බලන්ගොඩ නිවසක ගින්නකින් මව පියා බේරී දරුවා මරුට….

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බව පොලීසිය පැවසීය.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව  සඳහන්.

එමෙන්ම මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (8) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට…..

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අද (09) පෙරවරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවද වාර්තා වේ.

බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයක සැරසිළි කටයුතු කරමින් සිටි තරුණයින් පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබුණි.

එහිදී තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාස විසින් සිදුකරයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්….

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්….

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,

“පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ.  පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”

“දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.”

“ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”

“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.”

“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 7,951 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

හෙරොයින් කිලෝ 1ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට….

මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 37ක් වන සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදි….

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජීනිවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

 මෙවරද විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක විශ්ව කීර්ති ශ්‍රී වනස්පති  ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ආදිවාසී ජනතාවගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාර දෙනු ලැබූ අතර සමරු ඵලකයක්ද පිළිගැන්විණි.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ද ආදිවාසී නායකයා වෙත තිළිණයක් පිළිගන්වනු ලැබීය.

 ආදිවාසී ප්‍රජාවගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම සඳහා කුටි ඉදිකිරීම ඇරඹීම සහ පාරම්පරික දැනුම සහ දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී ඔසු සබන් “කයිරි එළිදැක්වීමත්, ආයුර්වේද සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන අවසන් කළ ආදිවාසී කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි.

 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා ඇතුළු කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පැටවීමට ගිය බහාලුමක් වැටී බිහිසුණු අනතුරක්

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ.

කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව  තිබේ.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් හමුවූ අග්‍රාමාත්‍යවරිය…….

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත.

ඊයේ පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ  පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන් සිය විශේෂ අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,
”අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු ‍වුණොත් ඒක රටට ලොකු විනාශයක්.”

ඓතිහාසික දළදා පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි…..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන මහත්වරුද, විදෙස් තානාපතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.