2025දී ආර්ථික වර්ධනය 5%ක්……

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කරන බවය.

එහිදී කැපී පෙනෙන වර්ධනයක් කර්මාන්ත අංශය වාර්තා කර තිබේ.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බව ද සඳහන් වේ.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් සහ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවල දැක්වෙයි.

තවද, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි…

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා 2026 ඔක්තෝබර් 23 දින සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබෙයි.

මෙම ගුවන්ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවයයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩුවීමක්….

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය.

ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි.

එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය මිලද ඩොලර් 1.18කින් එනම් 1.23% පහළ ගොස් ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.03ක් ලෙස වාර්තා වී ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක රජය සහ කර්ඩිෂ් බලධාරීන් අතර තුර්කිය හි සෙයිහාන් වරාය හරහා තෙල් අපනයන නැවත ආරම්භ කිරීමට එකඟතාවකට පැමිණීමත් සමග මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳ මෙම වාතාවරණය උදාවී තිබේ.

ගෑස් නැව් දෙකක් දිවයිනට….

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි.

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.

මේ අතර ඉන්ධන නෞකාවක් ද අද උදෑසන දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවය.

ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්‍රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා. 

සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ. 

ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි.”

අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්….

ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ.

ඒ අනුව, මීට පෙරද අධි ආරක්ෂිත කලාපයන් තුළ අවසර රහිතව ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් වේ.

එබැවින්, ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට අදහස් කරන සියලු පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින්, නිසි අවසර ලබාගෙන පමණක් එම ක්‍රියාකාරකම් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

මෙම දැනුම්වත් කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩ්‍රෝන යානා භාවිතාකරුවන්ට ඇතිවිය හැකි නීතිමය ගැටලු හා අපහසුතා වළක්වා ගැනීම අරමුණු කරගෙන සිදුකරනු බව ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

QR ලියාපදිංචියට WhatsApp අංකයක්….

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ලිංයාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයින්ට  076 000 19 19 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකි බව සඳහන්ය.

ඒ සමගම ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය ද යොමු කර යුතු වෙයි.

මේ සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලබන අතර ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂන පනතට අනුකූලව ආරක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

වීරවිල මාරක බස් අනතුරක් – 4කට දිවි අහිමි වෙයි….

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටී.

කොළඹ – කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම ගැන දැනුම්දීමක්….

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට https://tourismfuel.sltda.gov.lk/  යන සබැඳිය ඔස්සේ තොරතුරු ලබා දිය යුතුයි.

පෝරමය පිරවීම සඳහා Gmail ගිණුමක් භාවිත කිරීම අනිවාර්ය වේ.

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027දී ආරම්භ කිරීමට සියල්ල සූදානම්…..

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත් ඊට අදාළ සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් යළි සළකා බලමින් පවතින බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ දී අවධාරණය කර තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (17) පාර්ලිමේන්තුවේදී  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  රැස්ව ඇති අතර එම අවස්ථාවේ දී මේ බව සාකච්ඡා කළ බව සඳහන් වේ.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

මේ අතර, 2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳ අධික්ෂණය කිරීම ඉදිරියේදී සිදු කරන බව එහිදී නිලධාරීන් පවසා ඇත.

එමෙන්ම ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා විදෙස් සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර අදාළ සම්පත්දායකයින් ඉදිරියේදී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික මෙහෙයුම් කමිටුව පත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද එහිදී අනාවරණය වී තිබේ.

තවද, පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහාවන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සුදානම් කර ඇති අතර දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු දරුවන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මෙහිදී පවසා ඇත.

ප්‍රසිද්ධ ආයතනවල නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් සිදුකරන අන්තර්ජාල මූල්‍ය වංචා….

ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින්, අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට පවසමින් වංචනිකයින් විසින් සිදුකරන අන්තර්ජාල මූල්‍ය වංචා පිළිබඳව වාර්තා වන බව පොලීසිය පවසයි.

අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කලද මෙම වංචාවන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

වංචාකරුවන් විසින් මහජනතාව මුලා කිරීම සඳහා,

*ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින්, අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට ඔබව පොළඹවනු ඇත. එම යෙදවුම ස්ථාපනය කිරීම සඳහා සහාය වන බව පවසමින්, ඔබගේ දුරකථන තිරය ඔවුන් සමඟ හුවමාරු කර ගන්නා ලෙස (Screen Share) උපදෙස් ලබා දෙනු ලබයි.

*මෙහිදී සිදුවනුයේ, ජංගම දුරකථන තිරය හුවමාරු කර ගැනීම හරහා ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ හැකියාව (Remote Access) වංචාකරුවන්ට ලැබීමයි. එමගින් ඔබගේ දුරකථනයේ ඇති බැංකු යෙදවුම් (Online Banking Apps) හරහා ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ලෙස වෙනත් ගිණුම්වලට බැර කර ගැනීමට ඔවුන් කටයුතු සිදු කරයි.

*මහජනයාට පවතින තාක්ෂණික කරුණු පිළිබඳ අනවබෝධය මෙවැනි වංචා වලට හසු වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට පෙනී ගොස් ඇති අතර මෙවැනි වංචා වලින් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

*සමාජ මාධ්‍ය ඔස්සේ “විවිධ ආදායම් මාර්ග” හෝ ” වැඩි ලාභ ලබා දෙන ආයෝජන” ලෙස පළවන දැන්වීම් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු අතර මුල් අවස්ථාවේදී සුළු ලාභයක් ලබා දී විශ්වාසය ගොඩනගාගනිමින් පසුව විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම මොවුන්ගේ ස්වභාවයයි.

*බැංකු ගිණුම් අංක, මුරපද (Passwords), හෝ ජංගම දුරකථනයට ලැබෙන OTP කේතකිසිදු හේතුවක් මත බාහිර පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගත යුතු අතර කිසිදු පිළිගත් බැංකුවක් හෝ ආයතනයක් පාරිභෝගිකයන්ගෙන් දුරකථනය හරහා එවැනි තොරතුරු විමසීම් නොකරන බවට දැනුවත් විය යුතුය.

*නාඳුනන පුද්ගලයන් විසින් යොමු කරනු ලබන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් හෝ ඔවුන් ලබාදෙන යෙදවුම් (Apps) ස්ථාපනය කිරීම නොකල යුතු අතර විශේෂයෙන්ම ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වීමට අවසර (Access Permissions) ඉල්ලා සිටින විට එය ලබා දීමට පෙර ඉතා සැලකිලිමත් විය යුතුය.

*එබැවින් නාඳුනන පුද්ගලයන්ගේ උපදෙස් මත ඔබගේ ජංගම දුරකථන තිරය හුවමාරු (Screen Share) කිරීමෙන් ඔබගේ දුරකථන තිරය ඔවුන්ට පෙන්වීමෙන් වැළකිය යුතුය.

*කිසියම් හේතුවක් මත මෙවැනි මූල්‍ය වංචාවකට ඔබ හසුවී නම් පළමුව අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය දැනුවත් කර ඔබගේ ගිණුම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුය.