සූදු ගසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු ඇතුලු 15 දෙනෙකු අත් අඩංගුවට . ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයා මේ මස 12 වනදා දක්වා රීමාන්ඩ්….

පලෝගම ස්තානාධිපති වරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් , කැකිරාව මහේස්ත්‍රාත් අදිකණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් විශේෂ කාර්‍යය බලකාය හා පොලිස් නිල සුනකයින් යොදවාගෙ , ඉපලෝගම පොලීසිය මගින් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී වරයකුගේ නිවසක් වටලා තිබෙනවා.

එම අවස්තාවේදී එම නිවස තුල අදාල මන්ත්‍රී වරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන ගොස් අතර , සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රී වරයාද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදු කල සෝදිසි කිරීම් වලදී නිවසේ අධි ශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩ මස් 7kg කට ආසන්න ප්‍රමාණයක් ද සොයගෙන තිබෙන අතර එම මස් තොගය හා අධි ශීතකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව අදාල සැකකරුවන් ඊයේ කැකිරාව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කල ඇති අතර, සෑකකරුවන්ට දඩ මුදල් නියමකර නිදහකර තිබෙනවා. නමුත් එම අදාළ මන්ත්‍රී වරයා සම්බන්ධයෙන් , තඹුත්තේගම විශේෂ අපරාද විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ද නඩුවකට අදාලව එම මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කර තිබෙනවා.

ඇමරිකානු විදුලි මෝටර් රථ, තීරුබදු රහිතව ලංකාවට ගෙන්නන්න ඉඩ දෙනවාද? – ඇමති නලින්දගෙන් පිළිතුරු…

ඇමරිකාව විසින් එක් එක් රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා පවත්නා අනුපාතිකය 30% සිට 20%ක් දක්වා පහත හෙළන බව පසුගිය ජූලි 31 දා නිවේදනය කරනු ලැබීය. මෙම තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් කොන්දේසි සඳහා එකඟ වීමට සිදුවී ඇති බවට විවිධ වාර්තා සඳහන් කරන අතර, අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් සිදුකරන ලදී.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ තීරුබදු ප්‍රතිශතය අඩුකිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක සාකච්ඡා මේ දක්වා අවසන් වී නොමැති බවත්, ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීමට උත්සාහ දරන බවත්ය. තවද සාකච්ඡා අවසානයේ දී මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රශ්නය – මේ වෙන කොට කතාබහක් යනවා ඇමරිකාව සමග බදු සහන ලබා ගැනීමට ඇති කර ගත් එකඟතා සම්බන්ධයෙන්. දැනගන්නට තිබෙන තොරතුරු අනුව ඇමරිකානු විද්‍යුත් මෝටර් රථ තීරුබදු අයකිරීමකින් තොරව ලංකාවට ගේන්න කියලා ඉල්ලීමක් වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒ වගේම ලංකාවෙන් ඇමරිකාවට අපනයන කරන නිමි ඇඳුම්වල ගොඩාක්ම පාවිච්චි කරන්නේ චීන උපාංග. ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන්න කියලා ඉල්ලීමක් ලැබිලා තියෙනවා කියලා තොරතුරු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා සතුව යම්කිසි තොරතුරක් තිබෙනවාද? ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් රජයේ සාකච්ඡා අවසන්ද, නැතිනම් තවදුරටත් ක්‍රියාත්මකද?

පිළිතුර – සාකච්ඡා තවම අවසන් නැහැ. ඒ 20% මත පදනම් වෙලා ඉදිරියට යනවා, තීරුබදු අඩු කරන්නේ මොනවාද, ඒ කියන යෝජනා සම්බන්ධයෙන්. එකගතා අවසන් නැහැ. සාකච්ඡා අවසන් නැහැ. සාකච්ඡා අවසන් වුණාට පසුව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරාවි ඒක තත්ත්වය මොකක්ද කියලා. අපි තවමත් උත්සාහ කරමින් සාකච්ඡා කරමින් ඉන්නවා, රටට වාසිදායක විදියට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. 

ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සම්මත කර මේ වන විට වසර 25ක පමණ කාලයක් ගතවී ඇති බැවින් මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්ථනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත.

ඒ අනුව ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මේ වන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබු ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මස්කෙළිය පොලිසියට සහ සාමිමලේ වෙළඳුන්ට එරෙහිව විරෝධතාවක්….

මස්කෙළිය පොලිසියට සහ සාමිමලයි නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනෙකුට එරෙහිව සාමිමලයි නගරයේ විරෝධතාවක් පැවැත්විණි.

මෙහිදී පසුගිය (30) දින සාමිමලෙයි නගරයේදී  සිහි බුද්ධියක් නොමැති පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් හා පහරදීම හා සම්බන්ධ පුද්ගලයන් තිදෙනාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක  නොකිරීම සම්බන්ධයෙන් මහජනතාව විරෝධය පෑමට කටයුතු කළේය  ,

තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විටත් දික්ඔය ක්ලැන්ගන් රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන නමුත් පහරදීම සිදුකළ පුද්ගලයන්ට අධිකරණයෙන් ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ නොවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන බවද විරෝධතාකරුවන් චෝදනා නැගූහ ,

එහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ පහර කෑමට ලක් වූ පුද්ගලයාට යුක්තිය ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් මානව අයිතිවාසික උල්ලංඝනය කරමින් සිදුකළ  මෙවන් පහරදීමකට එරෙහිව ප්‍රදේශවාසීන් හැටියට නීතිය පිහිට පතන බවය ,

මෙම විරෝධතාවයට ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී කණපති කනකරාජ් මහතා ද එක්වසිටි අතර ඔහු එහිදී විරෝධතාකරුවන් ඉදිරියේ පැවසුවේ පහර කෑමට ලක් වූ පුද්ගලයාට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය කටයුතුවලදී තමන්ට උපරිම හැකි ශක්ති ප්‍රමාණයෙන් බලධාරීන්ට බලපෑමක් සිදු කරන බවයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා.”

ප්‍රශ්නය – හැමදාම වෙඩි පත්තු වෙන්නේ පාතාලයට දේශපාලන රැකවරණයක් නැති නිසා ද ?

“ඔව් ඒකත් හේතුවක්. පාතාලය ඇතුළේ කැලඹීම් වෙලා තියෙනවා. ඒකෙන් ඔවුන්ට බාධා ඇති වෙලා තියෙනවා ඒ නිසා වෙඩි පත්තු වෙනවා. එහෙම තමා”

නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදාවේ 3500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන බව සඳහන් වේ.

ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කළේය.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

කීර්තිබණ්ඩාරපුර ට්‍රැෆික් OIC අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට…

කීර්තිබණ්ඩාරපුර රථවහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථානාධිපතිවරයා ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (05) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ  වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

වඳුරෙක් නිසා සිදු වූ විදුලි බිඳවැටීම ගැන PUCSL ප්‍රසිද්ධ විභාගයක්…..

ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වූ බව කියන සිද්ධියට අදාළව මහජන උපයෝගීතා කොමිසම සිදුකරන ප්‍රසිද්ධ විභාගය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අද පෙරවරුවේ ප්‍රකාශ ලබාදුන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 09 වනදා දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

එම අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් විදුලි බිඳවැටීම සිදුවූ බවය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එවක විදෙස් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබුණි.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් ලබා දී තිබෙන වාර්තා පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් නැවත විමර්ශනයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේය.

ඒ අනුව අදාළ ප්‍රසිද්ධ විභාගය අද පෙරවරු 8.30ට පමණ ආරම්භ කෙරුණ අතර එය පස්වරු 6 දක්වා පැවැත් වේ.

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමේ විවාදය ඇරඹේ….

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේ දී විවාදය ට ගෙන තිබේ.

යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව  සම්මත කර ගැනීමට හැකියාව හිමි වේ.

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු  ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.