ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පවත්වා තිබුණි.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදුව තිබේ.

බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර,  හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස්ව තිබුනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් ව ඇත.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක්  (2025.12.14)  රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග  යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක  පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය  හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදි අනාවරණය කළේය.

එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….

ආපදා මෙහෙයුම් අතරතුර යුද හමුදා භටපිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදී තිබේ.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද හමුදා භටපිරිස් තවදුරටත් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයාගැනීමට සමත්ව ඇත.

නායයෑම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් ඊයේ (14) දින අදාළ හිමිකරු වෙත ආරක්ෂාකාරීව යුද හමුදා භටපිරිස් විසින් භාරදී තිබේ.

ධම්මික රණතුංගට ඇප – හිටපු ඇමති අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බවත් අධිකරණයට දන්වයි…..

‍අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ධනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“ආර්ථිකයේ සාමාන්‍ය මිල මටට්ම 2025 තෙවන කාර්තුවේ මුල පටන් ඉහළ යාම ආරම්භවීමත්, බොහෝදුරට ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය ප්‍රධාන මුදල් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් අඩුවීමත් ව්‍යවසායකයින්ට සහ අපනයනකරුවන්ට සානුබල සැපයිනි. මේ අතර, 2025 තෙවන කාර්තුව තුළ ආනයන සහ අපනයන, පෙර වසරේ තුන්වන කාර්තුවට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ මට්ටම්වල පැවතුණි. වඩාත් වැදගත් දෙය නම්, බොහෝ දුරට සංස්ථාපිත සහ පෞද්ගලික අංශය හරහා පුළුල් වූ දේශීය ණය සැපයුම, ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වූ 5.4ක වර්ධනයට උපකාරී වීමයි. 2025 තෙවන කාර්තුවේ දී මූල්‍ය ක්‍රියාකාරකම්වල වාර්තා වූ කැපීපෙනෙන වර්ධනය මගින් මෙය තවදුරටත් පිළිබිඹු වේ. මීට අමතරව, සංචාරක පැමිණීම් වැඩිවීම, ආයෝජන භාණ්ඩ සැපයුම වැඩිවීම සහ අතරමැදි භාණ්ඩ ආනයන පිරිවැය අඩුවීම සිදුවිය. එම නිසා නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු කිහිපයක, ඉදිකිරීම් කර්මාන්තය සහ නවාතැන් හා ආහාර පාන සැපයීම, භාණ්ඩ හා මගී ප්‍රවාහන සේවා ඇතුළත් බොහෝ සේවා ආර්ථික කටයුතුවල වාර්තා වූ වර්ධනයට මූලික විය.“

මේ අනුව 2025 තෙවන කාර්තුවේ දී ආර්ථිකයේ ප්‍රධාන අංශ පහත පරිදි වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

කෘෂිකාර්මික – 3.6%

කර්මාන්ත – 8.1%

සේවා – 3.5%

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ, නාස්තිය අවම කිරීම මඟින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් ඉලක්ක ඉක්මවා යෑමට හේතුවක් වූ බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වන නව සහකාර කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (15) එම මූලස්ථානයේ පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, බදු ආදායම රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා නොගැනීමේ අත්දැකීම් ඇති ජනතාවක් ඉන් මුදා ගැනීම පහසු කාර්යයක් නොවන බවය.

එම ආදර්ශය ආණ්ඩුව බදු ගෙවන ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යාවරයා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ බදු ආදායම ඉහළ යෑම දුෂණ අවම වීමට හේතුවක් බවද කියා සිටියේය.

මීට පෙර එම ප්‍රතිශතය 10%ක මට්ටමට පත්වූ තිබූ බවත්, මේ වසර අවසන් වනවිට එය 16%ක මට්ටමට ළඟා කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව බඳවා ගැනීම් සේම ඊට කාන්තා ශ්‍රම දායකත්වය ද ඇතුළත් වීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කාන්තා ප්‍රතිශතය පුරුෂ ප්‍රතිශතයට ඉහළ අගයක් ගත්තද කාන්තාවගේ දායකත්වය ශ්‍රම බළකායෙන් 30%ක පහළ ප්‍රතිශතයක් පවතින බවද පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසා සිටියේ 2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රු බි 2,195ක් වූ අතර, මේ වනවිට එම ඉලක්කය ඉක්මවා යෑමට ඔවුන් සමත්ව ඇති බවත්ය.

මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතිරේකව රු බිලියන 50ක ආදායමක් ලබාගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, රජයේ අපේක්ෂාව වන්නේ කිසිසේත්ම බදු ප්‍රතිශතය ඉහළ නැංවීම නොව බදු පදනම පුළුල් කිරීම බව ද පැවසීය.

මේ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් අදාළ නීතිරීති සම්පාදනය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ට එම මුදල් එකවර ගෙවන්නේ නම් අදාළ පොලී මුදල අහෝසි වන ආකාරයේ නීතිරීති සකස් කරමින් පවතින බවද මෙහිදී සඳහන් කළේය.

මෙහිදී දේශීය ආදායම් සහකාර කොමසාරිස්වරු 100කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගනී….

