සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී…..

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,500,656ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 132,368 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රුසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

පළමු මාස හය තුළ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා මෙහෙයුම් ලාභයේ වර්ධනයක්…..

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභයේ 78%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ මෙම වර්ධනය පෙන්නුම් කර ඇති බවය.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය ලෙස රුපියල් මිලියන 9,049ක් සටහන් වී ඇති අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් 16,133ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම පසුගිය 2024 වසරට සාපේක්ෂව  2025 වසරේ ගුවන්ගමන් වාර 16%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල 17%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර දේශීය ගුවන්ගමන් වාරවලද 10%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල වැඩිම අගය පසුගිය මාර්තු මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 22%ක වර්ධනයක් වන බවය.

තවද දේශීය ගුවන්ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව 38%ක වර්ධනයකි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්….

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අද දෙරණ වාර්තාකරු පැවසීය.

එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින්ද ඉකුත් දා පෙතසමක් ගොනු කළේය.

කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට නිවේදනයක්…..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවා ඇත.

පසුගිය දිනවල ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම හේතුවෙන් අපහසුතා ඇති වූ බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීමට, මෙම තීරණය ගෙන ඇත.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් විය.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටියි.

ඒ හැරෙන්නේ මහද්වීපික කලාප සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආසියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් සුදුසුකම් ලබාගත්තේය.

ඊට අමතරව යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තය මෙලෙස සිය ස්ථාන තහවුරු කරගෙන සිටියි.

සත්කාරක රටක්වන නැමීබියාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පරාජය වූ හෙයින් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් නැත.

ඔවුන් සත්කාරක රටක් වුවද, පූර්ණ සාමාජික රටක් නම් පමණක් එම අවස්ථාව හිමිවන බැවින් ඔවුන්ට ඍජු සුදුසුකම් ලැබීමේ වාසිය අහිමි විය.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ICCය විසින් ඉදිරියේ දී  කාණ්ඩ හතරකට බෙදීමට නියමිත අතර, එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ  ඉහළම කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියරට පිවිසෙනු ඇත.

සුපර් සික්ස් අදියර කොටස් 2ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සෑම කාණ්ඩයකින්ම පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතා 5කට ඉන්දියාව හිමිකම් කියන අතර, වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව ශූරතා 4කට හිමිකම් කියයි.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේ ජනවාරි- පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට….

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (18)  දැනුම්දෙනු ඇති බවය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණි.

මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත්වී ඇති අතර, එම අභියාචනා පිළබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස්ගොස් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් හා අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

ආණ්ඩුව ට්‍රිලියන 1.2ක් අච්චු ගහලා.. රටේ ණය බර බිලියන 905 කින් ඉහළ ගිහින්..

මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමු වීමේ ආරම්භය විය හැකි බව එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, මේ දක්වා කාලය තුල එක් එක් මාසයේ දී අච්චු ගසා ඇති මුදල හෙවත් ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (money printing – Broad money (M2b) ප්‍රමාණය පහත දැක්වේ.

(රු.බිලියන)

2024 ඔක්තෝබර් 58.70

නොවැම්බර් 78.30

දෙසැම්බර් 234.80

2025 ජනවාරි 117.40

පෙබරවාරි 104.70

මාර්තු 233.90

අප්‍රේල් 154.20

මැයි 33.60

ජූනි 210.30

අච්චු ගැසූ මුළු මුදල රු. බිලියන 1,225.9 (පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b))

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී, අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා. 2022 අප්‍රේල් – මැයි පුළුල්වීම 17% -20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදු විය. 2001, රටේ මුල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි.

ණය බර වැඩිවීම

පසුගිය සැප්තෑම්බර් ජනාධිපතිවරණ‍යෙන් පසුව නැවත රටේ ණය ක්‍රමිකව නමුත් වේගයෙන් වැඩි වෙමින් ඇත. නව රජය බිහිවන විට රු. බිලියන 17,595.05 ක් වූ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 අප්‍රේල් වන විට රු. බිලියන 18,629.86 දක්වා එනම්, රු. බි. 1034.81 කින් ඉහළ නැග ඇත.

