රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු….

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.

පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවේ.

මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසයි.

මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබේ.

එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇත.

ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටලු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.

තවද මේ වන විට රට තුළ මාසෙකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළ පරිදි ප්‍රධාන වශයෙන් කමිටු 4ක් පත් කර ඇත.

එහිදී,

*රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

*අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති කමිටුව පත් කර ඇත.

*අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධික්ෂණය කිරීම සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

*විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාදන සැලසීම් සඳහා කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.

ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු සහ අත්‍යාවශ්‍ය නිලධාරීන් ද පත් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

බදාදා නිවාඩුව පාසල්වලට බලපායිද ? අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්….

පවතින් අර්බුදකාරි තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතිමින් ඒ මහතා මේ බව පැවසීය‍.

එමෙන්ම අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ද හැකියාවක් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,

ප්‍රශ්නය – කොවිඩ් කාලේ වගේ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරනවා ද?

“එහෙම සැලසුමක් පිළිබඳවත් සාකච්ඡා කළා නමුත් තාමත් රට පුරා ඒකාකාරව අන්තර්ජාල පහසුකම් නෑ. ඒ නිසා වැඩි අවධානයක් යොමු කළේ නෑ. නමුත් විශ්වවිද්‍යාලවලට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවසර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරුවා.  බදාදා දිනය නිවාඩුවක් වුණත් ඒ වගේම අනිත් දින වලදී Zoom තාක්ෂණය ඔස්සේ ඒ අදාළ ලෙක්චර්ස් පැවැත්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා.”

ප්‍රශ්නය – ඉදිරියේ දී පැවැත්වෙන විභාග කල් යයිද ?

“අලුත් අවුරුදු නිවාඩුව පාසල්වලට එලැඹෙන අප්‍රේල් මාසසේ 10 වනදා සිට. ඒ දිනවල දී තමා මේ සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්නේ. මේ සියලුදෙයින් යම් විදියකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට වැළැක්වීමට හැකියාවක් නෑ. ඒක ලොකු දින ප්‍රමාණයකින් නෙමෙයි යම්කිසි ආකාරයකට දිනවකවානු ඒ තිබ්බ විදියට වඩා පසු වෙන් හැකියාව තිබෙනවා. “

වත්මන් තත්ත්වය ගැන ජනපති විශේෂ සාකච්ඡාවක….

රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඒ, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි.

මෙම සාකච්ඡාව සඳහා අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එහිදී බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ  විශේෂ අවධානය යොමු කෙරිණි.

රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබාදීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන පරිදි එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විමසා බැලූ බව සඳහන්ය.

ප්‍රධාන ක්ෂේත්‍රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අද දිනය තුළම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම, මෙවැනි තත්ත්වයකදී නිවසේ සිට රාජකාරී කිරීමේ  ප්‍රායෝගික හැකියාව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම  අවධානයට ලක් වූ අතර නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආයතන ප්‍රධානියා වෙත පැවරීමටත්, සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් යෝජනා කර තිබේ.

මතුවී ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්ම කටයුතුවලදී ගොවි ජනතාව සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ දෛනික ඉන්ධන පරිභෝජනය පවතින අභියෝගයන්ට අදාළව කළමනාකරණය කිරීම බවද මෙහිදී සඳහන් කෙරිණි.

එමගින් දෛනිකව ලැබෙන මිණුම් විශ්ලේෂණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ආර්ථික සහ සේවා කටයුතු සඳහා ඉන්ධන මුදාහැරීමේ වැදගත්කම අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය විධිමත් අයුරින් භාවිත කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු දත්ත හැකි කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබාදීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත.

ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටද යෝජනා විය.

මතුව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජය මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් මෙහිදී යෝජනා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි….

ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලීම් නිර්මාණය නොකරන ලෙස ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, මෙම විධිමත් කළමනාකරණ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන ලෙසය.

පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා QR කේත ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයක සිට ක්‍රියාත්මක කිරීමට තීරණ කළ බව ද ඔහු පැවසීය.

මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස්වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට පිළියම් මේ වනවිට යොදා ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ පහසුකම ද මේ වනවිට විධිමත් කර ඇති බවය.

හෙට උදෑසන වනවිට සියලු තාක්ෂණික බාධාවන් මඟහැරී ජනතාවට පහසුවෙන් සේවාව ලබාගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර….

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ, මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම,

කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ
නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ
ජාතික පිළිකා මර්ධන වැඩසටහන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,

යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවය.

එමෙන්ම ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවත් දැනුම් දී තිබේ.

