උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් – අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකයි….

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවනු ඇති බවය.

විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

මෙම විශේෂ වැඩපිළිවෙළ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන අතර, අවුරුදු උත්සව සමය අවසන් වී ජනතාව නැවත ගම්බිම්වලින් නගර වෙත පැමිණෙන තුරු එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

“අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් දැනුම්වත් කරලා අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සැලැස්මක් යටතේ මහජනතාවට ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් 01 වෙනිදායින් පස්සේ ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් පළමු වෙනදා ඉදන් අවුරුදු අවසන් වෙලා ජනතාව ගම්බිම් බලා ගිහින් එනතුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.” 

උත්සව සමයේ හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට….

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ පවතින තෙල් අර්බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවතිය ද එය රුපියල් 1,250ක මිල යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර බවය.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ගණන් සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,

” අප්‍රෙල් මාසේ වෙද්දී සියලුම ගොවිපොළවල් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරනවා.. හිඟයකින් තොරව මස් හා බිත්තර ලබා දෙන්න තමා අපේ උත්සාහය තිබ්බේ. නමුත් රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය නිසා පවතින ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන වි‍යදම් අධික වෙලා තියෙනවා. ඒකේ පිරිවැය අපිට දරන්න වෙනවා.. එතකොට කුකුල් මස්වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ ප්‍රමාණය දෙන්න පුලුවන් ද කියන එක මත මිල උච්චාවචනය වෙනවා.. වෙළෙඳපොල තමා මිල තීරණය කරන්නේ අපි නෙමෙයි.. අපි බලාපොරොත්තු වෙනවා හිඟයකින් තොරව සැපයුම ලබා දෙන්න මොකද හිඟයක් ඇති වුණොත් ඒ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.. හදිසියේ ඩීසල් නැති වුණොත් ප්‍රවාහනය නැති වුණොත් ඉදිරිය කියන්න බෑ අපිට”

හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්….

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.

ජර්මනියේ කියෙල් ආර්ථික පර්යේෂණ ආයතනය සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ ආහාර, ඖෂධවල සිට ස්මාර්ට්ෆෝන් දක්වාම භාණ්ඩ රැසක මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බවය.

එම පර්යේෂණයට අනුව ආහාර මිල ඉහළ යාමෙන් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි තැන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එය ප්‍රතිශතාත්මක වශයෙන් 15%ක වර්ධනයක් බවද සඳහන්.

එම දරුණු බලපෑමට ලක්වන රටවල් අතර පළමු තැන සැම්බියාව (31%) වන අතර තායිවානය (12%), පකිස්තානය (11%) සහ ඉන්දියාව (10%) ඇතුළු රටවල් ද ඊට අයත් වේ.

ඉන්ධන ගෑස් ඇතුළු බලශක්ති සහ පොහොර ආනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ආහාර මිල බලපෑමට දැඩිව ලක්වන බව ද එහි සඳහන් වේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් නැවත විවෘත කළ ද ආහාර සුරක්ෂිතතාවට එල්ල වන බලපෑම බොහෝ කාලයක් පවතිනු ඇති බව Kiel ආයතනයේ පර්යේෂකයින්ගේ පුරෝකථනය වේ.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් ගෝලීය තිරිඟු පිටි මිල 4.2%කින් සහ පලතුරු සහ එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ද අනාවරණ වී තිබේ.

හෝමූස් අවහිරතාවයේ ප්‍රතිවිපාක ලෙස ස්මාර්ට්ෆෝන්වල සිට දත්ත මධ්‍යස්ථාන දක්වා වන අතිනවීන තාක්ෂණික උපකරණ රාශියක මිල ඉහළයාමක් සිදුවිය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබුණි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති වූ බාධාව හේතුවෙන් ඖෂධ මිල ඉහළ යාමේ හැකියාව පිළිබඳ ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

අමෙරිකා – ඊශ්‍රායල – ඉරාන යුද්ධය තුළ එම බල අරගලය දැන් කේන්ද්‍රගත වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය මතය.

ලොව අතිශය වැදගත් නැව් ගමනාගමන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමූ බවත් ඒ හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඉරානය ඊයේ (27) නිවේදනය කළේය.

ලොව ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය මෙලෙස අවහිර වීම තුළ ලෝකයට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වේ.

ඒ අනුව ගෝලීය ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම මේ වන විටත් දැකගත හැකියි.

එම බලශක්ති මිල ඉහළ යාම තුළ සෙසු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකි කරුණකි.

රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්…..

රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැවි තෙල් සැපයුමද ස්ථාවර කර ඇති බැවින් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නොමැති බවය.

ඉදිරි දිනවලදී තවත් ඉන්ධන නැව් රැසක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී සභාපතිවරයා පවසා සිටියේ, ඩීසල් සැපයුම ලබන මාසයේ මැද දක්වා ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවත් 92 හා 95 පෙට්‍රල් සැපයුම ජුනි මස ආරම්භය දක්වා සුරක්ෂිත බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා,

“නැව් දෙකක් ගොඩ බානවා 27 වනදා නැවක් එනවා එකේ එනවා 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක්  95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් ඊට පස්සේ හෙට එනවා IOC නැවක් එකේ එනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18000ක්  92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000යි. ඊට පස්සේ අපිට 28, 29 නැවක් එන්න නියමිතව තිබුණා. ඒක කලින් ආවා දැන් ඒක ගොඩබාලා ඉවරයි. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 37000ක්. 

