වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස වෙත භාරදෙයි….

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත්කිරීමේදී තුවාල සිදුවූ කෙහෙලබද්දර පද්මේගේ සමීපතමෙයක් වන ‘වලස් කට’ නැමැත්තා, ප්‍රතිකාර අවසන් කර නැවත එම කොට්ඨාසයට රැගෙනවිත් තිබේ.

ඊයේ (01) එම සැකකරු රැගෙන ආ බව වාර්තා වෙයි.

එහිදී පොලීසිය කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසා ඇති බව සඳහන්ය.

එහිදී ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට මෙලෙස පවසා තිබේ.

“සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්” යනුවෙනි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශනට එරෙහි නඩුව ගැන පොලීසියෙන් අධිකරණයට දැනුම්දීමක්…

හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවය.

ඒ අනුව නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට නියම කළේය.

පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැඳවුම් නියෝග…..

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ජකර්තා හීදි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබීය.

මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබේ.

එමෙන්ම ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය සූදානම් කළ අයුරු දැක්වෙන වීඩියෝවක් එළියට

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි.

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය‍.

ඒ සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස ඒ තුළ බහාලමින්ය.‍

පිස්තෝලය එම පොත තුළට දමා සූක්ෂ්ම ලෙස සකසන අයුුරු අදාළ වීඩියෝපටයේ දැක්වෙයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට දින කිහිපයකට පෙර යම් කිසිවෙක් මෙම රූගත කිරීම සිදුකොට කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති බවය.

හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට….

අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබීය.

සිහින ගමනාන්තය – පළමු දුම්රිය ස්ථානය නවීකරණය තල්පෙන් ඇරඹෙයි…

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි “සිහින ගමනාන්තය” පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී  අද (02) ආරම්භ කෙරුණි.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.

මෙහිදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවය.

පොදු ප්‍රවාහන දියුණු කිරිම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට හැකියාව පවතින බවත් ඉදිරි වසර දෙක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රණවිරුවන් පීඩාවට පත්කිරීම ගැන පොහොට්ටුවෙන් අස්ගිරි මහ නාහිමිට ලිපියක්….

රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.

මෘතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බව ද එම ලිපියේ සඳහන්ය.

එය අත්හළ නොහැකි වගකීමක් බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පොදු මහජනතාවගේ සැදුම්ලත් සමාජ ව්‍යාපාරයක් ලෙසත් එකී වගකීම ඉටුකිරීමට තම පක්ෂය බැදී සිටින අතර, ඒ සඳහා උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක සහයෝගය පාද නමස්කාර පූර්වකව අයැද සිටින බව අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ ලිපිය පහතින්,

1

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්….

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ මහතා තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඊට අදාළ පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී එම මුදල් බැංකු ගිණුම් තුනක තිබී හමුවූ බවද අල්ලස් කොමිසම මීට පෙර අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

ඊට අමතරව සැකකරු විසින් අල්ලස් ලෙස ලබා ගත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් තවත් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බවත්  එම බැංකු ගිණුම මීට පෙර විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම එක්කෝටි දාසය ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ රියදුරා විසින් මුදල් 67 වතාවකත්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් අදාළ ගිණුමට මුදල් බැර කර ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම  සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලද අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වි ඇති
බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

ඉකුත්  14 වනදා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර නැමැත්තා සාධාරණ හේතුවක් නොමැතිව අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් මෙම සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වී ඇති නිසා මොහු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා අසාධාරණ බව සඳහන් කළේය.

සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ තනතුර හා තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී ඔහු මෙම අවස්ථාවේදී ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවය.

ඒ අනුව සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට කියම කළේය.

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ….

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.

යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන මහත්වරුද, පොල් පර්යේෂණ ආයතනයේ සහ හලාවත වැවිලි සමාගමේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

‍මේ අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක් විය.

යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්….

යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම 30 වසරක යුද්ධය මෙරට ඉතිහාසයේ සිදුවු විශාලතම ඛේදවාචකය වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වූ බවත් පැවසු ජනාධිපතිවරයා, උතුරේ සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වූ බව ද කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාව එම තත්ත්වය පරාජයට පත්කළ බවත්, අද වනවිට යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩනඟමින් දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද  සඳහන් කළ ජනාධිපතිවරයා, ආණ්ඩුව සෑමවිටම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉතාම තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් බිය නොවන බවත් පැවසීය.

“මට මතකයි පහුගිය මැතිවරණයේ දී මේ ආසන්නයට ඇවිත් මේ ජනතාව මුණගැහුණා. අපිට අවශ්‍යයි යළි විනාශයට පත්වී තිබෙන මේ ප්‍රදේශ සහ ජනතාවට ජීවය කැටුව ඒමේ උවමනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජනතාව ප්‍රබල ඉදිරි පියවරක් තබලා අපි ගැන විශ්වාසය තබලා තියෙනවා. ඔවුන් ඉතාමත් ශක්තිමත් ඉදිරි පියවරක් ආරම්භ කරලා තියෙනවා. අප හමුවේ තියෙන අභියෝගය කුමක් ද ? අපි කෙරේ විශ්වාසය තැබූ ජනතාව, ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා කේෂ්ත්‍ර කිහිපයක අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා.

