පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් මරුට….

කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුණි.

තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

මෙම අනතුර සිදුවී තිබුණේ අද උදෑසන 7ට පමණ ය.

පාසල් වෑන් රථය දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා පැමිණ තිබුණි.

වැලි පැටවූ ටිපර් රථය ධාවනය කර තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට, වෑන් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවටය.

අනතුරත් සමග එම ස්ථානයට පැමිණි පොලිසිය සහ ජනතාව තුවාල ලැබූ සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

ප්‍රතිකාර සඳහා ඔවුන් රැගෙන ගොස් තිබුණේ කුලියාපිටිය ශික්ෂණ රෝහලටය.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිසුවියන් 12 දෙනෙකු සහ සිසුන් තිදෙනෙකු සිට ඇති බව පොලිසිය පැවසීය.

එහිදී මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12ත් 13ත් අතර වයස්වල පසුවන සිසුවියන් දෙදෙනෙකි.

අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා වන්නේ වෑන් රථයේ රියැදුරු ය.

ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනාගෙන් 9 දෙනෙකු මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට ද පියවර ගෙන ඇත.

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්.සී. වන්නිනායක මහතා සහ කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ සිසුන්ගේ සුවදුක් විමසා බැලීය.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවය.

ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට….

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට දේශීය අර්තාපල් සහ බොම්බයි ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීන් චෝදනා කරනු ලැබීය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයි…..

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එමෙන්ම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියම වුණි.

රනිල්ට ඇප දුන් නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න…..

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාරගත කළේය.

කෙසේවෙතත් එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය.

නඩු විභාගය ඇරඹීමටත් පෙර උදෑසන සිටම එම අධිකරණ පරිශ්‍රය අවට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

ඒ අනුව අද පස්වරු 1.40ට හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය ආරම්භ විය.

එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍යයට සම්බන්ධ කරගනු ලැබුවේ ZOOM ඔස්සේය.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා.”

මෙහිදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.

” ස්වාමිනි, මේ සංචාරයට පෙර පැවති නිල රාජ්‍ය සංචාරයක් වෙන කියුබානු සංචාරයටත් වැයවෙලා තියෙන්නේ ලක්ෂ 50යි. එහෙම තියෙද්දි මේ පෞද්ගලික සංචාරයට රුපියල් ලක්ෂ 166ක් වැය කරලා තියෙනවා. මට කලින් සතියේ වැරදුණා මම කිව්වේ මේ සිදුවීම මහජන මුදල් අවභාවිතයක් කියලා.නැහැ ඒක ඓහෙම නෙවෙයි. මේක මහජන මුදල් කාබාසීනියා කිරීමක්. “

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට තමන් දැඩිව විරුද්ධ බවට කරුණු දැක්වීය.

” මේ සැකකරු ඇප ලබාගැනීමට නම් පෙර දිනයේ ඉදිරිපත් කළ කරුණුවලට එහා ගිය අසාමාන්‍ය සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ස්වාමීනි මේ මොහොතේ සැකකරු ඉන්නේ ජාතික රෝහලේ.සැකකරු බලන්න දේශපාලඥයින් නෑගම්යනවා වගේ යනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැකකරුව බලලා ඇවිල්ලා කියනවා ඔහු සුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා. ඉතිං ස්වාමිනි මේ තත්ත්වය මත මේ සැකකරුට ඇප ලබාගන්න විත්තියේ නීතිඥයින් අසාමාන්‍ය කරුණු නොවෙයි, අසාමාන්‍යයෙනුත් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොවන්නේනම් සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. “

අනතුරුව සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම සිදු කළේය.

“ස්වාමිනි, මා පළමුවෙන් කියන්න කැමති මේ නඩුව පැවරීමම මෝඩ වැඩක්. මොකද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ ස්වරාජ් පෝල් සාමිවරයා. ඉතිං ඔහු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්වෙලා වසර 25ක් ගෙවෙන උත්සවයට තමයි ආරාධිතයෙක් ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. එහිදීම තමයි ඔය කියන උපාධි ප්‍රදානෝත්සවයත් සිදුවුණේ. ඉතිං මේ වගේ වැඩකට සහභාගිවෙලා අපේ රට ගැන කතාබහක් ඇතිකරන එක රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවේ. ස්වාමිනි, ඔය කියන විදිහට කියුබාවේ වියදමුයි, එංගලන්තයේ වියදමුයි සංසන්දනය කිරීමම විහිළුවක්. ප්‍රශ්නගත වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ මේ කරුණු කිසිවක් නැහැ. COPA එකේදිත් එවැනි කරුණක් අනාවරණය වී නැහැ. එවැනි තත්ත්වයක ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට මෙවැනි විගණනයක් කරන්න බලයක් නැහැ. මාගේ සේවාදායකයාට වයස අවුරුදු 76ක්. අද ඔබතුමියගේ අධිකරණයෙන් ඇප නොදුන්නහොත් ඊළඟට ඉහළ අධිකරණවලය යන්න පුළුවන්. ඒ නඩු ඔක්කෝම ඉවරවෙනකොට අවුරුදු 15ක් වත් යයි. එතකං මොහුව රිමාන්ඩ් භාරයේ තියාගන්නවාද? මමනම් හිතන්නේ මොහු එතෙක් ජීවත්වෙන එකකුත් නැහැ. ”

