හිටපු බන්ධනාගාර වෛද්‍ය හේමන්ත රණසිංහ තවදුරටත් රිමාන්ඩ්….

2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගයක් නිකුත් කළාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවා සිටි රඳවියකු ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව බූස්ස බන්ධනාගාරයට නොයවා රෝහලේ රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට සැකපිට මෙම වෛද්‍යවරයා අල්ලස් කොමිසම විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

අලිමංකඩ උතුර ලුණු ලේවාය නැවත වැඩ අරඹයි….

උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් අලිමංකඩ උතුර ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පොහොර සහනාධාරයටත් QR එයි….

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේ අවශ්‍යතාව මතුව ඇතැයි රජය පවසයි.

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.

ඒ අනුව පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබාදීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් ජනාධිපතිවරයා, කෘෂිකර්ම, පශු සම්පත්  ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය…

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළේය.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත අගෝස්තු මස 06 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ.

මෙම පනත මඟින් “ජාතික විදුලිබල උපදේශක සභාව” වෙනුවට “බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය” සකස් කිරීමට විධිවිධාන සලසයි.

එමෙන්ම, “තොග විදුලිබල වෙළෙඳපොළ” යන්න “ජාතික විදුලිබල වෙළෙඳපොළ” ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජණනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ.

සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්….

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ මුදල් මෙම සැකකරුගේ අනුදැනුම මත විවෘත කර තිබූ වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තිබී සොයා ගත් බවත් අල්ලස් කොමිසම  පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි.

පෑලියගොඩ වෙඩිතැබීමක්…

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය ඉදිරියේ දී

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද (19) උදෑසන 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට….

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කළේය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී තුසිත හල්ලොලුව මහතා අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

EV පරදා Hybrid වාහන ඉල්ලුම ඉහළට…..

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි.

මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ.

2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ.

එහිදී බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින්ය.

චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය වෙළෙඳපොළය.

එහිදී යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටීමද විශේෂත්වයකි.

චීන EV නැත්නම් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මේ විදියට වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරීව තිබියදීය.

වාර්ෂිකව විද්‍යුත් වාහන මිලියන 11ක් පමණ එ නම් ගෝලීය EV වෙළෙඳපොළෙන් අඩක් පමණ නිපදවන චීනයේ මෙම ප්‍රවණතාව ලබාදෙන පණිවිඩයක් තිබේ.

එහෙත් ලෝකය තවමත් ඉන්ධන දහන එන්ජින් මුළුමනින්ම අතහැර දැමීමට සූදානම් නැත.

‘ප්ලග් ඉන් – Hybrid’ නැත්නම් මේ දෙමුහුම් රථවලින් සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා 30%කින් අඩු වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන තිබේ.

එහෙත් මේ Hybrid වාහන භාවිතය වුවත් ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය ශුන්‍ය කිරීම සඳහා වූ ඉලක්කය වසර ගණනක් ඈතට රැගෙන යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කළේය.

කෙසේ නමුත් මේ Hybrid වාහන සඳහා වූ ඉල්ලුම ඉහළ යාම තවත් වසර 03ක් හෝ 05ක් පමණ පවතිනු ඇති බවත් නැවතත් පූර්ණ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන ඉදිරියට පැමිණෙනු ඇති බවත් මෝටර් රථ කර්මාන්තයේ විශේෂඥයින් පවසයි.

දිගුකාලීනව වායු දූෂණය ශුන්‍ය වාහන සඳහා ප්‍රවණතාව තවදුරටත් පවතින බව ඔවුන්ගේ අදහස වෙයි.

එමෙන්ම ඇතැම් චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන් හයිබ්‍රිඩ් වෙත යොමු නොවී අඛණ්ඩව විද්‍යුත් වාහන නිෂ්පාදනයේ නිරත වන බව වාර්තා වෙයි.

ADA DERANA

gem city ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් පිරෙයි…..

කෝටි ගණනින් මැණික් ගන්න කෝටි ගණන් වාහනවලින් පැමිණි දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් gem city ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය තිබෙන ග්‍රෑන්ඩ් සිල්වර්රේ හෝටල් පරිශ්‍රය පිරී යයි

වසරකට වතාවක් දැකගත හැකි ඇස් නිලංකාර වන නිල් මැණික්

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය, ප්‍රදර්ශන කුටි අසූවකට අධික සංඛ්‍යාවකින් සමන්විත වනවා
රත්නපුරේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරයකින්ගේ කුටි රැසක් තිබෙන අතර ලංකාවේ තවත් ප්‍රදේශවල ව්‍යාපාරිකයෙක්ගේ කුටි ද තිබෙනවා මෙවර විදේශික ව්‍යාපාරිකයින්ගේ වෙළෙඳ කුටි දැකගැනීමට නොමැත

මෙම වෙළඳ කුටි අතර මැණික් වලට අගය එකතු කළ ඉතා අලංකාර රන් රිදී ස්වර්ණාභරණ වෙළඳ කුටිද තිබෙන අතර ඒවාටද හොඳ ඉල්ලුමක් පවතිනවා

මෙහි බහුතරයක් කුටිවල තිබෙන්නේ රත්නපුර මහපොළොවෙන් හමුවුණු සියලුම මැණික් කුලයන්ට අයත් ලක්ෂ ගණන් කෝටි ගණන් වටිනා කපා ඔප දැමූ මැණික් වන අතර
මින් නිල් මැණික් විශේෂයි.
විදේශීය කෝටිපති ගැනුම්කරුවන් නොයෙක් රටවලින් පැමිණ තිබෙන අතර
මින් සමහරුන් අලෙවි කුටිවල තබා තිබෙන මෙම නිල් මැණික් ලැබෙන පතල් දැක ගැනීමටද ගිය අයුරු දැක ගත හැකි විය මේ සඳහා රත්නපුර මැණික් හා අධිකාරියේ නිලධාරීන්ගේ සහාය ලබා දෙනවා

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වනවා

ප්‍රදර්ශනය 17 වනදා යින් අවසන් වනවා..

රත්නපුර – ගයාන් කුඩාගම