මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් සොයා හබරණ දී සොයා ගැනේ.

මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06ක් අඩංගු පාර්සලයක් හබරණ පොලොන්නරුව මාර්ගයේ බෝක්කුවක් යට තිබී අද (25) සවස සොයා ගත් බව හබරණ පොලිසිය පවසයි.
මාර්ගය සුද්දපවිත්‍ර කිරීමේ රාජකාරිවල නිරතව සිටි මාර්ග සංවර්ධන අධීකාරියේ හබරණ කාර්යාලයේ කම්කරුවන් පිරිසක් කළ දැනුම්වත් කිරීමක් අනුව හබරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගෙන තිබේ.
හබරණ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. විමල් සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී එම පතුරම් අඩංගු පාර්සලය සොයා ගත් බවත්, එම පාර්සලය තුළ තිබී මිලි මීටර් 40 මල්ටි ග්‍රෙනේඩ් ලොන්චරයට භාවිතා කරන බෝම්බ පතුරම් 06 ක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධීරණයට කරුණු වාර්ථා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. එහිදී අධීකරණයෙන් පොලිසියට ලත් නියෝගයක් අනුව එම බෝම්බ පතුරම් 06 නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර, කුරුණෑගල පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් හෙට(26) දින එම පතුරම් නිශ්ක්‍රීය කිරිමට හබරණ පොලිසිය කටයුතු යොදා තිබේ.
එම බෝම්බ පතුරම් අඩංගු පාර්සලය එම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමා ඇතිදැයි යන්න හා එම සැකකරුවන් කවුරුන්දැයි යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ. හබරණ පොලිස් ස්ථානය මගින් එම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

නීතිඥ සංගමයෙන් නිවේදනයක්….

පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් පිළිබඳ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මඟින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යයන් ඔස්සේ, අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂයපථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙසත් අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1756138849-STATEMENT-OF-THE-BASL-COMMENTS-ON-SOCIAL-MEDIA--25-August-2025-

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්…..

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන මස 8 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (25) දින මහර මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් මෙම නියෝග ලබාදී ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

රැප් ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට….

රැප් ගායන ශිල්පියෙක් වන ‘මාධව ප්‍රසාද්’ නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අයුරු දැක්වෙන විඩීයෝවක් මුහුණුපොත ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව පොලීසිය විසින් මෙම සැකකාර රැප් ගායකයා රැඳී සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සිය පරිශීලකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ මුහුණුපොතට මුදාහැරිය බවට අනාවරණය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 26 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව හිරු මාධ්‍ය ජාලයේ වාර්ථා කල පුවත නිවැරදි කරන ලෙසට අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත යවන ලද ලිපිය ද මේ සමඟ සබැඳිව එවමි.

WhatsApp Image 2025-08-25 at 14.40.02_a5b7cc74

ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි…..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණි.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළේය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවුණි.

රනිල් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක කාර්යාලයට….

විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද (25) දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.

විද්‍යා ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි…..

2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ  සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබීය.

මෙහිදී  විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවය.

ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි.

දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අධීක්ෂණයෙන් සිටින බවත් මේ වන විට සතුටුදායක මට්ටමක සිටියද ඔහුගේ තත්ත්වය වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනයේ දී ඔහුට උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පවතීන යන්න පිළිබඳව අද පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවය.

එහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා,
”එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් එතන ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා.ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව කොයි විදියද, කොයි තත්වෙද තියෙන්නේ කියලා එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ එතුමාට උසාවියේ පෙනී සිටීමට හැකියාව පවතිනවද නැද්ද කියලා. එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ක්ලෝස් සුපර්විෂන් යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ. යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ටේබල් තත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණය කරන්න පුළුවන් එතුමා සුදුසු තත්වයක සිටියිද කියලා”

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් CID අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට යළි කැඳවීමට නියමිතය.