අපිට ගැටලුව වුණේ අර පිරිපහදුවට අවශ්‍ය තෙල්. පිරිපහදුවෙන් තමයි අපිට වැඩිපුර ඩීසල් සහ දැවි තෙල් හදන්නේ.  එතකොට දැවිතෙල් නැති වුණොත් අනිවාර්යෙන් අපිට විදුලි කප්පාදුවකට යන්න වෙනවා. ඒ නිසා අපි දැවි තෙල්වලට ලංසු කැඳව්වා ඒකටත් අවිල්ලා තියෙනවා. එතකොට 2 වනදා සහ 4 වනදා අතර අපිට එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 32000ක්, ගුවන් යාන ඉන්ධන මෙට්‍රික්ටොන් 8000ක් 

ඊට පස්සේ ආපහු 6 සහ 7 එන්න නියමිතයි ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක්, 7 සහ 8 එනවා ඩීසල් මෙට්‍රික්ටොන්  32000කුත් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5000කුත්. ඊට පස්සේ 10, 11 එනවා ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක්, ඊට පස්සේ සිනොපෙක් එකේ නැවක් එනවා 18, 19 එකේ එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 20000ක්  92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20000කුත්.

ඊට පස්සේ 12, 13  විදුලි උත්පාදනය සඳහා  එන නැව එනවා. දැවිතෙල් මෙට්‍රික්ටොන් 30000ක නැවක්. ඊට පස්සේ 92 පෙට්‍රල් එනවා 16, 17 දිනවල මෙට්‍රික්ටොන් 35000ක නැවක්. අපහු අර් එම් පාර්ක් නැවක් එනවා  21, 22ක එකේ එනවා ඩීසල් මෙට්‍රික්ටොන්  20000ක්  92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 17000ක්  95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000ක්.

ආපහු 24 සහ 25 දිනවල නැවක් එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 37000ක්, ආපහු 29 සහ 30 දිනවල නැවක් එනවා 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 30000කුත් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000කුත් අප්‍රේල් මාසයේ මේ නැවු සම්පූර්ණයෙන්ම අපිට ලැබෙනව එකේ ගැටලුවක් නෑ. ඒ එකකවත් යුද්ධය තියෙන කලාපයෙන් නෙමයි නැව්ගත කරන්නේ.”

දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි…

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් කණ්ඩායම් 66ක් සහභාගී විය.

එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයක් බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කරයි.

“Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම තරගාවලියට  සිසුන් 500කට අධික පිරිසක් සහභාගී වූ  අතර දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, වර්තමාන වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම රටක ජාතික ප්‍රමුඛතාවක් විය යුතු බවය.

ලෝක රොබෝ ඔලිම්පියාඩ් වැනි අවස්ථාවන් හරහා අපේ තරුණ පරපුරට තර්කානුකූල චින්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැනි අත්‍යවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය.

2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමෙන් මෙරට දරුවන්ට ඉතා වැදගත් අත්දැකීමක් ලැබිණ.

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට මෙවැනි තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම  රජයේ අරමුණ බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක්…..

ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි  ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.

සෑම අමාත්‍යාංශයක්ම යටතේ පවතින ආයතනවල මතුවන ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බලා සංස්ථාව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් විසඳුම් ලබා දීමට මැදිහත් වීම මෙම නිලධාරීන්ගේ වගකීම බවද එහිදී සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා විය.

කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා වාහනවලට දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද, ඒ ඉල්ලීම් නොසලකා හැරියහොත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ඉඩකඩක් පවතින බවද, එසේ වුවහොත් උත්සව සමයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්විය හැකි බවටද මෙහිදි වැඩි අවධානයකින් සාකච්ඡාවට ගනු ලැබීය.

කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ සේවා ආයතන හෝ හෝටල් සඳහාත් වෙනත් සේවා සැපයුම් ආයතන සඳහාත් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳවද මෙම කමිටුවේදි සාකච්ඡා විය.

ඒ අනුව, එම ආයතනවලින් ඉදිරිපත් වන ඉන්ධන කෝටාවන් පිළිබඳ ඉල්ලීම් සළකා බලා අවශ්‍ය  ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, එම ඉල්ලීම් අදාල අමාත්‍යාංශ මගින් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR කේත ක්‍රමයක් භාවිතා කිරීමේ වැඩපිළිවෙළ කඩිනම්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව  භාණ්ඩ සැපයීම මෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගැනීම  ඉලක්ක කර ගනිමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව හා නිසි කළමණාකරණයකින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්  යන මහත්වරු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු  රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට….

