වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට….

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඊයේ (15) ඒ මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබූ නිතී කෘත්‍ය ඊයේ පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගැසු දඩය මිලියන 25 ඉක්මවයි….

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30 දක්වා වු මාස 06ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 306ක් සිදුකර ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියටත් අඛන්ඩව මෙම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය

අගමැති හරිනි අද ඉන්දියාවට…..

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් – 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

තාවකාලික ලැගුම්හලක තරුණයෙකුගේ මළසිරුරක්…

බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (15) දහවල් කාලයේ දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.

2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.

දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.

අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.

මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ….

අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය  වෙත භාර වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග පැමිණ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට ඔහු අද අධිකරණයට භාර විය.

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්,  හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.

කෝපායි පොලීසිය තාවකාලිකව ඉවතට….

කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ඒ යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවය.

එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

අද (15) දිනයේදී පිස්කල්වරයා විසින් එම නිවාස හිමිකරුවන්ට ලබාදි ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව තාවකාලිකව යාපනය පොලීසය අදාළ ප්‍රදේශයේ පැමිණිලි බාරගනු ඇත.

මේවනවිට ආරක්ෂක හේතුන්මත කෝපායි පොලිසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන ගොස් තිබේ.

තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලීසිය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.

අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය.

එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් ,”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් (දැල් ඇදීමට සහාය වන පිරිස) දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේය.

ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බවද වාර්තා වෙයි.

ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කරන ලද වැටලීමේදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් සොයා ගැනුණි.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.

මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි.

හිටපු ඇමති මනූෂ අධිකරණයට රැගෙන එයි…..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

අද (15) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණියේය.