කැරම් බෝඩ් නඩුවේ ඇප ඉල්ලීම කල් යයි….

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම  පෙත්සම්වලට අදාළ නොතීසී තමන්ට ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කරමින් පෙත්සම් යළි සැප්තැම්බර් 23 කැඳවීමට නියම කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් එහි අවසන් තීන්දුවක් ලැබෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

සිරදඬුවම් ලැබු උතුරු මැද ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම කල්යයි…..

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්……

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව එහි සඳහන් වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ නි‍වේදනය

අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය කිරීමේ නිදහස අහිමි කරමින් මර්ධනකාරී ලෙස අණ්ඩුව තම දේශපාලන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒ අනුව, දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම, යටත් කිරීම සහ නිහඬ කර තැබීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක තැබිය යුතු ස්වාධීනත්වය බිඳ දමමින් පොලීසිය, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ.  තම දේශපාලන චරපුරුෂයන් ගෙන් විමර්ශන ආයතන පුරවාලමින් සහ යටත් කර ගනිමින් රාජ්‍ය යන්ත්‍රණයේ පැවතිය යුතු ස්වාධීනත්වය හකුලමින් ආණ්ඩුවේ ඒකාධිකාරයට සභ ඒකාධිපතීත්වයට යටත් කරගනිමින් සිටින බව අපගේ විශ්වාසයයි. රට තුල අද වන විට පැන නැගී ඇති වාතාවරණයට අනුව, ආණ්ඩුවට පැමිණෙන පොදුජන විරෝධය මර්ධනය කොට යටත් කිරීම සඳහා ආණ්ඩුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව අපගේ වැටහීමයි. 

රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියකි. විමර්ශන කටයතු අවසන් නැති පරිසරය තුල ඇප ලබාදිය නොහැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම මගින්, නීතියේ ආධිපත්‍ය දීර්ඝ කාලීනව බිඳවැටීමටත්, පොලීසිය ඇතුළු  ව්‍යවස්ථාපිත ආයතන විසින් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලි පිළිබඳව පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමටත්, අධිකරණය මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන පවතින මහජන විශ්වාසය පළුදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව කනස්සල්ල මෙසේ ප්‍රකාශ කරමු. 

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථනිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව අපගේ නිරීක්ෂණයයි. චෝදනාවට පදනම් වන මුල් තොරතුර නිශ්පාදනය කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනි.   ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ උපදෙස් මත සැකසූ එය, රනිල් වික්‍රමසිංහ මහතාට වරද ආරෝපනය සදහා ද්වේශ සහගතව දේශපාලනික අරමුණක් සහිතව සකසන ලද්දක් බව පෙනීයයි. ⁠එම අභ්‍යන්තර වාර්තාව රජයේ විගනකාධිපතිවරයා විසින් තහවුරු කරන ලද වාර්ථාවක් නොවේ. එබැවින්, එහි සැඟවුණු දේශපාලනික අරමුණ එමගින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීති ව්‍යවහාරයන් හා භාවිතයන් පවතී. එසේ තිබිය දී, නඩුවේ සාක්ෂිකරුවන් 38 දෙනෙකු ගේ විමර්ශන අවසන් කර නොමැති පරිසරයක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මෙරට අධිකරණ පද්ධතියේ ව්‍යවහාරයන්ට පටහැනි වේ. 

තව ද, මෙම පැමිණිල්ලට අදාල චෝදනාව විමර්ශනය කරන ලද්දේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු  මුලස්ථානයේ දී පුවත්පත් සාකච්ඡා පැවැත්වූ, නිත්‍ය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිට දේශපාලන අවශ්‍යතාව මත නැවත සේවයට කැඳවා ඇති විමර්ශකයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් මගිනි. දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය කරනු ලැබූ තොරතුරු සහ සාක්ෂි මත, දේශපාලන පත්වීම් ලැබූ විමර්ශකයින් විසින් විමර්ශන පවත්වා චෝදනා ගොනු කිරීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා දැවැන්ත බලපෑමක් එල්ල කරනු ලබයි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයකි. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස හා දේශපාලන මතවාද දැරීමේ අයිතිය රැකගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතු බව අපි අවධාරණය කරමු. මෙම ක්‍රියාවලියට එරෙහිව අපගේ බලවත් විරෝධය හා කනස්සල්ල මෙයින් ප්‍රකාශ කරමු. එසේම මේ සමස්ත ක්‍රියාදාමයම මෙයට ක්‍රියාකාරී දේශපාලන නායකයන් ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

2025 අගෝස්තු 24

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි….

