පෙම් සුව විඳි තරුණ යුවළක් මුහුදට ගසාගෙන යයි – බේරාගන්න දැරූ උත්සාහය කැමරාවේ…

ගාල්ල – කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට එම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් කටයුතු කර තිබේ.

ඊයේ සවස සිදුව තිබූ එම අනතුර අසල වූ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබුණි.

ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ ගල් බැම්ම මත ඇති කුටියට පෙම් සුව විඳීම සඳහා පැමිණ තිබූ මෙම යුවළ මුහුද සැරවීමත් සමඟ එකවරම මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඒ මොහොතේ ඕලන්ද ගොඩනැඟිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරී ගාමිණී මහතා විසින් අදාළ සිදුවීම දැක වහාම මුහුදට පැන තිබේ.

පසුව අවට සංචාරක ආපනශාලාවල සිටි තරුණ පිරිසක් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා යුවළ බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට ලක්වූ තරුණිය හා තරුණයා අහංගම සහ ලණුමෝදර පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘සපුමල්’ ට වෙඩි තියලා – තුවාල බරපතළයි…..

හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගෙන සිටින ‘සපුමල්’ ලෙස හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද සඳහන්ය.

වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය වන්නේ, දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි ඇති බවය.

වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා ඇති අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බව ඇතාව දුටු සංචාරකයින් පවසයි.

ඉක්මනින් ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වේ.

වෙඩි වැදී සිටින ඇතා කොරගසමින් කවුඩුල්ල වැව් තාවුල්ලේ ගමන් කරන අයුරු ඊයේ (22) එහි ගිය සංචාරකයින් පිරිසක් විසින් පටිගත කර තිබුණි.

තංගල්ල නිවසේ දී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට…..

තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි.

පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල  කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන් වෙයි.

තංගල්ල, සීනිමෝදර ප්‍ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලිසියට ලද තොරතුරු මත ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක තිබී අදාල අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

එහිදී එක්ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍ය වලට අමතරව ටී – 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකල නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය  විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවටයි පොලිසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

රෝහල්ගතව සිටිය දී ඊයේ දිනයේ මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බවද  වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයින් දෙදෙනා ඇතුලු 6 දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා සහ එක්ලොරි රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව  පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරයට QR කේතයක් එයි….

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවත් ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

ඒ අනුව ඉදිරියේදී ලබා දෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තා පොහොර ලබා දීමේ නව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ වගේම අපේ තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් මේ 2025 අවුරුද්දට තේ පොහොර සහනාධාරය ලබා දෙන්න අපි වෙන් කරලා තියෙනවා.  විශේෂයෙන් 75%ක් ඉන්නේ කුඩා තේ වතු හිමියෝ. ඔවුන් ඉලක්ක කරලා රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාර ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒක QR කෝඩ් එකක් මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට රජයේ පොහොර සහනාධාරය ඇතුළු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් පොහොර සහනාධාරය ලබා ගැනීමේ හැකියාවත් එක්ක අපි මේ මාසේ 26 වැනිදා කළුතර, මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේදී ගොවියන්ට මේක ලබා දෙමින් මේ අවුරද්දේ ඉතා ඉක්මනින් තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප…

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- මුදල් ඇපයක හා ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා මොරටුව මහ නගරසභාවට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර ඇත.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගරසභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්…..

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණි.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා අත්සන් තබා ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක්ද එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි….

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි.

නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි.

අ.ඩො.බිලියනයක වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි….

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම   X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය (AFP) සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ, මෙම වන්දිය ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදුකරණ නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බව ඔහු සංවාදයේදී පවසා ඇත.

මෙම ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එහිදි පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානීය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකර නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

එමෙන්ම පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය බවත් අධිකරණය නියම කළ හැකි පරිදි අනාගතයේදී “වෙනත් සහ තවත් ගෙවීම්” කිරීමටද එය සමාගමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම වන්දි මුදල් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා  තිබූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20වන දාය.

නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි.

නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම  ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500ක දුරකට පමණි.

නෞකාවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා අතරමග එම උත්සාහය අත්හැර දැමුණි.

සායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 78ක් ඊට ඇතුළත් විය.