කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි…..

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

 ශ්‍රී ලංකා  රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.

 කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) නව නියෝජිතයින්ද  මෙහිදී  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා  හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති  කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ( Yooli LEE) සහ කොරියානු එක්සිම් බැංකුවේ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂ ඕ ජියොන්ග්-ටේ (Oh Joeng-tae) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තාරුණ්‍යය සහ අපරාධ…..

තරුණ අපරාධ යනු ලොවපුරා බොහෝ රටවල් මුහුණ දෙන සමාජ ගැටලුවකි. එය තරුණ පරම්පරාවේ අනාගතයට පමණක් නොව සමස්ත සමාජයේම ආරක්ෂාවට හා සංවර්ධනයට සෘජුවම බලපානු ඇත.

තරුණයින් අපරාධ සඳහා යොමු වීමට බලපාන හේතු

මෑත කාලීනව තරුණයෙන් ගේ අපරාධ වල වර්ධනයක් දක්නට ලැබේ.
තරුණ අපරාධ සඳහා තනි හේතුවක් නොමැත. එය විවිධ සමාජ, ආර්ථික, මානසික සහ පවුල් පසු බිම් සාධක වල සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයකි. මෙම හේතු සාධක පිළිබඳව අවබෝධ කරගැනීම ගැටලුවට විසඳුම්සෙවීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.

දුර්වල දෙමාපිය අධීක්ෂණය පවුල් ආරවුල් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙමාපියන්ගේ අපරාධ පසුබිම් සහ බිඳුණු පවුල් වැනි සාධක දරුවන්ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
අධ්‍යාපනය පාසල් පරිසරය සම වයසේ මිතුරන්ගේ බලපෑම ආර්ථික හා සමාජයීය සාධක මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය මානසික හා සෞඛ්‍ය ගැටලු නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දුර්වලතා තරුණ අපරාධ වැඩි වීමේ අවදානම ඇතිකරයි.

රැකියා විරහිතභාවය දරිද්‍රතාවය සහ ජීවනෝපාය මාර්ග නොමැතිවීම තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇතිකරයි.මෙවැනි තත්ත්වයන් යටතේ ඉක්මන් මුදල් ඉපයීමේ අරමුණින් හෝ ජීවනතත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමට පෙළඹිය හැක.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ කල්ලි පිළිබඳව තොරතුරු හුවමාරු වීම තරුණයන් තුළ එවැනි ක්‍රියා කෙරෙහි උනන්දුවක් ඇති කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ තරුණ අපරාධවල වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකා වේ තරුණයන් අතර සුලභව දක්නට ලැබෙන අපරාධ අතරට සොරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය සම්බන්ධඅපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කල්ලි ගැටුම් ප්‍රධානවේ. මෑත කාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම වැනි බරපතල අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන අතර මේවාට තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවක්ද පවතී.

ආර්ථික අර්බුද සහ සමාජ අස්ථාවරත්වය තරුණ ප්‍රජාව අපරාධවල වර්ධනයට සෘජුවම බලපා ඇති බවට විශ්වාස කෙරේ.
රැකියා අවස්ථා අහිමි වීම ජීවන වියදම ඉහළ යාම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇති කරයි.

තරුණ අපරාධ පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යවේ. දෙමාපියන්ට දරුවන් ඇතිදැඩි කිරීම පිළිබඳව නිසි පුහුණුවක් ලබාදීම පවුල් උපදේශන සේවා සැපයීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය. දරුවන්ට ආරක්ෂිත සහ ආදරණීය පරිසරයක් ලබා දීමෙන් ඔවුන් අපරාධ සඳහා යොමුවීමේ අවදානම අවම කර ගත හැක.

අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ තරුණයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම ඉතා වැදගත්වේ.
යහපත් රැකියා අවස්ථා උදාකර ගැනීමත් හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.

රැකියා උත්පාදනය සහ ආර්ථික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුවේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීම ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මගින් රැකියා අවස්ථා වැඩි කළ හැකිය.

මානසික සෞඛ්‍ය සායන පුළුල් කිරීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජය දැනුවත් භාවය වැඩි කිරීමට පියවර ගැනීම.

තරුණයන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය තුළින් යහපත් ආදර්ශ ලබාදීම ද වැදගත්වේ.

අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් අපරාධ වැළැක්විය හැක.

තරුණ අපරාධ යනු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල සමාජ අභියෝගයකි.
තරුණ පරම්පරාව යනු රටක අනාගතයයි. ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීම වේ.

කොලින් හරිශ්චන්ද්‍ර

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටී.

බලපෑම් කොට එම මන්ත්‍රි ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ලවී ඇත.

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත්කර තිබේ.

ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – තැපැල් වෘත්තීය සමිති….

සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

එම වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේය.

ඒ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනයේ නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පැවසීය.

ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙදපොළට නිකුත් කිරීමේ මූලික පියවර ආරම්භ කෙරේ….

ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී අද (18) දින සිදු කෙරිණි.

ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්….

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා හරිත සංවිධාන නියෝජනය කරමින් සංක චන්දිම අබේවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

බලශක්ති අමාත්‍යවරයා විසින් පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදුකරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එමෙන්ම අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරීමේදී ගත් යම් යම් තීරණ හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇතැයිද මේ සම්බන්ධවද විමර්ශනය කරන ලෙස ඉල්ලා හරිත සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පැමිණිල්ල ගොනු කළ සංක චන්දිම මහතා පැවසුවේ සියලු සිදුවීම්වල ලිපි ලේඛණ අල්ලස් කොමිසම වෙත භාර දුන් බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා සම්බන්ධව තීරණයක් ගත යුතු බැවින් වහාම ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරිය යුතු බවත්ය‍.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංක චන්දිම අබේවර්ධන මහතා,

“මේ අන්ත දූෂිතයෙකුට අමාත්‍යධුරයක් දුන්නාම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්නවලට ජනාධිපතිවරයාට වගකීමක් නැද්ද?, ජනාධිපතිවරයා වහාම මේ සම්බන්ධව පියවර අරගෙන මේ දූෂිත ගනුදෙනු සියල්ල අහෝසි කරලා දාන්න ඕනේ සහ ඔහුව ධුරයෙන් පහ කරන්න ඕනේ”

උතුරු – නැගෙනහිර හර්තාලයට සිද්දවුන දේ…..

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව අප වාර්තාකරු පැවසීය.

හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද, වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබේ.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන සහ තවත් ස්ථාන බොහෝමයක් වසා දමා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වුවත් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.

මුස්ලිම් ප්‍රදේශවල කඩසාප්පු සුපුරුදු ලෙස විවෘතව පැවතී ඇති අතර, මඩකලපුව, චෙංගලඩි, ආරයියම්පති, වාලච්චේනයි, කොක්කට්ටිචෝලෙයි ඇතුළු දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රදේශවල සියලුම කඩසාප්පු වසා දමා ඇති බව නිරීක්ෂණය වූ බව අප වාර්තාකරු පැවසීය.

හර්තාල් පවතින නගරවල හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ආරක්ෂාව තර කර ඇත.

මිහින්තලේ හිමි CIDයට

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්……

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ඔහුව අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

වරෙන්තු අත්හිටුවන්නැයි ඉල්ලා රාජිතගෙන් මෝසමක්….

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසය.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නැත.