මිල වැඩි කිරීම් ගැන අහන්න බේකරි හිමිකරුවන් වෙළෙඳ අමාත්‍යංශයට කැඳවයි….

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබේ.

එහිදී මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය තුළ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර එම මිල ඉහළ දැමීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

බේකරි ආහාර නිෂ්පාදනය සඳහා උඳුන් භාවිතයේදී ඩීසල් යොදා ගන්නා අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල වැඩිවීම තම නිෂ්පාදන පිරිවැයට සෘජු බලපෑම් එල්ල කර ඇති බව ඔවුන් මෙහිදී පෙන්වාදී ඇත.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි මිල එළඹෙන අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ ප්‍රකාශ කළහ.

එහිදී මේ බව සිහිපත් කළ වෙළෙඳ අමාත්‍යවරයා අලුත් අවුරුදු සමයෙන් පසුව තිරිඟු පිටි මිල යම් ආකාරයකින් ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිකරන්නේදැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ, තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි ⁣නොකරන බවය.

ෆාම් ඔයිල් යොදා ගෙන නිෂ්පාදනය කරන මාගරින් සෞඛ්‍යයට හිතකර නොවන අතර තම නිෂ්පාදන තුළ බටර් භාවිතය දිරිමත් කිරීම සදහා දැනට පවතින බාධා ඉවත්කර දෙන ලෙස මෙහිදී බේකරි හිමිකරුවන් ඉල්ලීමක් කරන ලදී.

ඒ පිළිබඳ අවධානය යොමුකළ අමාත්‍යවරයා, ෆාම් ඔයිල් මිල හා බටර් මිල බේකරි නිෂ්පාදනවලට බලපෑමක් එල්ලකරන බැවින් බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට ඔවුන්ගේ ඉල්ලීම ලිඛිතව යොමුකරන ලෙස දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කළු කඩ මිල පාලනය කරන්න සහල් ආනයනය කිරීමේ සූදානමක්….

කීරි සම්බා ඇතුළු ඇතැම් සහල් කළු කඩ මිලට හෝ මිලදී ගැනීමට නොමැති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

සම්බා, කීරි සම්බා ඇතුළු සහල්වර්ග කිහිපයක් පාලන මිලද ඉක්මවා අලෙවිවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ සම්බන්ධනේ තවදුරටත් අදහස් දැක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,

“මේක අපිට බරපතළ වශයෙන් මුහුණ දෙන්න සිද්ධවෙන ගැටලුවක්. සමහර තැන්වල කළු කඩ මිලටත් කීරි සම්බා සහ ඇතැම් සහල් ගන්න නෑ. 

මේ අස්වනු නෙළන කාලේ. මේ සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවත් සාකච්ඡා කර තිබෙනවා. 

එහෙම වුණොත් කළු කඩ මිල පාලනය කිරීමට ඉදිරියේදී සහල් ආනයනය කිරීමක් සිදු කරන්න සිද්ධ වෙයි” යනුවෙන් පැවසීය.

නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ….

ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඒ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින්ය.

ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීමට සමගාමීව මෙය සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක්  පුරා විහිදුණු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි.

එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීම මත, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරමින්  සමරු ඵලකය නිරාවරණය කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ  මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බවයි.

එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීම මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගය කළේය.

ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද,  ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කළේ, මෙම අවස්ථාව වත්මන් රජය ඉටු කළ විශිෂ්ටතම පාරිසරික සේවාව ලෙස ඉතිහාසයට එක්වන බවය.

මෙම වැඩසටහන හෙට (27)  ජාතික නාමල් උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණද රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එය ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා අගය කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

රට ගොඩනැඟීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ ඇති වුවමනාව මේ රටේ ජනතාවද පිළිගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලුදෙනා ඒකරාශී කර ගනිමින්  මේ වන විට රට හමුවේ මතුව ඇති අභියෝගයට විසඳුම් සෙවිය යුතු බවද පෙන්වා දුන්හ.

“1991 මාර්තු මස 28වන දා මම ජාතික නාමල් උයන කියන සුන්දර වනස්පතියට ගොස් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් විශාල කැපකිරීමකින් යුතුව කටයුතු කළා. ප්‍රදේශයේ හාමුදුරුවරු සහ ජනතාව මට විවිධ චෝදනා එල්ල කරමින් අපහාස කළා. මට විරුද්ධව පත්තර පිටු ගණන් ලිව්වා. නමුත් මම සැලුණේ නැහැ. 

හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සමයේ බර්ට් ප්‍රේමලාල් දිසානායක මහත්තයා මට උදව් කළා. අද විදුලිය ලැබිලා තිබෙන්නේ එතුමා නිසා. ඒ වගේම චන්ද්‍රිකා මැතිනියගෙන් පසු බලයට පත්වූ සියලු ජනාධිපතිවරුන්ගෙන් මට උදව් ලැබුණා. මම ඒ  කිසිවෙකුගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. හැබැයි මට ඕන තැනකට යන්න දොරවල් විවෘත වෙලා තිබෙනවා. මොකද මම කාටවත් වැරදි කරන්නේ නැහැ.

අද ඔබතුමාගේ සේවා කාලය තුළ ජාතික නාමල් උයන පිහිටි ප්‍රදේශයේ මාර්ග හොඳින් සංවර්ධනය කර තිබෙනවා.ඒ පිළිබඳ සියලුදෙනාට මම පිං දෙනවා. ඒ වගේම ජාතික නාමල් උයන ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරිමට කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමාට සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්තයාට මම කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම රෝෂන් ගමගේ මහත්තයා ඇතුළු නිලධාරින් එම කටයුතු හොඳින් කළමනාකරණය කර දුන්නා. එමෙන්ම මෙම කටයුත්ත සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පුළුල් ප්‍රචාරණ දායකත්වයක් ලබා දුන්නා. එය මම ඉතා අගය කරනවා.

මේ ජාතික නාමල් උයන මගේ දේපොළක් නෙවෙයි. මම මෙහි මුරකාරයෙක් පමණයි. ඒ නිසා මගෙන් පසුව මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර දීමට මම කල්පනා කළා. එම වැඩකටයුතු හොඳින් කරගෙන යනවා. ඒ වගේම මෙම ස්ථානය ගංගාරාමයට සම්බන්ධ කර ජනාධිපති ලේකම්තුමා, වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා ආදී නිලයන් මට්ටමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මම කල්පනා කළා. නැත්නම් මම නැති කාලයක මෙය විනාශ විය හැකියි. 

මම මේ රට වෙනුවෙන් යමක් කළා. මම මේ රටට, ජාතියට ණය නැහැ. මගෙන් ඉටුවිය යුතු උපරිම කාර්යභාරය වන්නේ මෙහි සුරක්ෂිතතාව සහතික කර දීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අල්ලපු ගමේ ජන්මලාභය ලැබූ කෙනෙක් ලෙස අද ඔබතුමා අතින් මෙය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට ලැබිම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. 

ඒ වගේම පලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දෙකක් සහ රෝහල් දෙකක් තිබෙනවා. එම අහිංසක ජනතාව වෙනුවෙන් එම එක් පාසලක් සහ රෝහලක් අංග සම්පූර්ණ පාසලක් සහ රෝහලක් ලෙස පරිවර්තනය කර දෙන්න කියා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය සහ‌ අනිල් ජයන්ත අතර හමුවක්….

මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මර්ෂවින් සහ කම්කරු අමාත්‍ය සහ කම්කරු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් අද (26) පවත්වා තිබේ.

එහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා විමසා බැලීම සහ තාක්ෂණික සහාය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, බලශක්ති අර්බුද විසඳාගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙකක් අතර බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.

බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍රල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීම ඇති හැකියාවත් සෙසු අවශ්‍යතාවයන් පිළිබඳවත් රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳවත් මෙහිදී එහිදී අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan ද එක්ව සිටියේය.

රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කරමින් දුන් තීන්දුව ඉවතට….

මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු  නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් ඉවත දැමූ අභියාචනාදීකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුනි.

පළාත් කිහිපයක උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක….

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ ”අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව සෞඛ්‍යය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කරගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසය.

අධික රස්නය මේ දවස්වල කාටත් හිසරදයකි.

වැසි නොමැති කාලගුණ තත්ත්වය එක්ක මේ දවස්වල තියෙන පෑවිල්ල නිසා ජලාශවල ජල මට්ටම් පවා අඩුවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

මෙය සෙල්සියස් අංශක 46 ත් 52 ත් අතර මට්ටමට ඉහළ ගියොත් එය ”වැඩි අවධානය යොමුකළ යුතු” තත්ත්වයක් ලෙස සැලකේ.