පසුව පොදු දේපල පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

” ස්වාමිනි මාගේ සේවාදායකයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මම පැහැදිලි කරන්න කැමතියි. ඔහුගේ හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා. සැත්කමක් කරන්න බැහැ හෘදයට ළඟ නිසා. මොහුට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවා. නින්දෙන් හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් තියෙනවා. සමහරවිට විනාඩි 2ක් – 3ක් සිරවී තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් ගොරවන සද්දය අනුවයි. ඒක තේරුම්ගන්න පළපුරුදු කෙනෙක් ඉන්න ඕනේ. මොහුගේ බිරිඳව එකට පුරුදු කරලා තියෙන්නේ. මේ තත්ත්වය මත මොහු නිදාගද්දි CPAP නම් මැෂින් එකකට සම්බන්ධ කරනවා. මේක නොමැති වුනොත් හෘදය නැවතීමට පවා පුළුවන්. මොහුට පෙනහළු ආසාදනයක් තියෙනවා. ශරීරයේ සෝඩියම් අඩුයි. අධි රුධීර පීඩනය, කැරකිල්ල තියෙනවා. ක්ෂණික හෘදයාබාදයක් එමේ සම්භාවිතාවක් තියෙනවා. අග්න්‍යාශයේ උඩ කොටසේ ආසාදනයක්. මේ සියලු රෝගී තත්ත්වයන් මත ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවෙලා තියෙන්නේ. ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති මගේ සේවාදායකයා ඉන්නේ බලවත් ජීවිත අවදානමක. එබැවින් තත්ත්වය සුවිශේෂි කරුණු ලෙස සලකා මොහු ඇප මත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා. “

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

” ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරුර නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා. පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කළාය.

” අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. “

හිටපු ජනපති රනිල්ට ඇප හිමිවෙයි….

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්….

සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකිය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ, එවැනි ක්‍රියාවන් මගින් නීතියේ ආධිපත්‍යය අඩපණ කරන අතර, නීතියේ නිසි ක්‍රියාවලියට තර්ජනයක් වෙමින් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට බලපෑම් කිරීමේ විභවයක් එහි තිබෙන බවයි.

එවැනි ක්‍රියාවන්හි වැරදිකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කළ හැකි බවත් මේ සම්බන්ධයෙන්, අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ දණ්ඩනීය විධිවිධාන අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඇ)(1) සහ (2) යන අනුව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කරන බවද දැනුම් දී ඇත.

ඒ හා සමගම, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් විසින් නීතියේ ආධිපත්‍යය, නිසි ක්‍රියාවලිය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස සෑම විටම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන බවද දැනුම් දී තිබේ.

ස්වාධීන ආයතන වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු පිළිබඳව පසුගිය සතිය තුළ සමාජ මාධ්‍ය සහ අනෙකුත් වේදිකාවල දක්නට ලැබෙන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරුණු දක්වමන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව යනු අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් වන අතර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙන්ම අධිකරණ නිලධාරීන් සහ අදාළ උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව වගකීම දරණ බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටන බවත්ය.

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි…

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්ව තිබේ.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා ඇත..

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව Zoom තාක්ෂණය ඔස්සේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ.

උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්….

විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට විශාල පිරිසක් රැස්ව ඇතැයි  වාර්තාකරු පැවසීය.

රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් අගමැති හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතනයට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති හරිනි අමරසූරිය මෙනවිය
”සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට මම හිතන්නේ ඉදිරියට අපිට නීති ක්‍රියා මාර්ග ගන්න වෙනවා. මේ විදියට බොරු බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. මම කියන්නේ මෙච්චරයි. මම ගියා නම් මොකක් හරි ඒ ප්‍රවෘත්ති පාදක වෙන මොනවා හරි සාක්ෂියක් තියෙන්න එපැයි. සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි. එහෙම නිකන් ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැනේ. ගියා නම් කොහෙන්ද ඒ තොරතුරු ආවේ? මාව දැක්කද? මොකද අගමැති හැටියට මට ඕන ඕන තැන්වලට ඕන ඕන විදියට යන්න බැහැ. ඉතින් ඒ නිසා මට හොර රහසේ යන්න බෑනේ කොහේටවත්. ඉතින් ඒ නිසා මම ගියා කියලා ඔප්පු කරන්න. මම අභියෝග කරනවා මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න. එතකොට හරි මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට මම වැරදියි. මම බොරු කියන්නේ. මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න එතකොට හරි. එතකොට විසඳෙයි.”

රනිල් වෙනුවෙන් ඇප ගන්න සුවිශේෂි කරුණු දැක්වීමක් – නවතම අධිකරණ තොරතුරු මෙතැනින්…

හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්”

UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් මේ වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කරමින් සිටියි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

“රනිල් එංගලන්තයේ කිසිදු රාජ්‍ය නායකයෙක් හමුවී නෑ” – දිලීප පීරිස්

හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පවසා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවය.

“ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑ” – ජනාධිපති නීතීඥ තිලක් මාරපන

ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

————————-

“ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.

මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.