විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යක් ශරීරගත වී දරුවන් 7ක් රෝහලට….

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණි.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ  වික්‍රමනායක මහතා සඳහන් කළේ,  විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.

ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවය.

කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවය.

මේ වනවිට දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරි විමර්ශන සිදුකෙරේ.

හුංගම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට….

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු “අදුපැලෑන බිංදු” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

අද අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ, ගෙහිමි කාන්තාව වැසිකිළියෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී ඇති බවය.

පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.

එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වන ලෙස පහරදී ඇති බව ද පොලීසිය පැවසුවේය.

ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙකි.

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වේ.

පොලීසිය පවසන්නේ ඝාතනය වූ පුද්ගලයා පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවය.

ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනයේදී පොලීසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ (06) දිනයේදී නිදහස්ව පැමිණ තිබේ.

එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ඒ හේතුවෙන් දැඩි භීතියකින් ජීවත්ව ඇති ඔහු අද අලුයම 5ට තමන්ව අවදි කරන ලෙස ගෙහිමි කාන්තාවට පවසා ඇති බවත්, අද දිනයේදී කොළඹ ප්‍රදේශයට පැමිණ තාවකාලික නවාතැන්පොළක සැඟවී සිටින බවට ඇයට පවසා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බව පොලීසිය පැවසුවේය.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති…..

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ  පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවය බවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවත් ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල් වල නමට වඩා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’යන වගත් අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසීය.

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවත්, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් අපි දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින් පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ‍අපේක්ෂාවෙන් සිටින බවද අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදි.

දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම, සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේදී විශේෂ කටයුතු සිදු කර තිබේ. ප්‍රාථමික පන්තිවල දරුවන් 40 දක්වාත් සහ ද්විතියික පන්තිවල 45 දක්වා සීමා කර ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දෙයි.

අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ‘අධ්‍යාපන පද්ධතිය විභාගවලට ලියාපදිංචි කරන ආයතනයක් පමණක් නොවී දරුවන්ගේ අත්දැකීම් හා ගුණාත්මක ඉගෙනුම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට, තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.

මෙම පරිවර්තනයේ දී දෙමාපියන් ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, අභියෝග ඇති වුවද එය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවත් අවධාරණය කෙරේ.

මහින්ද බලන්න ගියපු මහින්ද අමරවීර…….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස භාවිත කරමින් සිටියත් මෙම පනත අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම හම්බන්තොට කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එදින සිට මේ දක්වා බොහෝ දේශපාලනඥයින් සහ හිටපු ජනාධිපතිවරයාට ආදරය දක්වන ජනතාව ඔහුගේ සුවදුක් බැලීමට කාල්ටන් වෙත පැමිණෙමින් සිටී.

සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්…

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

තලංගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග තලවතුගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු 36 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවට ද සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෝදර ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම, හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ පුද්ගලයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවතින බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු ගම්පහ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර ගම්පහ ප්‍රදේශයේ තවත් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකකට තැත් කිරීමේ අපරාධවල යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට ද අනාවරණය වී තිබේ.

ඊට අමතරව වැලිවේරිය ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස ද මොහු කටයුතු කර ඇති බව සඳහන්ය.

සැකකරු සතුව තිබී අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

රන් මිලේ දැනෙන වෙනසක්….

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 283,000ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමටගොඩ පාළු නිවසක තිබී ආයුධ කිහිපයක් සොයා ගනී….

දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.

එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56  මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු ව තිබේ.

සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ…

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලු දෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.

ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ මහඟු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෝමවති චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ ඉතිහාසයට පිවිසීමේ කවුළුවක් බවට මෙම නව පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පත්වනු ඇති බවය.

විද්‍යාව සහ තාක්ෂණය සමග මුසු වූ විධිමත් සංවර්ධන සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික සෝමවති පුදබිම ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට දායාද කිරීමේ වැඩපිළිවෙළ ඉටු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය….

තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව තැපැල්පතිවරයාගේ අදාළ ප්‍රකාශයට විරෝධය පල කරමින් එළැඹෙන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි.ජි.සී.නිරෝෂන මහතා පැවසුවේය.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ද පැවසුවේ කිසිදු විමර්ශනයකින් තොරව තැපැල්පතිවරයා විසින් තැපැල් සේවකයින් හට සිදුකරන චෝදනාවලට දැඩි විරෝධය පල කරන බවත්ය.

ඇඟිලි සළකුණ නොතබා තැපැල් සේවකයින් රුපියල් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවත් තැපෑලේ සිදුවන තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධවත් හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

“කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා..  මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය 4ක් OT ගෙවනවා. ඒක ලොකු ගාණක් නෙමේ නේ පැය 4යි නේ. හැබැයි මේ 10 දෙනාටම පැය 4 ගානේ OT ගෙවනවා. ඉතිං මේ වගේ වාහන කීපයක් කරපුවාම හිතන්න… මේ හින්දා එයාලා කියනවා වාහන සර්විස් කරන්න බෑ කියලා. මම කියුවා කමක් නෑ කියලා. වාහන සර්විස් කරන්නේ අපි විතරක් නෙමෙයිනේ. ඕන තරම් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා වාහන සර්විස් කරන තැන් මම එකකට දාලා සර්විස් කරගන්නවා. 

පැයකින් දෙකකින් දෙන්නනේ ටෙලිමේල් එකක් ගහන්නේ. මගේ අතේ තියෙනවා එකක්. මේක මට ඊයේ එව්වේ යාපනයේ ඉන්නකොට. මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවලා තියෙන්නේ එවලා තියෙන්නේ 9.02 පිළිමතලාවෙන්. මේක එතනට ගිහින් තිබුණේ 10.03 මට කතා කරලා අහනවා 09.02 එවපු එකක් 10.03 ඇවිත් තියෙනවා කියලා.. මේක නොගියා නම් හොඳයි.. මාසෙකුත් දවසක් ගිහින් මගෙන් අහනකොට ඇතිවෙන ලැජ්ජාව ගැන හිතාගන්න පුළුවන්ද ? ටෙලිමේල් එකක් යවන්න මාසයක් ගියා කියන්නේ හිතාගන්න පුළුවන්ද ?

අපි සෑම මාසෙකම ඉල්ලනවා තැපැල් ගාස්තුව වැඩි කරන්න. රුපියල් 50යි නේ අපි ගන්නේ. කොළඹින් දාන එක අපි කන්කසන්තුරයටත් ගිහින් දෙන්න ගන්නේ රුපියල් 50යි. ඉතිං අපි ඔට්ටුවෙලා ලියලා ලියලා ඊයේ පෙරේදා මට එවලා තියෙනවා වැඩි කරලා. රුපියල්  50 70කරලා මම ඒක හංගගෙන ඉන්නවා. අර ස්ට්‍රයික් කරලා, මිනිස්සු පට්ට බැනුම් බැනලා ඉන්නකොට අපි සතියකින් දෙකකින් කියනවා තැපැල් ගාස්තු වැඩි කරනවා කියලා කොහොමට තියෙයිද ?”

තැපැල්පතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව තැපැල් වෘත්තිය සමිති ඒ අනුව සිය විරෝධය මේ වන විට පළකර තිබේ.

එහිදී එම වෘත්තිය සමිති සඳහන් කරනුයේ කරුණු නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව තැපැල්පතිවරයා මෙලෙස පැවසීම අසාධාරණ බවය.