සෞඛ්‍ය ඇමති සමග එළැඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි GMOA වෙතින් චෝදනා….

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළැඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශ තුළ ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල්වල පුරප්පාඩු සැපිරීම යන කරුණු නිවැරදිව සිදු නොවූ බවත් ඒ තුළින් උද්ගත වූ තත්ත්වයන් හමුවේ සිය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට ද සිදුවූ බවය.

කෙසේ වෙතත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම සිය සංගමයයේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සංගමයේ විධායක සභාවේ අවදානයට යොමු වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බවය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ නම් එම නිලධාරීන්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමටද සිය සංගමය කටයුතු කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්….

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර  පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දී ඇත.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක්…

ගීත ක්ෂේත්‍රයට අදාලව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාල සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීමට සහ ඊට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මූලිකව සාකච්ඡාවට ගනු ලැබීය. ඒ අනුව මීට අදාලව විශේෂඥ කමිටුවක් පත්කොට මාස තුනක් ඇතුලත අදාල නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) වෙනුවෙන් එහි සභාපති ගීත රචක නිලාර් එන් කාසිම්, ගීත රචක සුනිල් ආර් ගමගේ, ගීත රචක රවී සිරිවර්ධන, සංගීතවේදී නවරත්න ගමගේ, සංගීතවේදී දර්ශන රුවන් දිසානායක, සංගීතවේදී රංග දසනායක, සංගීතවෙිදී නදීක ජයවර්ධන සහ ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

මාරාන්තික මී උණ දරුවන් අතර වැඩි වීමක්…..

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.

විශේෂයෙන් මෙම කාලසීමාව පාසල් නිවාඩු කාලය බවත්, ළමුන් වැඩි වශයෙන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මෙලෙස මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවද හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය දීපල් පෙරේරා මහතා තවදුරත් පවසා සිටියේ, උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බවය.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, බඩ රිදීම, මුත්‍රා තද කහ පාටට පිටවීම මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.

මෙම මී උණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තිබුණද, ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

තවද මෙම රෝග තත්ත්වය වකුගඩු රෝග ආසාදනය සිදුවීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වූ පුද්ගල මළ සිරුර ගැන විශේෂ විමර්ශනයක්….

මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 09 වැනිදායි.

ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ නිවේදනයක් නිකුත්කර තිබුණි.

එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි සඳහන් වේ.

එහිදී කඳවුරේ නිලධාරීන් ඔවුන්ව දැක තිබූ අතර එම නිලධාරීන් පිරිස පලවාහැරීමට කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකපිට සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී එක් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.

අනෙකුත් සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ‍ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කළේය.

එම සෙබළුන් තිදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මුත්තියාර්කට්ටු වැවේ ගිලීගොස් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුවෙමින් ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද තරකර ඇත.

විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී මරුට….

අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවකි.

අදාළ කාන්තාව තවත් පිරිසක් සමඟ මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර එහිදී ඇය දිවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට ඇයගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

 කළුතර ගල්පාත චන්දන පෙරේරා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් ලොරි රථයක ගිනි ගැනීමට ලක්ව ඇති බවද වාර්තා වේ.

තවද අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබේ.

ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට….

මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24ක සහ 34ක පුද්ගලයින් වන බව පොලීසිය පැවසුවේය.

මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාකින් ටිකට් කැඩූ ජාවාරමක් හසුවෙයි….

හබරාදූව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බව අනාවරණය වී ඇත.

උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බස්‍ රථයක් ගාල් කිරීම සදහා රුපියල් 1,500ක මුදලක් ද, කාර් වෑන් ඇතුළු අනෙකුත් රථවාහන ගාල් කිරීමට රුපියල් 1,000ක් ලෙස අයකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ලේ වෙඩිතැබීමෙන් අසාද්‍ය තත්වයේ තවත් තරුණයෙක් මරුට

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇත.