තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් අයෙකු මරුට…..

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

මියගිය තැනැත්තාගේ පුත්‍රයාගේ බිරිඳ සමග ඇති වූ වෙඩි තැබූ පුද්ගලයා අතර පැවැති සම්බන්ධයක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට….

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවය.

නඩුව නැවතත් 2026 වසරේ පෙබරවාරි 27 වැනිදා කැඳවීමට නියමිතය.

සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනයට ඩබල් කැබ් රථ 07ක්….

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07ක් ලබා දී තිබේ.

මෙම ඩබල් කැබ් රථයක මිල රුපියල් මිලියන 22ක් වන අතර අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබා දීමේ ඊයේ (25) සිදුව ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් අදාළ කැබ් රථ නිල වශයෙන් බාරදීම මෙහිදි සිදු කෙරිණි.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45ක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර තිබූ අතර 2022 ජනවාරි මාසයේදී ඉන් ඩබල් කැබ් රථ 38ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම වැඩපිළිවෙළේ මෑතකදී මිලදී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ලබා දීම සිදු කෙරිණි.

අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්වරයාට ලබන 2වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතී…

අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

ඒ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන් මීට දින කිහිපයක සිට වලවේ ගඟේ මසුන් මියගොස් ඇති බවට වාර්තා වීමත් සමඟය.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පර්යේෂණයක් සිදුකරන තෙක් පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය මත, පවතින පිරිපහදු කළ ජල ප්‍රමාණය අම්බලන්තොට ජල පිරිපහදුවෙන් ජලය සැපයෙන ප්‍රදේශයන්ට ලබාදීමට හැක්කේ තව පැය තුනක පමණ කාලයක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ  ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙනු ලබයි.

එසේ වුවද තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් හැකි වනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ  ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්…..

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව පැවසුවේය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබාදිය හැකි ලේඛන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරිය පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස  18 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

ඊට අමතරව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය එම වාර්තාව වහාම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

‘පද්මේ’ සඟවා තිබූ පිස්තෝලයක් පෑලියගොඩින් හමුවෙයි…

පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ.

මෙහිදී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන් මේ වනවිට මෙරටට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටියි.

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

2026 විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වන දා ගැසට් කරනු ලැබීය.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත