රන් මිල අහස උසට – කැරට් 24 ලක්ෂ 4ට ළංවෙයි….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (16) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 10,000කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රු. 360,800කි.

පසුගිය බ්‍රහස්පතින්දා දින එම මිල ගණන් දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක ඊයේ වාර්තාව….

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (15) දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කල පුද්ගලයින් ගණන – 28,020

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 577

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 17

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 269

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන -144

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් -15

අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් -13

රථවාහන වෙනත් වැරදි – 3504

පොලිස් නාකොටික් ලොක්කාව ස්ථානමාරු කළ ඇත්තම හේතුව හෙළිවෙයි….

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

තොරතුරුකරුවන් ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව සඳහන්ය.

රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මොහු ස්ථානමාරු කිරීම් සිදුකරන ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පොලිස් කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඒ අනුව ඊට අදාළ නියෝගය ඊයේ (15) දිනයේ දී ලැබී ඇති අතර, ඒ අනුව ඔහුව ස්ථානමාරු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ස්ථානමාරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

සජබය සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්….

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට….

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඊයේ (15) ඒ මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය ඊයේ පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගැසු දඩය මිලියන 25 ඉක්මවයි….

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30 දක්වා වු මාස 06ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 306ක් සිදුකර ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියටත් අඛන්ඩව මෙම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය

අගමැති හරිනි අද ඉන්දියාවට…..

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් – 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

තාවකාලික ලැගුම්හලක තරුණයෙකුගේ මළසිරුරක්…

බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (15) දහවල් කාලයේ දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.

2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.

දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.

අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.

මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ….

අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය  වෙත භාර වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග පැමිණ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට ඔහු අද අධිකරණයට භාර විය.