ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්….

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට….

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය කාර්යාල කාමරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට අලෙවි කර ඇති බව පොලීසිය පැවසීය.

කැම්බල් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලේ අදාළ සේවකයාගේ කාර්යාලය පිහිටා ඇති අතර ඔහු එහි රිය සහයකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පසුගිය 22 වනදා ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විසි දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක් ?

සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම භාරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකර ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබිණි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති අතර දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය තත්ත්වය මත මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු මුල්කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත දිනවකවාණු යොදාගෙන නොමැති අතර මෙම වසර අවසානයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මර්වින්ගේ නඩුවක් විභාගයට දින දෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නේය

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට තීරණයම කළේය.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

රුපියල් කෝටියකට වඩා මුදල් වංචා කළ හොර දොස්තර ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුරුදෙණිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31,33 සහ 38 වියැති පුද්ගලයන්  තිදෙනෙකු බව පොලීසිය පැවසීය.

දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ නම භාවිතා කරමින් මොවුන් කළුතර ප්‍රදේශයේ විවිධ ආයතනවලින් මුදල් එකතු කිරීම් සිදුකර ඇති බවටත් ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මහත්මියගේ උපදෙස් පරිදි සැකකරුවන්ගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සිදුකළ විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ මෙම ජාවාරම් සඳහා භාවිතා කරන ලද  බැංකු පාස් පොත් 5ක්, ඒ ටී එම් කාඩ්පත් 6ක් සහ නීත්‍යනුකූල නොවන වායු රයිෆලයක්ද පොලිස් භාරයට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීම නියමිතය.

තිස්ස කුට්ටිට සාගරගෙන් දැඩි අවවාදයක්….

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

ඒ, තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට සඳහන් කරමිනි.

ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

විජිත සහ ජයිශංකර් අතර හමුවක්….

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.

ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.

අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටී.

ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුවී තිබේ.

එහිදී ද ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.

අකුරට වැඩකිරීමේ විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි…..

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය.

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි…..

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය.

එතැන් සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය ඊයේ සඳහන් කළේය.

එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතුරින් රෝගීවූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා විසින් රෝහල්ගත කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.

එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් අබිරහස් ලෙස මියයාමත් සමඟ පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ තුනක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක ප්‍රමාණයක් ඊයේ සොයාගනු ලැබීය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ එම නිවස අසල තිබූ කුඩා ලොරි රථයෙන් අයිස් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 970ක්, එම ඉඩමේම තිබූ අනෙක් ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 168යි ග්‍රෑම් 694ක් සහ අයිස් කිලෝග්‍රෑම් 319යි ග්‍රෑම් 220ක් සොයාගැනීමට පොලිසිය සමත්වුණි.

එමෙන්ම තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් හමුවූ කොමඩු අසුරා තිබූ ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 115යි ග්‍රෑම් 720ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 94යි ග්‍රෑම් 570ක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 705ට අධිකය.

එහි වටිනාකම රුපියල් මිලියන 9,888ක් බව පොලිසිය පවසයි.

ගොඩබිම සිදුකළ මෙහෙයුමකදී එක් දිනක් තුළ මෙරටින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන “උනාකූරුවේ ශාන්ත” නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය සඟවා තිබු ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර ඔහු රත්මලාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් ද පොලිසිය සොයාගෙන තිබුණි.

සැකකරු අවස්ථා 04 කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත මුදාහැරි අයෙකි.

ලොරි රථවල හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කර මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.