විපක්ෂයේ පක්ෂ විශේෂ සාකච්ඡාවක….

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ගෙනආ විශ්වාසභංග යෝජනාව පිළිබඳවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය.

මෙහිදී අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විවිධ මත පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එමෙන්ම අදාළ යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ පිළිබඳ හෙට (21) දිනයේදී කථානායකවරයා සිය ස්ථාවරය ඉදිරිපත් කරනු ඇති බවටද විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුකර ඇති බවත් එහි කිසිඳු ගැටලුවක් නොමැති බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මතය වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එස්. ශ්‍රීධරන්, ෂානක්කියන් රාසමාණික්කම් ඇතුළු සමගි ජන බලවේගයේ මෙන්ම ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් ද එක්වී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට දහවල් 12ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට….

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබුණි.

කෙසේ වෙතත් අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප විය.

රාජිතට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි…..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නොතීසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළාය.

සංස්ථා ලුණු මිල පහළ යයි…..

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ.

එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 100ක මිලකට ද කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 මිලකට සහ කිලෝග්‍රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150ක වැනි මිලකට ලබන සතියේ සිට අලෙවි වනු ඇත.

මේ අතර සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 90ක වැනි මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට මහලේවායේ, බුන්දල ලේවායේ සහ පලටුපාන ලේවායේ ලුණු අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බැවින් ජනාතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය.

ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ නීතිරීතිවලට ශ්‍රී ලංකාව අනුකූල නෑ – WADA….

ජාත්‍යන්තර උත්තේජන මර්දන නියෝජිතායතනයේ (WADA) මෙහෙයවීමෙන් පැවැත්වෙන කිසිදු වැඩසටහනකට සත්කාරකත්වය ලබාදීම හෝ එහි නිළතල දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්දන නියෝජිතායතනයට (SLADA) තහනම් කර තිබේ.

අද (20) බලපැවැත්වෙන පරිදි මෙම තීරණය බලපැවැත්වේ.

නිවේදනයක් නිකුත්රමින් WADA සඳහන්කර ඇත්තේ, ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට අනුකූලව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ වැඩකටයුතු සිදු නොවන බවය.

ලෝක උත්තේජක මර්දන ඒජන්සියේ ස්වාධීන අනුගතවීම් ඇගයීමේ කමිටුවේ නිර්දේශ මත පරීක්ෂාවෙන් පසුවිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව මෙම වසරේ ඉකුත් මාර්තු මාසයේ දී ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත් නිරීක්ෂණ කාලය අවසන් වූ පසුගිය ජුනි 29 වනදා වනවිටත් ශ්‍රී ලංකාව ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට අපොහොසත්වී ඇති බව  WADA සිය නිවේදනයේ සඳහන්කර ඇත.

ඒ හේතුවෙන් මෙරට උත්තේජක මර්දන නියෝජ්‍යාතනය, ලෝක උත්තේජක මර්දන ඒජන්සියට අනුකූල නොවන ආයතනයක් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් මත ශ්‍රී ලංකාවට ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය මගින් සංවිධාන කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට අවසර හිමි නොවන අතර, අරමුදල් ලබාදීම ද තාවකාලිකව නතරවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියෝජ්‍යාතනය ලෝක නීතිපද්ධතියට අවශ්‍ය සංශෝධන සිදුකිරීම වසරකට අධික කාලයක් තවදුරටත් ප්‍රමාද කළහොත් ඔවුන්ට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතාවලියේදී මෙන්ම ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සිංහ ධජය යටතේ යටතේ තරගකිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිනොවනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාවට ද මෙම තහනම පනවා තිබේ.

යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී….

‍යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී ඇත.

කොඩිකාමම් පොලීසිය පවසන ලද්දේ වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බවයි.

අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

හමුවු පතරොම් සහිත බෑගය යාපනය,චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පතරොම් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය කලින්ම එයි….

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ හෙට සිදුකිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20)  උදෑසන 8ට ගම්පහ මහ රෝහලේ දී හදිසියේ ආරම්භ කර තිබේ.

අද උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (21) දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණි.

බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ,  CT Scan පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලු සේවාවන් බිඳ වැටෙනු ඇත.

අද රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට (21) දිනයේ සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි….

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්….

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නේය.

ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ලේඛන මුද්‍රිත පිටපත් වශයෙන් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය ප්‍රකාශ කළේ, මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බවය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත තැටිය භාරගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

එවිට විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තිය විසින් යම් කිසි ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ, එම මූලික විරෝධා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියම කළේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට…….

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාට අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.