නව රජයේ පාලනය යටතේ රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,480. 39 දක්වා රු. බිලියන 905.74 ඉහළ ගොස් ඇත. විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇති නමුත්, දිගින් දිගටම බැඳුම්කර හරහා දේශීය ණය ලබා ගැනීම මෙයට හේතුවයි.

පසුගිය අගොස්තු 12 දින මහ බැංකුව ඉදිරිපත් කළ රු. බිලියන 65 ක බැඳුම්කර නිකුතුව අලෙවි වූයේ නැත. 2032 කල් පිරෙන (8% පොලිය) බැඳුම්කරයට එකම ලංසුවක් හෝ නොවීය. දේශීය ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තියට මෙය පැහැදිලි රතු එළියකි.

විදේශ සංචිත පහත වැටීම

මහ බැංකුවේ නිල දත්ත අනුව, 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ සංචිත ජූනි මස ඩො.මි. 6,080 ට පහත වැටුණි. ජූලි මස විදේශ සංචිත ඩො.මි. 6,114 කි. Swap (හුවමාරු) හරහා සිදුවන ව්‍යුත්පන්න කොන්ත්‍රාත්තු (derivative contracts) ද ඇතුලත් කරමින් ‘සංචිත’ ප්‍රකාශයට පත් කෙරේ.

කෙසේ වුවත්, Swap හුවමාරු අගය ඉවත් කළ විට, 2025 මාර්තු ඩො.මි. 2,799 ක් වූ රටේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ජූනි මස වන විට ඩො.මි. 2,210 දක්වා අඩුවී ඇත.

2024 දෙසැම්බර් මුළු සංචිත ඩො.මි. 6,122 න්, Swap ඩො.මි. 3,548 ක් වූ අතර, ශුද්ධ සංචිත 2,574 කි.

2025 ජූනි මුළු සංචිත ප්‍රමාණය ඩො.මි. 6,080 න්, චීන සහ වෙනත් Swap ඩො.මි. 3,870 ක් වු අතර, ශුද්ධ සංචිත ඩො.මි. 2,210 කි. ඒ අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජූනි දක්වා ශුද්ධ විදේශ සංචිත අඩුවීම ඩො.මි. 364 කි.

2021 – 2022 ආර්ථිකය බිඳවැටීමේ පූර්ව ලක්ෂණ මතුවන විට ප්‍රමාණික විෂය දැනුමක් සහිත පිරිස් මුදල් අච්චු ගැසීම, අසීමිත ණය ගැනීම හා විදේශ සංචිත පහත වැටීම ගැන අනතුරු හඟවනු ලැබීය. එම අනතුරු හැඟවීම් නොතකා කරුණු සැඟවීම හා විචාරකයින්ට අවලාද නැගීම 2022 ‘මූල්‍ය බිඳ වැටීම’, දැවැන්ත ආර්ථික බිඳවැටීමක් දක්වා වර්ධනය වූවේය. වසර හතරකට පසු නැවත එවැනිම මුල්‍ය බිඳවැටීමක පෙරමඟ ලකුණු හඳුණාගෙන පිළියම් යෙදීම මහ බැංකුව, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුවේ වගකීමකි.

රුපියල් බිලියන 1225.9 මුදල් අච්චු ගැසීම, ඩො.මි. 364 කින් විදේශ සංචිත පහත වැටීම හා රු. බිලියන 905.74 කින් රටේ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම අනිවාර්ය වනු ඇත. එය දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරන තත්වයකි.

LANKA LEADER NEWS

උතුරු – නැගෙනහිර හර්තාලය ගැන රජයේ මතය…

රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම හර්තාල් ව්‍යපාරය හෙට (18) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබෙන්නේ. 

මේ සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් හදන්න උත්සාහ දරන බවක් පේනවා.

ඒ නිසා රටේ ජනතාව කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න”.