කඩුවෙලදී පොලිස් වෙඩි තැබීමක්…..

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.

එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබේ.

කෝටි ගාණක් වංචා කළ කළුතර ප්‍රා. සභාවේ හිටපු නිලධාරිනියක් සහ රියදුරෙකු අත්අඩංගුවට…

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කළ පැමිණිල්ලක් මත  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වීමෙන් පසු ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කර තිබූ අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සයිබර් වංචාවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම වළකා පිටුවහල් කරයි…

පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

මොහු අද උදෑසන 9.45ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

ඔහු සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණෙන බව කටුනායක ආගමන විගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණද එහිදී තමන් දරන තනතුර පිළිබඳව පැහැදිලි සහා නිශ්චිත තොරතුරු ලබා දීමට අපොහොසත් වී තිබේ.

ඒ අනුව අදාල චීන ජාතිකයා ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා අවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.

එහිදී ඔහු සන්තකයේ තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැඳුනුම්පතක් සොයා ගැනීමට හැකිව තිබූ අතර එහි පිලිපීනයේ පැරනාකිව් ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානය මෙහු සේවය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ වන විට එම මධ්‍යස්ථානය එරට ආරක්ෂක අංශය විසින් වටලා ඇති බවත් ඒ පිළිබඳව දර්ශන යූටියුම් සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා විකාශනය කර ඇති බවත් එම නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙම චීන ජාතිකයා ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සඳහා අදාළ ගුවන් සේවය වෙත භාර දීමට කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.

නීතිවිරෝධීව මැණිකක් විකිණීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට…..

පියල් කෝටි 50ක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අළෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් තිදෙනා එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් එය රුපියල් කෝටි 50කට අළෙවි කිරීමට සූදානම්ව සිට ඇති අතර පොලීසිය උපාය දූතයෙකු ලවා කේවල් කර එම මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩු කරගෙන තිබේ.

ඒ අනුව එම උපාය දූතයා ලවාම සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනෙකි.

පොලීසිය පැවසුවේ පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද යන්න පිළිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

කෙසේ වෙතත්  අත්අඩංගුවට ගත්  සැකකරුවන් තිදෙනා නුව

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කරයි

2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා ආදි වගාවන් සඳහා අක්කර 87,690ක වගා කළ ගොවීන් 74,958ක ප්‍රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී ඇති බවය.

එම වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී තම වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති බවත් එම මණ්ඩලය පවසයි.

ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබේ.

2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ…..

එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.

ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

2024  නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇත.

ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි….

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙයින් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් මේ වනවිට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවය.

කෙසේවෙතත් බරපතළ තුවාල ලැබු තිදෙනාම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මීට අමතරව තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතුව ඇතැයි ද සඳහන් කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිශ්චිතව මේ වනවිට පැවසිය නොහැකි බව ද සඳහන් කළේය.

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ  ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

මේ අතර, අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම ජයග්‍රහණයක් – සුප්‍රීම් සැට් විශේෂ නිවේදනයක්

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවය.

එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.

බො‍රැල්ලේ වෙඩි තැබීමක්…පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට…..

බො‍රැල්ල සහස්‍රපුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56යේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි….

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.‍

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කරන ලදී.

මෙම සංචාරයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුනාමි ව්‍යසනයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදීද ඕස්ට්‍රේලියානු රජය සෘජුව මෙන්ම, ජාත්‍යන්තර ආයතන හරහා ලබා දුන් සහයෝගය සිහිපත් කර සිටියේය. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද  ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.

ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතය.

ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.