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි වියේ පසුවන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරිවල නිරත රේගු නිලධාරීන් දැක බියට පත් ව ඇති අදාළ සැකකරු,  සිය ගමන් මලු අතහැර දමා පළා යාමට උත්සහ කර තිබේ.

එහිදී එම නිලධාරීන් විසින් සැකකරු නවතා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දුම්වැටි සොයා ගැනීමට හැකි වී ඇත.

ඔහුගේ ගමන් මලු තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 20,200ක් අඩංගු දුම්වැටි කාටූන් 101ක් සොයා ගත් බවද සඳහන්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු ක‍රයි.

ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්….

කෘෂි කර්මාන්තය සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පැවසුවේ මේ සඳහා වාහන රහිත  QR ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවය.

නව QR ක්‍රමවේදය මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් පැවසූ රාජකරුණා මහතා සඳහන් කළේ මෙය ගොවීන්, ධීවරයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා සඳහා නිර්මාණය කරන බවය.

ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධව දැනුවත් කර මෙම නව QR ක්‍රමවේදය නිර්මාණය කර ගත හැකි බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මෙම නව QR කේතය එම පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට නිර්මාණය වන බවය.

මෙම නව QR කේතය ක්‍රම කිහිපයක් යටතේ නිර්මාණය වන බවත් ඒ අනුව එහි කාණ්ඩ 7ක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මෙම කාණ්ඩ සඳහා ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරන බවය.

මෙම නව ක්‍රමවේදය ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නා බවත් මේ හරහා ගොවීන්, ධීවරයින් ආදී වාහන රහිත ඉන්ධන භාවිත කර නොයෙකුත් ව්‍යාපාර සහ සිය අවශ්‍යතා සඳහා ඉන්ධන භාවිත කරන සියලු පාර්ශ්වයන්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි….

ශ්‍රී ලංකා පොලිසියට උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරීන්) නීතිඥවරුන් බඳවාගැනීමේ කාලය ලබන මස 20 වෙනිදා දක්වා දීර්ඝ කර ති‌බේ.

එම කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය මාර්තු 27 වෙනිදා නිකුත් කළ බව පොලීසිය නිවේදනය කරයි.

පසුගිය පෙබරවාරි මස 20 වෙනිදා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරින්) නීතිඥවරුන් 100ක් බඳවා ගැනීමට නියමිතය.

මේ සඳහා අයදුම්පත් අධ්‍යක්ෂ, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය, අංක 375, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 06 ලිපිනයට යොමු කළ යුතුය.

අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටලුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ 071 – 859 19 25, 011 – 250 52 02 සහ 011 255 29 53 යන දුරකථන අංක මගින් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව පවතියි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්….

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

වෙළෙඳ අමාත්‍යංශයේදී ඊයේ (27) පැවති එම හමුවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා උපදේශක Maitrey Kulkarni මහතා ඇතුළු පිරිසක් එක්ව ඇති අතර වෙළෙඳ අමාත්‍යංශය නියෝජනය කරමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, ආචාර්ය ශාන්ත ජයරත්න මහතා, සමූපකාර තොඟ වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා සහභාගි වී ඇත.

මෙහිදී දෙරට අතර පවතින මේ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීම, ආයෝජන සබඳතා ප්‍රවර්ධනය, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම, දෙරටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙන්ම සමුපකාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවට ගැනුණි.

මෙහිදී ඉන්දියානු මහකොමසාරිස්වරයා පැවසුවේ ශ්‍රී ලංකා නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා ප්‍රදර්ශන සහ වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීමට අපේක්ෂා කරන බවය. එමෙන්ම තේ සහ ඇඟලුම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ ඇඟලුම් සඳහා ඉන්දියාවේ විශාල ඉල්ලුමක් පවතින බැවින් එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපනයනකරුවන්ට මඟපෙන්වීම තම අරමුණ බවත් සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සහ ඉන්දියාවේ NCL ආයතනය අතර සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමු කර තිබෙන බවත් එය සෘජු සැපයුම් බැඳීමකට වඩා පුළුල් සහයෝගීතාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඉන්දීය  නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහිදී සහල් මිල පාලනය කර තිබුණද සම්බා වැනි විශේෂ සහල් වෙළෙඳපොළ හිඟයක් පවතින බව මෙහිදී වෙළෙඳ අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජයට සහල් මෙට්‍රික් ටොන් 300,000ක් පමණ කළමනාකරණය කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන්ම මිල පාලනය කළ හැකි බව මෙහිදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ ගොවින්ගේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දීය රජය විසින් නියම කරන ලද අවම සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකෙරෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී පෙන්වාදුන් අතර එරට අත්‍යවශ්‍ය භාණ්ඩ පනතේ බලතල යොදාගෙන අසීමිත තොග රැස් කිරීම් රජය විසින් වළක්වා ඇති බවත් සදහන් කෙරිණි.

එමෙන්ම ඉන්දියාවේ FCI හෙවත් ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා නම් ආයතනය සතුව පවතින දැවැන්ත ගබඩා පද්ධතිය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා මෙහිදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැනුවත් කිරීමටද කටයුතු කළේය.