සියලුම බදු ගෙවන්නන්ට දැනුම්දීමක්….

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත.

මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළය.

එමෙන්ම ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන බව සඳහන් කරමින්, භෞතික ගෙවීම් පත්‍රිකා සඳහා රැඳී නොසිටින ලෙසද දැනුම් දෙයි.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී සිටින්නේ, බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් සඳහා පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවය.

tax

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට වැඩ වරදියි….

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියම කර ඇති බව සඳහන්.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවයි.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවය.

පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කරනු ලැබීය.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම දඬුවමට එරෙහිව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද ඔහුට දන්වා ඇති බවද සඳහන්.

පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරාගා බැගීමේ සිට තරගය අවසන්වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්…

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.

අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ.

ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත.

මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබේ.

ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

මෙම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්…

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබේ.

ඊයේ (26) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් 6ක් බදුල්ල රෝහලේ සහ තුවාලකරුවන් 5ක් මහියංගනය රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බව වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්….

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවය.

මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත්, එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන්ව ඇත.

මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බව ඔවුන් සඳහන් කරයි.

එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසයි.

මෙම විභාගයේදී විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සදහන් වේ.

ඒ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

ජනපතිගේ ජපාන සංචාරය අදින් ඇරඹේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.

තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත.

ඊට අමතරව ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

එකම ආයතනයක සේවය කළ දෙදෙනා අතර ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි…

පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (26) සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු  65ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව සහ සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇත.

ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් අදාළ කාන්තාවගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි….

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට දැනුම් දුනි.

මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතය.

සීනිමෝදර සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 16 හැවිරිදි සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර…

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

ඒ 16 හැවිරිදි එම පුත්‍රයා අද (26) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරු ලබන මස 01 වැනි දින දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, අදාළ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවයට ගනු ලැබීය.

ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී එම පිරිස ලබන 29 වැනි දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලීසිය අවසර ලබා දී තිබුණි.

මත්කුඩු විකුණූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට….

ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා සිට ඇති බව සඳහන්.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) සොයාගෙන ඇති අතර, එම පැකට්වලින් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල සඟවා තිබී සොයාගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 27 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් ‘ඩුබායි තාරු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට මෙම බෙදාහැරීම් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

නාවලපිටිය – ශානක ප්‍රසාද්