මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – අමාත්‍ය චන්දන අබේරත්න…..

නීතිමය කරුණු කිහිපයක් විසඳා ගැනීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහාචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නෙැමැති බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

මෙහදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“අපි පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා. ඊට අදාළ නීතිමය කරුණු ටිකක් විසඳගන්න තියෙනවා. ඒකට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තියනවා,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට. අවශ්‍ය කටයුතු කරලා අපිට ජන්දය තියන්න පුලුවන්.

ඔබතුමන්ලා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවා. දන්නවා ඇති අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. අපිට කඩිනමින් විසඳුම් දෙන්න බෑ. අපි විධිමත් ක්‍රමවේදයකට අනුව අවශ්‍ය මැදිහත්වීම් කරලා ජන්දය පවත්වනවා. ඒ පිළිබඳ සැකයක් තියා ගන්න එපා.”

විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට….

රුපියල් මිලියනයකට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු දෙහිවල දී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 180ක ප්‍රමාණයක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, එක් පුද්ගලයෙකු සතුව තබාගත හැක්කේ මත්පැන් ලීටර 80ක් පමණක් බවය.

එවන් පසුබිමක මෙම පුද්ගලයා සතුව ඊට වැඩි ප්‍රමාණයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සඳහා ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති සරත් වෙත්තසිංහ, සුරාබදු පරීක්ෂක, ජී. රෝහණ, සුරාබදු කෝප්‍රල් හර්ෂ කුමාර, උපුල් නිලන්ත රාජපක්ෂ, රමේෂ් වික්‍රමසිංහ, චම්පික මානවඩු හා සුරාබුදු රියදුරු චමත් යන අය එක්වූහ.

කන්ටේනර් නිදහස්කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනාවක්….

නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

හිටපු ජනපති රනිල්ට එරෙහිව ඉහළ අධිකරණයක නඩු…..

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේ, මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෝසමක් මගින් කර තිබූ ඉල්ලීම අද සලකා බැලුණු අවස්ථාවේදීය.

කෙසේවෙතත් පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගත්තේය.

මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩු විභාගය ඇරඹෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අයථා ලෙස වක්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව මර්වින් සිල්වා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ගොනුකිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබා ගත් බව සඳහන් කළේය.

එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කර සිටියාය.

එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය.

2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට…..

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා  යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාරදී ඇත.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර ඇත.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.

ඉන් අනතුරුව ඔවුන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 20 වනදා කැඳවීමට ද එහිදී නියෝග කෙරිණි.

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩු ගොනු කර තිබෙන බව වාර්තා වේ.

ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දෙන්න – ජනපති GMOAවෙන් ඉල්ලයි….

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදි සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ  ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් සඳහන් කළේය.

ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි සඳහන් කළ අතර, එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට සාකච්ඡාවක්….

දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බවත්, සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් සඳහන් කළේය.

ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබාදෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැහැදිලි කළේය.

ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ මිල ක්‍රමවේදය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර දේශීය ලොකු ලූනු වගාවට අදාළ තිරසාර නිෂ්පාදන සහ අළෙවිකරණය සඳහා වූ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාවද ඉදිරිපත් කෙරිණි.

2025 වසරේ 17%ක් වන ලොකු ලූනු නිෂ්පාදනය 2026 වසරේ 22%ක් සහ 2027 වසරේ 27% දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශාල පරතරයක් සහිතව මිල උච්ඡාවචනය වීම තමන් මුහුණ දෙන විශාල ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ගොවීහු  එම අවදානමට මුහුණ දෙමින් තමන් වගා කටයුතුවල නිරත වන බවත්, විශාල ආදායමක් ලබාගත හැකි ක්ෂේත්‍රයක් වන ලොකු ලූනු වගාවෙහි අඛණ්ඩව නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියහ.
මෙම ක්ෂේත්‍රයේ නියුතු ගොවීහු විශාල පිරිසක් කුඩා ඉඩම් ප්‍රමාණයක වගා කරන පිරිස් වන බැවින්
නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම වැනි තීන්දු තීරණ ගැනීමේදි එම සාධකයද සලකා බලා ගණනය කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදි පැහැදිළි කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හදිසි අවස්ථාවලදී අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට පහසුවන පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වන ලෙසද  සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට පළමු වතාවට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව මැදිහත්වීම පිළිබඳ මෙහිදී රජයට ස්තූතිය පළ කළ ගොවි ජනතාව තමන් වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් සඳහන් කළහ.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටි. වික්‍රමාරච්චි යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, දඹුල්ල සහ ගලෙන්බිදුණුවැව ලොකු ලූනු ගොවීන් නියෝජනය කරමින් ගොවීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි…..

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (17)  විවාදයට ගැණුනු අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එලෙස සම්මත් වුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටි අතර එහිදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත විය.

එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 87ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමිවුණේ 7ක් පමණි.

මේ අතර අද විවාදයට ගැනුණු  අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශය වැය ශීර්ෂය ද වැඩි ඡන්ද  80කින්  සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජී. ජී. පොන්නම්බලම්  යන මහත්වරුන් විසින් අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද  87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.