව ලබා දීමේ සාධාරණත්වය කුමක්ද?

ශ්‍රී ලංකා අන්තර් ක්‍රීඩා සමාජීය තරඟාවලියට විදේශීය කණ්ඩායමක් සහභාගී වීම සඳහා නීතිමය සහ පාලනමය පදනම කුමක්ද?

මෙවැනි තීරණ හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තව තවත් පසුබැසෙමින් පවතින බව බොහෝ දෙනා පවසති.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු කාලය මේයයි.

රග්බි ක්‍රීඩාව පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම් කිහිපයකගේ අයිතියක් නොවේ.

එය රටේ සියලු ක්‍රීඩකයින්ගේ, ක්‍රීඩා සමාජයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩාවකි.

එබැවින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාරදෘශ්‍යතාව, සාධාරණත්වය සහ ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනය සඳහා නිසි පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද තොරතුරු වාර්තා වෙමින් පවතී.

SLR-–-Tournament-Committee-Meeting-Minutes-5-March-2026-2

පාස්කු මහමොළකරුවන් රටට හෙළි කරන්න ගම්මන්පිල දින දෙයි….

ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි.

අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදු කර ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවත් එය එළැඹෙන මාර්තු මස 31 වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත්  උදය ගමන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා,

”පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා.. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා.. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්” 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ පැමිණිල්ල කල් යයි…

2022 වසරේ කොළඹ , නිදහස් චතුරස්‍රය අසල නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු 17වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබීය.

එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පැමිණිල්ල අගෝස්තු මස 17වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.