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් හයක් ඉදිරිපත් කර ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ CID අත්අඩංගුවට…..

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වූ අතර එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා  සියලු සැකකරුවන්ගේ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.

කළුතර කලමුල්ල මුහුදු තීරයේ දිය නෑ සිසුන් දෙදෙනෙක් අතරුදන්….

කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ අද (24) පස්වරුවේ දියනැමට ගිය පාසල් සිසුන් තිදෙදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ  පදිංචිව සිටී මිහින් සන්හිඳ සහ නෙතුම් නෙත්සර නමැති  15 හැවිරිදි  පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

කළුතර නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් සහ පයාගල පොලීසිය සමග එක්ව ධීවරයින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි.

කළුතර ගල්පාත –  චන්දන පෙරේරා

ඇමති වසන්තට එරෙහි නඩුව ප්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණය පොලිසියෙන් ප්‍රශ්න කරයි….

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් පෙරේදා (22) විමසා තිබෙනවා.

පසුගිය අගෝස්තු 14 වැනිදා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ,කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පෙරේදා (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට ඉඩමක් බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබුණා.

2020 වර්ෂයේ නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහා සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන්ව ඇති බවත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා..

අදාල නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ගරු අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට ගරු අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවත් නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් ගරු මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පැවසුවා.

තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිතයි.

කුන්ඩසාලේ බස්නැවතුම්පොලේ නාඳුනන මළ සිරුරක්….

පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ස්ථාවරය කියයි….

අද (24) පස්වරු 4 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

“ඉදිරිපත් කරපු ප්‍රධන ඉල්ලීම් දෙකක් තිබුණා. නමුත් අපි මුල ඉදළම කිව්වා ඒ ඉල්ලීම් ගැන රජය සාකච්ඡා කරන්න සූදානම් නෑ කියලා. ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා.”

“ඒ අනුව අද සවස 4.00 සිට තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරලා නියමිත පරිදි තමන්ගේ රාජකාරි කරන්න සියලුම වෘත්තීය සමිත එකඟතාවය පල කළා.”

“වැඩවර්ජනය කළ සියලුම තැපැත් සේවකයින්ට අපි කියන්න කැමති දින 6ක විතර සිදුවෙච්ච පාඩුවක් තියෙනවා. ගොඩ ගැහුණ ලියුම් සහ පාර්සල් කන්දරාවක් තියෙනවා. ඒවා නිදහස් කරලා දෙන්න ඕනේ. බලාපොරොත්තු වෙනවා ඒ වෘත්තීය සමිති වලට අදාළ සියලුදෙනා පැමින ඒ කටයුතු නොපමාව ඉටු කරයි කියලා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වර්ජනයේ නියත තැපැල් සේවකයින් පැවසුවේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවය.

“සාකච්ඡාව පිළිබඳ අවසන් තීන්දුවක් තාම කියන්න බැහැ. තැපැල්පතිවරයා ලිඛිතව අපිට දෙන්න ඕනේ. යම් යම් කාරණා ගැන එකඟතාවයන් තියෙනවා. හැබැයි අපිට ඒක පිළිගන්න වෙන්නේ ලියවිල්ලක් ඉදිරිපත් වුණාට පස්සේ. ඒ ලියවිල්ලත් එක්ක අපි වැඩවර්ජනය ගැන අවසන් තීන්දුවක් ගන්නවා.”

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

පොලීසියේ 51කට උසස්වීම්…

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ.

තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ.

පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.