විදෙස් සංචාරකයින් 1,338ක් ගුවන්තොටේ දී රියදුරු බලපත්‍ර අරන්…..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි.

මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය.

පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරන බව ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි නියෝජිත අමිල කෝරලගේ මහතා පැවසුවේ, මේ හේතුවෙන් එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර ඇතැයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී ඇත.

කෙසේවෙතත් මෙම නව චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවය.

එමෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මත ලබාදී තිබූ දේශීය නිවාඩු හිමිකම ද එමඟින් අහෝසි කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම්, රෝයි ද මැල් මහතා සඳහන් කර ඇත.

මෙම නව චක්‍රලේඛය මඟින් විදේශීය නිවාඩු ඉල්ලුම් කර ඊට අදාළ පුහුණු වීම් ද, වීසා බලපත්‍ර යනාදිය ලබාගෙන තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයින් හා නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වෙනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගන්නා ලද තීරණය බලරහිත මෙන්ම අනීතික බව ද පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණයට හා ඊට අදාළව නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස් වහාම අවලංගු කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

තෙවන දිනටත් තැපෑල වර්ජනයේ….

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන අදිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී.ජී.සී. නිරෝෂණ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා මහත්මිය පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවය.

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්….

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා, එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කරගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එමගින් ගමට මුදල් ගලා යාම සමග ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි  සියලු පියවර ගැනීමටත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා, සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

පෑලියගොඩ පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු …..

පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ සේවකයෙකු පෑලියගොඩදී අද (19) වෙඩි තබා ඝාතනය කර තිබුණි.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ තැනැත්තා පමණක් නොව මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබීය.

පෑලියගොඩ, ඥාණරතන මාවත ප්‍රදේශයේදී අද උදෑසන 9:30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා අද දහවල් ජීවිතක්ෂයට පත් විය.

අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අයියප්පන් ප්‍රභූ නම් 40 හැවිරිදි අයෙකි.

ඔහු පෑලියගොඩ මාළු වෙළඳසැලේ සේවය අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.

ඝාතනය වූ පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැල්ලේ සාරංග නම් අපරාධකරුගෙන් එල්ල වූ මරණ තර්ජන හමුවේ ඔහු පෑලියගොඩට පැමිණ සිට ඇති බව පොලීසිය පැවසීය.

මොහු ඝාතනය කරන බවට වැල්ලේ සාරංග මරණ තර්ජන කර ඇත්තේ, සාරංගගේ සහෝදරයා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා උත්සාහ කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග බව පොලිසිය පවසයි.

ඝාතනය වූ තැනැත්තා පූකුඩුකන්නා නම් අපරාධකරුගේ සමීපතමයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

පලනි රිමෝෂන් හා කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුවන් ද මෙම ඝාතනයට සහාය දී ඇතැයි පොලීසිය සැක පළ කරයි.
.

තුසිත හල්ලොලුව රිමාන්ඩ්……

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඉකුත් 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිතර වෙයි.

මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා සඳහන් කළේ,

“ඇමතිතුමා එක්ක අපිට වහාම සාකච්ඡාවක් ලබාදෙන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ලෑස්තියි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කරන්න. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”

ගම්පහ ප්‍රදේශයේ අපරාධකරුවන් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට…

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 10කු මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමක දී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී – 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ නැවතත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/-ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

රාජිතගේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි…..

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.