දෙවනුව ඔවුන්ගේ ආර්ථික තලය ඉහළට ඔසවා තැබිය යුතුයි. පසුගිය ගැටුම් හේතුවෙන් විශාල ආර්ථික අවස්ථා අහිමිවූ ජනතාවක් මෙම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීම රජයක් ලෙස අපේ වගකීමක්. අපි එය භාරගැනීමට ලෑස්තියි. ඒ සඳහා අපි පියවර ගණනාවක් ආරම්භ කළා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප, උතුරු කේන්ද්‍ර කරගත් සංචාරක කේෂ්ත්‍රය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඒ වගේම ඒ ප්‍රධානම සාධකය තමා ආර්ථිකය නංවාලීමට පොල් වගාව ආරම්භ කිරීම. 

මෙම අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා අක්කර 16,000ක් මේ වසරේ වගා කරන්න. ආසන්න වශයෙන් ගොවි පවුල් 12,000ක් පමණ මේ තුළ නියෝජනය කරාවි. එය ආර්ථිකයෙන් ඉතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ආර්ථිකය නඟාසිටුවීමට විශාල පිටුවහලක් බවට පත්වෙන බව අපට විශ්වාසයි. අනිත් පියවර වන්නේ සංස්කෘතිකමය වශයෙන් අප තුළ ඇති කරගන්නා වූ ඒකාබද්ධතාවය. ඒ සඳහා අපි සියලුදෙනා එක්ව සැමරිය හැකි දිනයක් අපි නම්කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපි වෙහෙසෙනවා. යළි බෙදී ඈත් වෙලා හිටිය ජනතාව යළි ඒකාබද්ධ කරගැනීමට අපි වෙහෙසෙනවා. අපිට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ රටක් ද? මෙතෙන බොහෝ අය ජීවිතය ගත කළේ යුද්ධය සමග.එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර 30කට වඩා යුද්ධ කරලා තියෙනවා. එය අපේ රටේ ඇති වූ විශාලතම ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වුණා. බෙදුනා. ඒ තත්ත්වයන් සමග ජාතිවාදී දේශපාලනය ගොඩනැගුණා. උතුරු සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වුණා. එම තත්ත්වය තමා පහුගිය මැතිවරණවලදී මේ රටේ ජනතාව පරාජයට පත් කළේ. උතුරේත් දකුණේත් තමන්ගේ අහිමිවූ බලය ආරක්ෂා කරගැනීමට ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවයන්ගේ කුඩා නැගිටිලි, කෙඳිරිලි අපි දකිමින් තියෙනවා.

ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිවිටෙක පොදු ජනයාට සේවයක් සපයා නෑ. උතුරේ ජාතිවාදය දේශපාලනඥයින්ගේ මෙවලමක්. දකුණේ පැනනඟින ජාතිවාදය දේශපාලන මෙවලමක්. පරාජය වුණු කණ්ඩායම් උපයෝගී කරගන්නා ඉතාම විනාශකාරී මෙවලමක්. ඒ නිසා අප ඔබට ආණ්ඩුවක් ලෙස එකක් සහකික කරනවා. ආණ්ඩුවක් ලෙස අපි යළි ජාතිවාදී දේශපාලනයට මේ රටේ ඉඩ තබන්නේ නෑ. ඒ වගේම මා විශ්වාස කරනවා ජනතාව ලෙස ඔබත් කොතැනක කුමන ආකාරයකින් පැනනැඟුණත් මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. 

අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් ඔවුන් උතුර ගැන කල්පනා කරන්නේ, යුද්ධයක් ගැන අනියත බියක් නිරන්තරයෙන් ගොඩනගමින්, කොළඹ නගරයේ ආයුධ හම්බවෙනවා, වෙඩිතියා ගන්නවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකථනය කරනවා. උතුරේ එහෙම වුණොත් එය යුද්ධයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ උතුර ගැන නිරන්තරයෙන් අනියත යුද බිමක් නිර්මාණය කරන දේශපාලනයක් තියෙනවා. සියලු සැලසුම්, සටන් පාඨ ඔක්කෝම සකස් කරන්නේ යුද්ධයක් ගැන අනියත බිමක් පෙන්නවමින්. අපේ ආණ්ඩුව සැමවිටම කටයුතු කරන්නේ යළි උතුරේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ. කුමන හෝ ඉඩක් තියෙනවා නම් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න ඒ ඉඩ ඇහිරීම ගැනයි අපේ දේශපාලනය. ඒක තමා අපේ ආණ්ඩුවේ අරමුණ. නැවත අනියත බියක් ඇති කිරීම නෙමෙයි. සමගිය ඇති කිරීමේ අරමුණින් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ සඳහා ගත හැකි ඉතාම ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ. පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ. “