වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගල්කුලමේදී අනතුරක 06ක් රෝහලේ…

වන්දනා කරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අද (07) තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදි අනතුරට ලක්විමෙන් එහි රියදුරු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තිරප්පනය පොලිසිය කියයි.
මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. මතුගම සිට අනුරාධපුරයේ වන්දනාව සඳහා යමින් සිටි මතුගම ප්‍රෙද්ශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ එම වෑන් රථයේ රෝදයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම රෝදය ගැලවී ගොස් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයේ පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වෑන් රථයේ පුද්ගලයින් අට දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. සිදුව ඇති අනතුරෙන් එම වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් ඛළ බව පොලිසිය කියයි. එම තුවාල කරුවන් මතුගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
තුවාල කරුවන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ති‍රප්පනේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කැකිරාව කුෂාන් ජයවර්ධන

අගමැතිනිය පැවසූ ‘චිචීගේ රොකට්ටුවේ’ දත්ත වැරදියි – ඇමති වසන්ත කියයි….

රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් යවනු ලැබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරිය විසින් ඊයේ (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කරුණුවල දත්තවල යම් වැරැද්දක් සිදුව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එහිදී අමාත්‍යවරයා අද (07) රැස්වූ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ BOI සමාගමක් විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවයි.

පොදුවේ “චීචීගේ රොකට්ටුව” ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් සොයාගෙන ඇති බවයි.

දැනට පවතින දත්ත අනුව, සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම 2012 මැයි මාසයේදී චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ විදුලි සංදේශ සේවා සැපයීමට BOI සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ව්‍යාපෘතිය එම වසරේම නොවැම්බර් මාසයේදී දියත් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2012 දී සමාගම රුපියල් බිලියන 12.14ක් වත්කම් ලෙස ප්‍රකාශ කර ඇති බවත්, 2013 සහ 2014 මූල්‍ය වාර්තාවල බදු දීමේ පදනම මත ලබාගත් චන්ද්‍රිකාවක් සඳහා රුපියල් මිලියන 12ක ආයෝජනයක් පෙන්නුම් කරන බවයි.

නමුත් 2014 සහ 2015 මූල්‍ය වාර්තාවල කලින් ප්‍රකාශ කළ වත්කම්, වගකීම් සහ ආයෝජන පිළිබඳ විස්තර අඩංගු නොවන බව පෙන්වා දුන් ඔහු, චන්ද්‍රිකාවේ පිහිටීම ද සොයාගත නොහැකි බව පැවසුවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ජනපතිගේ කීර්ති නාමය පළුදු කළ බවට සමාජ මාධ්‍ය පෝස්ටුවකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කාන්තාවක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය පළ කිරීමකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නීතිඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හා චරිතයට හානි කිරීමේ අරමුණින් මෙම අසත්‍ය සහ අපහාසාත්මක කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට එහි සඳහන් වෙන්නේ.

එම පැමිණිල්ල මගින්, මෙම පදනම් විරහිත සහ නොමග යවනසුලු සටහන් පළ කළ සමාජ මාධ්‍ය ගිණුම්වල හිමිකරුවන් පිළිබඳව විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සඳහන් වෙන්නේ.

විදෙස් සංචිතය සියයට 1කින් ඉහළට….

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

නුවරඑළියේ අයාලේ යන පෝනියන් වෙන්දේසි කරන්න යයි…..

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම වාහනවලට අවහිර ලෙස අයාලේ සැරිසරන පෝනියන් අල්ලා ගාල් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෝනියන්ගේ අයිතිකරුවන්, පෝනියන්ගෙන් ආදායමක් ලබාගැනීම පමණක් සිදුකර සතුන් රැකබලා ගැනීමක් සිදු නොකරන බවය.

මෙ‍ම සතුන් නගරය පුරා සැරිසරමින් ආපනශාලාවලින් හා සංචාරකයින් ලබාදෙන ආහාර ගන්නා බවත්, ඇතැම් පෝනියන් රෝගාතුරව සිටින බවත්, එම සතුන් සුවපත් කිරීමට අයිතිකරුවන් කටයුතු නොකරන බවද නගරාධිපතිවරයා පැවසීය.

අයාලේ සැරිසරන පෝනියන්ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම තීරණය ගෙන තිබේ.

මෙම පෝනියන් නගරසභාව විසින් ගාල් කර ඇති බවත් නැවත අයිතිකරුවන් භාරයට ගන්නේ නම් දඩ මුදලක් ගෙවිය යුතු බවත්, භාර නොගන්නේ නම් නගර සභාව විසින් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරත් පැවසීය.

රේගු භාරයේ තිබූ BYD වාහන 991ක් මුදා හැරීමට එකඟතාවයක්…

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(08) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.

ඉදිරිපත් වූ කොන්දේසිවලින් කිහිපයකට පෙත්සම්කාර පාර්ශවය එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව මෙම වාහන මුදා හැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට සිය එකඟතාවය පළ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව ස.ජබයෙන් විශ්වාසභංගයක්……

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (7) භාරදී තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විතය.

අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව අදාළ යෝජනාවන්හි දැක්වේ.

ඒ හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ඔහු ධුරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බව පවසමින් යෝජනා සම්මත කර ඇත.

අදාළ විශ්වාසභංග යෝජනාව‍

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය – III කොටස, 6 වන වගන්තියෙහි,

“මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් එ්කාග්‍රතාවකින් විය යුතුය.”

යනුවෙන් සඳහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද;

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 9 වගන්තියේ චර්යා රීතිවල සඳහන්,

(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම
(ඇ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම
(ඉ) තමන් වගකිව යුතු චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම

යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මටම තහවුරු වන හෙයින්ද;

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අපොහාසත් වන බව නිරික්ෂණය වන හෙයින් ද;

එසේම,

01. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර)  ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින්ද;

02. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

03. පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

04. අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින්ද;

05. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද;

06. අදාල සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල ගරු අරුණ ජයසේකර මහතාගේ යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,

07. මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,

08. වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;

09. ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;

10. අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින්ද;

11. එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින්ද;

12. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද;

13. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, ඒම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද;

14. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු  ඉරුදින ප්‍රහාරයේ  විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින්ද;

15. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් ද;

ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර, එමඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් මේ ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් එතුමා ඒම ධූරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී.

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය…..

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“ඒක 2022 ආර්ථිකයට තිබූ බලපෑමක් නෙමෙයි. 2023 ඒ බර ආවේ නෑ. 2024 ඒ බර ආවේ නෑ. හැබැයි අපි ඒ බර අරන් තියෙනවා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රබවයක්. 

මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා. ඩොලර්වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා. ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ. මේ විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදියටම පවත්වාගෙන යනවා. ඔබට මේ අවුරුද්දේ ගන්න බැරි නම් ලබන අවුරුද්දේ ගන්න. හැබැයි මතයක් හදනවා මේ වෙලාවේ ගිහින් ගන්න කියලා. ඒ කැත වැඩේ යෙදෙන්න එපා. බදු වැඩි කරයි කියනවා. මේ වෙලාවෙත් බදු වැඩියි. තවත් කොහොමද බදු වැඩි කරන්නේ. කිසිම බදු වැඩි කිරීමක් කරන්නේ නෑ”

අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ -ජනපති

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය.

මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.

ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.