මීට අමතරව, ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව දැනුම් දී ඇත.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ /ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියන් සාගර ආරක්ෂාවට කලාපීය සංවාදයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ….

නවදිල්ලිහි පැවති India Today Conclave 2026 සමුළුවේදී ශ්‍රී ලංකා දේශපාලනඥ නාමල් රාජපක්ෂ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් අතර වැඩි සහයෝගිතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන නාවික නෞකාවක් ගිලී යාමෙන් කලාපීය ස්ථාවරත්වයට බලපෑම් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු ඇඟවීය.

“The Indian Ocean Faultline: Sri Lanka’s Geopolitical Balancing Act” යන මාතෘකාවෙන් පැවති මෙම සංවාදය Rajdeep Sardesai සහ Nagarajan Dwarkanath විසින් මෙහෙයවනු ලැබීය.

ඉරාන නෞකාව සම්බන්ධ සිද්ධිය

නවතම සිදුවීමක් ලෙස, බටහිර ආසියාවේ පවතින ගැටුම් තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා වෙරළට ආසන්න මුහුදේදී IRIS Dena නමැති ඉරාන නාවික නෞකාව ගිලී යාම පිළිබඳවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම නෞකාව මීට පෙර ඉන්දියානු නාවික හමුදාව සමඟ විසාකපට්ටම් අසල නාවික අභ්‍යාසවලටද සහභාගී වී තිබූ බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් ඉරාන නාවිකයන් 80කට අධික පිරිසක් මියගොස් ඇති බවත්, ජීවිත බේරාගත් කිහිප දෙනෙක් ගාල්ල සහ කොළඹ නගරවල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් කෙරිණි.

“ඉන්දියන් සාගරය දිගුකාලයක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආරක්ෂිත කලාපයක් ලෙස සැලකුණා. විදේශීය නෞකාවකට එල්ල වූ මෙම ප්‍රහාරය කලාපයට අලුත් හා කනස්සල්ල ජනක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

කලාපීය ක්‍රියාමාර්ග අවශ්‍යයි

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළු කලාපීය රටවල් එක්ව මුහුදු ආරක්ෂාව තහවුරු කිරීමට වැඩ කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

එසේම Colombo Security Conclave වැනි කලාපීය ආරක්ෂක සංවිධාන හරහා සහයෝගිතාව වැඩි කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය. ආර්ථික හා යුධ ශක්තිය හේතුවෙන් ඉන්දියාවට මෙහි නායකත්ව භූමිකාවක් ඉටු කළ හැකි නමුත්, කලාපයේ සියලු රටවල් එක්ව ක්‍රියා කිරීම අවශ්‍ය බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට පිළිතුරු ඉල්ලීමේ අයිතිය

මෙම සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“අපගේ මුහුදු සීමාවට ආසන්නව සිදු වූ දේ නොසලකා හැරිය නොහැක. එහි සිදු වූයේ කුමක්දැයි විමසීමට ශ්‍රී ලංකාවට සෞභාග්‍ය අයිතියක් තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

ආර්ථිකයට ඇති බලපෑම

බටහිර ආසියාවේ ගැටුම් තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ඔහු අනතුරු ඇඟවීය. ඉන්ධන ආනයනය, විදේශ රැකියා මුදල් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව බටහිර ආසියාව මත බෙහෙවින් රඳා පවතින බවද ඔහු පැවසීය. එමෙන්ම Strait of Hormuz වටා ඇති උණුසුම් තත්ත්වය ගෝලීය බලශක්ති සැපයුමටද බලපානු ඇති බවද ඔහු සඳහන් කළේය.

මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය

ඉරාන ජීවිත බේරාගත් නාවිකයන් නැවත ඔවුන්ගේ රටට යැවීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රතිචාර දැක්වීය.

“වෙනත් රටවල් ඉල්ලීම් ඉදිරිපත් කළ හැකියි. නමුත් ශ්‍රී ලංකාව තම මූලධර්ම සහ මානවීය වගකීම් අනුව තීරණ ගත යුතුයි,” යැයි ඔහු පැවසීය. ශ්‍රී ලංකාව සෑමවිටම අනුගමනය කර ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බවද ඔහු සඳහන් කළේය.