සෙල්සියස් අංශක 52 පසුකළොත් ”අනතුරුදායක” මට්ටමක් ලෙසයි දැක්වෙයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , දකුණ හා වයඹ , උතුරු හා උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඉදිරි පැය 24 තුළ උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව සඳහන්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රත්නපුරින් සෙල්සියස් අංශක 36.5ක් කුරුණෑගල සහ පුත්තලමෙන් සෙල්සියස් අංශක 36ක්, මත්තල සෙල්සියස් අංශක 35ක් ලෙස අද ඉහළ උණුසුමක් වාර්තාවිය.

කොළඹ නගරයේ උණුසුම අද දහවල් වාර්තාවුණේ සෙල්සියස් අංශක 32.5ක් ලෙසය.

උණුසුම් කාලගුණය හමුවේ ප්‍රදේශ රැසකම ජනතාව මේ දිනවල සිය ජීවනෝපාය සහ එදිනෙදා කටයුතු සිදුකිරීමේදී අසීරුතාවට පත්ව සිටී.

ජනතාව මෙන්ම සතා සිව්පාවුන්ද උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්ව ඇති අයුරු නිරීක්ෂණය කළ හැකියි.

ඒ අතර උණුසුම් කාලගුණය හමුවේ ජලාශවල ජල මට්ටම්ද මේ වන විට පහළයමින් පවතී.

මේ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසද කුඩා ළමයින් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි උපදෙස් දී ඇත.

ඊට අමතරව අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් මේ දිනවල භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.

සුරේෂ් සලේ ගැන අධිකරණය CIDයට දුන් නියෝගය….

රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අප්‍රේල් 22 වැනිදා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මෙහස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළේය.

2018 වසරේ නොවැම්බර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම පිළිබඳව වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ තෙවැනි සැකකාර සුරේෂ් සලේ අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්නය.

සැකකරු රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව විමර්ශන නිලධාරීන් පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ.

“තෙවැනි සැකකරු මේවෙද්දි හුදෙක් රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙක් නොවෙයි. ඔහු අපරාධ නඩුවක සැකකාරයෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඒ නිසා මීළඟ දිනයේ  අනිවාර්යයෙන්ම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා.”

තවදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ පෙර නඩු වාරයට පසුදින නඩුවේ සාක්ෂිකරුවෙකුගේ නිවසට යුද හමුදා බුද්ධි නිලධාරියෙකු යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරඇති බවය.

“ස්වාමිනි, සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශය මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තොරතුරුකරුවෙකු හරහා මුස්ලිම් අන්තවාදීන් සිව්දෙනෙකුට කතෝලික පල්ලිපෙන්වූ බවට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයේ අප අනාවරණ කළා. පසුදින යුද හමුදා බුද්ධි නිලධාරියෙකු එම සාක්ෂිකරුගේ නිවසට ගිහින් තියෙනවා. දැන් ඔහු නිවස අත්හැර ගිහින්. ඒ හරහා සාක්ෂිකරුට යම් බලපෑමක් වෙලා තියෙනවා”

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු දැක්වුවේය.

“ස්වාමිනි, මේ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායම් සිදුකළ විමර්ශනවලදී පවා මාගේ සේවාදායකයාට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වී නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ හෝ මගේ සේවාදායකයාට එරෙහිව නිර්දේශ නැහැ. සැකකාරයෝ 25කට එරෙහිව අධිචෝදනා 23,000ක් තියෙන කොළඹ මහාධිකරණ නඩුවේවත් මගේ සේවාදායකයාගේ නම නැහැ. එහෙම තියෙද්දි මේ ප්‍රහාරය ගැනම විමර්ශනය කළ ජයකි ද අල්විස් වාර්තාවෙන් නඩු පවරන්න කියලා නියෝග කරපු වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ කොන්ත්‍රාත් පදනමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශානි අබේසේකර යටතේ සිදුකරන නඩුවකට මගේ සේවාදායකයාට චෝදනා ගොනුකරලා තියෙනවා.”

මෙහිදී සැකකාර සුරේෂ් සලේට එරෙහිව දැනට ක්‍රියාත්මක විමර්ශනය පක්ෂග්‍රාහීව අඩුපාඩු රැසක් සහිතව සිදුවෙමින් පවතින බවටද නීතිඥවරයා විවෘත අධිකරණයේ චෝදනා කළේය.

“ස්වාමිනි, මේ සිදුකෙරෙන විමර්ශනයට පාදකවෙලා තියෙන්නේ චැනල් 4 වාර්තා වැඩසටහන. එහෙම තියෙද්දිත් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ නඩු ගොනුවේ නැහැ. ඒ වාර්තාවේ තියෙනවා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබමින් ඉන්න අසාද් මව්ලානා නමැත්තා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සිදුකරන ලද ප්‍රකාශය මෙරට පත්කරන ලද කමිටුව විසින් ඉල්ලපුවාම එය දෙන්න බැහැ කිව්වා කියලා. මොකද අසාද් මව්ලානා ඒ ප්‍රකාශය දෙනවාට අකමැත්ත පළකරලා තියෙනවා. එහෙම ප්‍රකාශය දෙනවාටත් අකමැති පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් මත පදනම්වෙලා කොහොමද ස්වාමිනි මේ විමර්ශනය කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වුණු රෝහාන් ප්‍රෙමරත්න සාරා ජෙස්මින්ගේ DNA වාර්තා සිදුකිරීම සම්බන්ධයෙන් මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ මගේ සේවාදායකයාට වාසි සහගත කරුණු ඇතුළත් වන බැවින් විමර්ශන නිලධාරීන් එය අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. ස්වාමිනි, මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහිව සිදුකරන්නේ. ප්‍රධාන විමර්ශන නිලධාරියා වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂවරයා ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන්නු දිවුරුම් ප්‍රකාශයකින් පිළිගෙන තිබෙනවා ඔහු එම තනතුරට ඒමට මාස 02කට කළින් දේශපාලනය කළා කියලා. ස්වාමිනි ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ විමර්ශනය තමන්ම නොකළ යුතුයි කියන එක. ඉතිං ස්වාමිනි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ විමර්ශනය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයා යටතේ නොමැති වෙනත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට යොමු කරන්න කියලා. ”

කෙසේවෙතත් විත්තියේ නීතිඥවරයා සිදුකළ මෙම කරුණු දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි විවෘත අධිකරණයේ ප්‍රතිචාර දැක්වුවේය.

“ස්වාමිනි, විත්තිය කියන විදිහට මේ විමර්ශනය ශානි අබේසේකර මහත්තයාගෙවත් වෙන කාගෙවත් වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ තුන්වන සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සැකකාරභාවය පිළිබඳ පැහැදිලිව ප්‍රමාණවත් කරුණු තියෙන නිසයි. හැමදේම විවෘත අධිකරණයේ කියන්න බැරිවුනාට අපි මේ වෙද්දිත් සාක්ෂිකරුවන් 05 දෙනෙකුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරලා ප්‍රකාශ ලබා දී තිබෙනවා. මේ විමර්ශනය සිදුවෙන්නේ විශාල සිද්ධින් දාමයක සම්බන්ධතාවයන් ගැන. ඒ සිදුවීම් සියල්ලට යුද්ධ හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතා තිබුණාද කියලා විමර්ශනය වෙනවා.”

සියලු කරුණු සලකා බැලීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ නියෝග නිකුත් කළේය.

“රැඳවුම්භාරයේ සිටින තුන්වැනි සැකකරුගෙන් නීතිඥවරයා උපදෙස් ලබාගන්නා අවස්ථාවේ එම සන්නිවේදනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇහුම්කන් නොදිය යුතුයි. චැනල් 4 වැඩසටහනේ අදාළ ප්‍රකාශ සිදුකරන තැනැත්තාගෙන් ප්‍රකාශ ලබාගෙන නැහැ කියලා විත්තිය චෝදනා කරනවා. එම ප්‍රකාශ ලබාගැනීම අතිශයින් වැදගත්. වහාම ඊට උත්සාහ කරන්න. ඒ වගේම විමර්ශකයා මාරු කරන්න කියන එක බරපතළ ඉල්ලීමක්.  මේ විමර්ශනය මුලසිටම කරලා තියෙන්නේ ඒ විමර්ශකයා. ඔහුගෙන් විමර්ශනය ඉවත්කිරීම හරහා යම් වරදක් වුවහොත් එය නිවැරදි කරන්න බැහැ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශකයා ඉවත්කරන්න කියන ඉල්ලීම මෙම අවස්ථාවේ ඉවතදමනවා. ”

වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව අප්‍රේල් 22 යළි කැඳවීමට නියමිතයි.

අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය….

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.

 

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

 

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.

 

එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

 

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට  ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කළේය.

 

මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර  රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාවට ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කළේය.

 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතු වනු ඇති බවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

 

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, රුසියාවේ බලශක්ති අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Vladimir Khazov,

ඛනිජ තෙල් ආශ්‍රිත සේවා වාණිජ ව්‍යාපෘති සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sergey Rodin යන මහත්වරු ඇතුළු රුසියානු නියෝජිත පිරිස ඊට එක්ව සිටියහ.

වසරේ දෙවන කාර්තුවේ දී උද්ධමනය 5% මට්ටමට…..

මෙරට උද්ධමනය 5% මට්ටමට පැමිණීම මෙම වසරේ තෙවන කාර්තුවේ දී සිදුවෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර පුරෝකථනය කළ ද, පවතින තත්ත්වය තුළ වසරේ දෙවන කාර්තුවේ දී 5% මට්ටම කරා උද්ධමනය පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2026 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා,

“උද්ධමනය පැත්තෙන් බැලුවාම, අපේ උද්ධමන ඉලක්කය 5% මට්ටමේ පවත්වා ගෙන යන්නේ. මීට කලින් අපි බලාපොරොත්තු වුණේ 5% මට්ටමට මේ වසරේ තුන්වන කාර්තුවේ දී ළඟාවෙයි කියලා. නමුත් දැන් බලශක්ති මිල ගණන්වල මිල වැඩිවීම නිසා ඒක දෙවෙනි කාර්තුවේ දී සාමාන්‍යයක් විදියට ඒ මට්ටමට යයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙක් කල් උද්ධමනය 5% මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවෙන් පවත්වා ගෙන යාම නිසා, අපට යම්කිසි ආකාරයක හොඳ අවකාශයක් නිර්මාණය වෙලා තිබුණා, උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න මේ වගේ කම්පනයක් ඇති වුණත්. ඒක මම හිතන්නේ ධනාත්මක දෙයක් ඉදිරියට යන කොට.“

මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“භූ දේශපාලනික අර්බුද තීව්‍ර වීමත් සමඟ උද්ගත වූ දැඩි අස්ථාවරත්වය මධ්‍යයේ ගෝලීය බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට ඇති වූ අවහිරතා හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදුවිය. උද්ධමනය ඉලක්කගත මට්ටම වන 5%ට සාපේක්ෂව, පෙබරවාරි මාසයේ දී  1.6%ක් ලෙස (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) දැනට පහළ  මට්ටමක පවතින බැවින්, බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ එමගින් උද්ධමනය කෙරෙහි එල්ල කරන වක්‍ර බලපෑම් සඳහා මුහුණ දීමට ප්‍රමාණවත් අවකාශයක් පවතී. පවතින නවතම දත්ත සහ අවිනිශ්චිතතා සැලකිල්ලට ගත් විට, උද්ධමනය අපේක්ෂාකළ කාලයට පෙර, එනම් 2026 වසරේ දෙවන කාර්තුව වන විට ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි. ඉන් අනතුරුව එය ඉලක්කගත මට්ටම වටා ස්ථායීව පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.“

අඛණ්ඩව දෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ ජයග්‍රාහී ගමනක…..

අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 797.62ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,868.85ක් ලෙසින් සටහන් වුයේ පෙර දිනයට සාපේක්ෂ =ව 3.79%ක කැපීපෙනෙන ඉහළ යාමක් සමගිනි.

ඊයේ (24) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 706.26ක ඉහළ යාමක් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 225.00ක ඉහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර නැවත වතාවක් එහි අගය ඒකක 6,000 සීමාව යාමට අද දින සමත්විය. ඒ අනුව ඒකක 6,134.23ක් ලෙසින් ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශක අගය සටහන්ව තිබුණි.

අද දින රු. බිලියන 6.41ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.