GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි….

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, සිය ඉල්ලීම්වලට හෙට පෙරවරු 8 ට පෙර විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙය ක්‍රියාත්මක කරන බව පවසා තිබුණි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකාබලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා ඇත.

රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.

මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එහි අගය 286,085කි.

එමෙන්ම මෙම වසරේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 135,722 ක් සහ රුසියාවෙන් 116,257 ක්ද මෙරට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අගොස්තු 01 වැනි දින සිට 05 වැනි දින දක්වා  සංචාරකයින් 40,047 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එහි අගය  6,963ක් වේ.

එමෙන්ම එක්සත් ජනපදයෙන් 4,345ක් සහ චීනයෙන් 3,090ක් ද ප්‍රංශයෙන් 3,049 සහ ඉතාලියෙන් 2,739ක්ද පැමිණ තිබේ.

ප්‍රධාන පෙළේ මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් කොටුවෙයි

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී ඇත.

එවැනි මත්පැන් බෝතල් 33ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්ජනරාල්තුමාගේ උපදෙස් පරිදි එම මත්පැන්හලට මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා…

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

ලොහාන්ගේ තත්වය යහපත් නැහැ සුව දුක් බලන්න හිටපු ජනපතිවරුත් යයි……

රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මීට සතියකට පෙර රෝහල් ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්වසන පද්ධතිය තුළ හට ගත් දැඩි සංකූලතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ එම පෞද්ගලික රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ලොහාන් රත්වත්තේ මහතා මීට පෙරද මෙලෙසම රෝගී වී රෝහල් ගත කෙරුණු අතර එම රෝගී තත්ත්වය යළිත් උත්සන්න වීම හේතුවෙන් මෙසේ රෝහල්  ගත කෙරුණු බව ඔහුගේ පවුලේ සමීපතම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ රෝගී තත්ත්වය දැන ගත් විගස හිටපු ජනාධිපති වරුන් වන මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු ඔහුගේ දේශපාලන සමීපතමයන් හා හිතවතුන් පවුලේ ඥාතීන් සුවදුක් විමසීමට රෝහලට පැමිණෙන බව එම ආරංචි මාර්ග පැවසීය.

ලොහාන් රත්වත්තේ මහතාගේ තත්ත්වය යහපත් නොවන බවද ඔහු කෘත්‍රිම ශ්වසන පද්ධතියක ආධාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය මත ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

Kandy Prime News

යෞවන සමාජ දේශපාලනීකරණය වීම ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්….

මෙරට ඇති යෞවන සමාජ දේශපාලනයට යෙදා නොගන්නා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී හිටපු ජනාධිපතිවරයා යෝජනා කරනුයේ අමාත්‍යවරයාට හිටපු නිලධාරීන් සමග මෙන්ම දැනට පත්ව ඇති නිලධාරීන් සමගද සාකච්ඡා කර දෙපාර්ශ්වයටම සෑහිමකට පත්විය හැකි විසඳුමක් ලබා දිය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන  සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.

මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන  සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි”

ඊ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට….

මෙරට පරිහරණයට තහනම් වන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා ” ඊ”  දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

එම සැකකරු ළඟ තිබී ඊ දුම්වැටි 620ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම්වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා මෙම දුම්වැටි තොගය සොයා ගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ චොකලට් සහ සුවඳ විලවුන් ආනයනය කරන අතරවාරයේදී ඒවායෙහි සඟවා මෙම ඊ දුම්වැටි ආනයනය කර පුද්ගලයන් වෙත රුපියල් 8000- 10000ත් අතර මිලකට අලෙවි කරන බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තෙදින නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියාය.

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මහත්මිය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු විය.

එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටි කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් එක් විය.

මෙම පිටත්ව යාමේ අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් වලස් කටා පලා යාමට තැත් කරලා….

තිළිණ සම්පත් නොහොත් වලස් කටා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පළා යාමට උත්සාහ දැරීමේදී ඔහුගේ දෙපාවලට සහ එක් අතකට හානි සිදුව තිබේ.

දින 90ක රැඳවුම් නියෝග මත වලස් කටා මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

ඒ අනුව ඊයේ (09) රාත්‍රි 9.15ට පමණ සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් දෙනෙකු සමග ඔහු වැසිකිළියට ගොස් තිබේ.

එහිදී වැසිකිළියට යන අතරතුර වලස් කටා නිලධාරීන්ට පහරදී තුන්වන මහලින් බිමට පැන ඇති බව වාර්තා වේ.

එහිදී මොහුගේ දෙපා කැඩී ගොස් ඇති අතර එක් අතක් වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.