නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට….

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවය.

කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා ගෙනෙයි….

2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට නියමිතය.

ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදුකිරීමට නියමිතය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වෙයි.

එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%කි. එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වෙයි.

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි….

පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියමකළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලාව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

සමාජ හා සාමයික කේන්ද්‍රියේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ අදාළ ප්‍රහාරයේ විඳිතයකු බවට පුද්ගලයෙකු වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් එවක රාජ්‍ය බුද්ධි  සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙන බවය.

එහෙත් එම නිර්දේශය මෙතෙක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන නොමැති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ඒ අනුව අදාළ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට….

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප…..

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

නිශාන්ත උළුගේතැන්නට ඇප….

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

විදුලි බිලේ වෙනසක් නෑ….

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

මේ වසරේ තුන්වන විදුලි ගාස්තු සංශෝධනය සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීම සිදුකළ අතර එම කටයුතු පසුගිය 8 වන දිනෙන් අවසන් වුණි.

“ඇත්තටම කිව්වොත් අනෙකුත් වියදම් එක්ක විදුලිබල මණ්ඩලය 6.8%කට වැඩි විදුලි බිල සංශෝධනයක් අපේක්ෂා කරලා තිබුණා. මේකෙදි අපේ අදහස වුණේ, පහුගිය කාලපරිච්ඡේදයන්ට අදාළව ක්‍රමවේදයට අනුව කිසියම් ආකාරයක ගැලපීමක් සිදුකළ යුතු වෙනවා. අපි ඒකට කියනවා ආදායම් වෙනස ගැලපීම කියලා. මෙතන ප්‍රශ්නය වුණේ පහුගිය කාලයේ විදුලි බිල ගැන තීරණය ගත්තේ මාස 6කට වරක්. දැන් අපිට සිදුවෙලා තියෙනවා කාර්තු වශයෙන් අදාළ තීරණය ගන්න. පහුගිය කාර්තු තුනකට අදාළ ලාභ ගැලපීමක් සිදුකළ යුතුව තිබුණා. මේ කාර්තුව සඳහා. කාර්තු තුනක ගැලපීම එක තැනකට ගේන එක හොඳ නෑ කියලා කොමිසම තීරණය කළා.”

පසුගිය විදුලි ගාස්තු සංශෝධන පිළිබද සාරාංශය පහත දක්වා ඇත.

සංශෝධිත දිනය අනුමත ප්‍රතිශතය ලංවිම යෝජනා කල ප්‍රතිශතය
March 05, 2024 -21.9% -3.0%
July 15, 2024 -22.5% -14.0%
January 17, 2025 -20.0% 0.0%
June 12, 2025 15.0% 18.3%

පාසලක් අසල තිබී උණ්ඩ තොගයක් හමුවෙයි….

තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය.

ඒ අනුව එහි තිබී හිස් උණ්ඩ කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් සහ T-56 ජීව උණ්ඩ රැසක්ද සොයාගෙන තිබේ.

මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතොරම් තොගයක් ඇති බවට තඹුත්තේගම පොලීසියට ප්‍රදේශවාසියෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව තඹුත්තේගම පොලීසිය විසින් මෙම පතොරම් සහ හිම් කොපු තොගය සොයා ගනු ලැබීය.

මෙම හිස් පතොරම් කොපු සහ පතොරම් දිරාපත්ව තිබෙන බැවින් ඒවා වසර කිහිපයකට පෙර අදාළ වගුරු බිමට දමා තිබෙන බවත් යුධ හමුදා හෝ පොලිස් අභ්‍යාස විද්‍යාලයන් හී පුහුණුව ලැබීමට යොදා ගන්නා උණ්ඩවල හිස් කොපු මෙලෙස ගෙනවිත් දමා ඇත්දැයි සැක පළ කරන බවත් පොලීසිය පැවසීය.

කෙසේ නමුත් මෙම හිස් කොපු සහ උණ්ඩ වගුරුබිමට කෙසේ පැමිණියේද යන්න සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

අගමැති සහ චීන අගමැති අතර හමුවක්…

මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී තිබේ.

මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකර ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර,  අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කළ නිවේදනයේ සඳහන් වේ.

ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියෙමුවෙකු ලෙස මෙන්ම දරිද්‍රතාවය අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව පැසසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ගෙන යන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පැහැදිලි කර ඇත.

එමෙන්ම 2025 ජනවාරි මාසයේදී දියත් කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තවතුරටත්  විස්තර කර තිබේ.

ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන අග්‍රාමාත්‍යවරයා හට පැහැදිලි කර ඇති අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කර ඇත.

චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කර තිබේ.

කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත.

පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය Li Qiang සමඟ සාකච්ඡා කළ බවත් චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ස්මාර්ට් පන්ති කාමර, ශිෂ්‍යත්ව, රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ පශ්චාත් උපාධි වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග ඇතුළු අධ්‍යාපන අංශයේ සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහිදී අවදානයට ලක්ව ඇත.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තහවුරු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය, බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සදහා සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර කාන්තා නායකත්වය, බලගැන්වීම,කාන්තාවන් සඳහා  සම අවස්ථා ලබා දීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික කැපවීම අවධාරණ කර තිබේ.

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරේ…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත  මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

මනූෂ නානායක්කාර මහතා හෙට (15) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.