කලාපීය දේශපාලන ගැටළු

ඉන්දියාව සමඟ සම්බන්ධතා සහ කච්චතිවු දූපත පිළිබඳ ගැටළුවද ඔහු සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළේය. 1974 ගිවිසුම අනුව එම දූපත ශ්‍රී ලංකාවට අයත් බවද ඔහු කියා සිටියේය. එමෙන්ම ධීවර ගැටළුව වැනි කරුණු විසඳීමට තමිල්නාඩු සමඟ වැඩි සංවාදයක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

සාක් සහ අනාගත සහයෝගිතාව

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය වන සාක් පිළිබඳවද ඔහු අදහස් දක්වමින් එහි අරමුණ තවමත් වැදගත් වුවද එහි කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්න මතුවී ඇති බව පැවසීය. නව අභියෝග හමුවේ නව කලාපීය සහයෝගිතා ක්‍රමවේද අවශ්‍ය විය හැකි බවද ඔහු සඳහන් කළේය.

අවසන් අදහස්

ශ්‍රී ලංකාව තුළ චීන බලපෑම පිළිබඳව ඇති චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කළේය. චීනය විසින් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආයෝජනය කර තිබුණද, විදේශ යුධ කඳවුරු ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

සංවාදය අවසානයේ සැහැල්ලු මොහොතක්ද එක් කරමින්, තම ප්‍රියතම නළුවා ලෙස විජයි සඳහන් කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස Abhishek Sharma සහ සංජු සැම්සන් පිළිබඳවද තම ප්‍රශංසාව පළ කළේය.

QRවලින් ඉන්ධන ලැබෙන විදිහ ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්…

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවත් ය.

අද (15) උදෑසන 6.00 සිට QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර මුලින්ම අවස්ථාව ලබා දී ඇත්තේ මීට පෙර QR කේතය ලබා ගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට වන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහිදී ඔහු සඳහන් කර සිටියේ, මීට පෙරදී භාවිත කළ QR කේතය ඇත්නම් එය භාවිත කළ හැකි බවය.

මේ අතර QR කේතය නොමැති නම්  https://fuelpass.gov.lk/ වෙබ් අඩෙවිය හරහා ඔබට හිමි QR කේතය බාගත කර ගත හැකි බව ද ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා දැනුම් දී සිටියේය.

එමෙන්ම තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර QR කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා QR කේතය ලබා ගත හැකි වන බවද ඒ මහතා සඳහන් කර සිටී.

අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය තව පැයකින් පමණ යාවත්කාලීන වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ඒ අනුව අද දිනයේ සිට QR කේතය නොමැතිව ඉන්ධන ලබා ගත නොහැකි බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා,

”පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා.. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ.. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.. මේකේ බලාපොරොත්තුව කිසිම කෙනෙක්ට තෙල් පෝලිම්වල නොඉද තෙල් ලබා දෙන එක..”

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අනතුරකට ලක්වූ රථයේ රියදුරා මත්ද්‍රව්‍ය ගෙන තිබූ බවට හෙළිවෙයි..

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත.

ඒ ඔහු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදීය.

නෝර්වුඩ් පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ අනතුරින් තුවාල ලැබූ එම මෝටර් රථයේ ගමන්ගත් රියදුරා, කාන්තාවක් ඇතුලු තිදෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බවය.

මේ වනවිට රථයේ රියදුරා පමණක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඔහු රෝහලේ බැහැරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය භාවිතා කළ මෝටර් රථය ධාවනය කිරීම සහ අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතව ඇත.

පසුගිය 13 වෙනිදා පස්වරු 4:30ට පමණ එම අනතුර සිදු වී තිබුණේ හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ් රෝක්වුඩ් ප්‍රදේශයේදීය.

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට නින්දයෑමත් සමඟ මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන රෝක්වුඩ් වතුයායට පිවිසෙන මාර්ගයට පෙරලි මෙම අනතුර සිදුවී තිබුණි.

මාලිමා මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු….

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන තිබේ.

ඒ ඒ මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

ඒ අනුව මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබේ.

සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් 02 වනදා සිට ක්‍රියාත්මකයි….

2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණ ලබා දී ඇති සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් මස 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය පවසයි.

ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වීමේ දිනය සඳහන් කර නොමැති සියලු ස්ථානමාරුවීම් අදාළ දිනයේ සිට ක්‍රියාක්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහන් කර සිටී.

ස්ථානමාරුවීම්වලට අදාළව ඉදිරිපත් වී ඇති අභියාචනාවල තීරණ ද මේ වන විට සියලු නිලධාරීන්ට දැනුම් දී ඇති අතර එම තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙඩි අඩවියේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 වාර්ෂික ස්ථානමාරු නියෝග ලබා සිටින සියලුම නිලධාරීන් නියමිත දිනයේ නව සේවා ස්ථානයේ රාජකාරි භාරගැනීම සිදුකළ යුතු බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

එමෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය ලබාදී ඇති ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හෝ නිර්දේශ නැවත සලකා නොබලන බව ද සඳහන්ය.