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ඒකල ප්‍රදේශයේ මාර්ගයක සඟවා තිබියදී ජාඇල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒකල පන්සල පාරේ මෙය සඟවා තිබී ඇති අතර, එය ඉටි කවරයකින් ඔතා තිබූ බව පොලීසිය පවසයි.

අදාළ රිවෝල්වරය ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කිරීමට තවත් පුද්ගලයකුට රැගෙන යාම සඳහා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

පොලිස් භාරයට ගත් රිවෝල්වරයේ හිමිකාරීත්වය හා එයින් සිදුකිරීමට උත්සහ කළ අපරාධය කුමක් ද යන්න සම්බන්ධයෙන් ජා-ඇල පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි….

ලෝකය  තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයකින් ලොවට කිසිදු ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරටට අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව මනාවට තේරුම් ගැනීමට හැකි වූ බවය.

සංවර්ධනය, තාක්ෂණය ලෙස මොනයම් දෙයක් ගැන කතා කළද, ස්වභාවධර්මය සමග ගැටෙන්නට ගිය විට අප තෙතරම් කුඩාද යන්න අවබෝධකර ගත හැකි බව ඇය පැහැදිලි කළාය.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ  අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ඨයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 36.1ක් වැය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“ජනාධිපති අරමුදලේ කාර්යභාරය ගැන ඔබ කවුරුත් දන්නවා. ජනතාවට අයිති අරමුදල ඔබට තවදුරටත් සමීප කරවීමට අප කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත උසස් පෙළ විශිෂ්ටයන්ට යම් දිරි ගැන්වීමක් ලෙස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ වගේම උසස් පෙළ සෑම විෂය ධාරාවකින්ම ඉහළින්ම ලකුණු ලැබූ සිසුසිසුවියන්ට තමන් කැමති විදේශීය විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද තීන්දු කර තිබෙනවා. 

මේ සඳහා අයැදුම් කරන ලෙසට ඔබ සියලු දෙනාට මා යෝජනා කර සිටිනවා. අප මානව සම්පත දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකයේ සංකීර්ණත්වය තේරුම් ගෙන මානව සම්පත බිහි කළ යුතුයි. ඒ මානව සම්පත බිහි කිරීමට රජයක් විදිහට ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්. ඒ වෙනුවෙන් 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනුම අතින් පමණක් නොව, සෑම අතින්ම දක්ෂ පුරපුරක් අපට අවශ්‍යයි. 

විභාග සමත් වීම පමණක් අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය මේ රටට, ලෝකයට අවශ්‍ය  හොඳ පුරවැසියෙක් බිහි කිරීමයි. ලෝකය  තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නැහැ. අපිට ළඟඳීම අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව හොඳටම තේරුම් ගත්තා. අපි සංවර්ධනය, තාක්ෂණය මේ මොන දෙයක් ගැන කතා කළත්, ස්වභාවධර්මය සමඟ හැප්පෙන්න ගියාම අපි කොතරම් පුංචිද කියන එක තේරුම් ගන්න පුළුවන්. 

අපිට මේ සුළි සුළඟ විශාල පාඩමක් උගන්වා තිබෙනවා. මනුෂත්වය ස්වභාවධර්මය අමතක කර සංවර්ධනයක් ගැන හිතන්න බැහැ. ඒ පාඩම අප ඉගෙන ගත යුතුයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන, නායකත්වයක් තිබෙන, අනෙකා ගැන හැඟීමක් තිබෙන, වගකීමක් භාරගත හැකි මානව සම්පතක් බිහි කිරීම අපිට අවශ්‍යයි. 

ඔබට මේ කරන ඇගයීම තුළින් දෙයක් තේරුම්ගත යුතුයි. මේ කරන්නේ ඔබේ, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙමඟින් ඔබ අපට වටින බව පෙන්නුම් කරනවා. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ තනිවම නොවෙයි. හොඳ පවුල් පරිසරයක් ඔබට තිබෙනවා. ඔබට හොඳ ගුරුවරුන් මුණගැසෙන්න ඇති. ඔබට අවශ්‍යම තැන්වල හරි මඟ පෙන්වූ නෑදෑයන්, ගුරුවරුන්, මිතුරන් ඉන්න ඇති. ඒ සියලු වරප්‍රසාද සමඟ තමයි ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වී තිබෙනවා. ඒ මැදිහත්වීම කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව කිව යුතුයි. ඔබ මෙතැනට ගෙන එන්න විශාල ව්‍යුහයක්, කණ්ඩායමක් මැදිහත් වී තිබෙනවා. එනිසා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට වගකීමක් තිබෙනවා.”

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට….

බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව සමනලවැව පොලීසිය පවසයි.

නිවස ආසන්නයේ ඇති ඉඩමක තිබී මෙම තුවක්කුව පත්තු වී ඇති අතර එහිදී අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බව සඳහන් වේ.

මෙම පුද්ගලයා ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සමනලවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….

Ritz Carlton ජාලයට අයත් අති සුඛෝපභෝගී නෞකාවක් මගින් 400ක් රැගෙන අද (14) කොළඹ වරායේ මගී නෞකා අංගනයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි අභියෝගයකට මුහුණ දී තිබුණු පසුබිමක මෙවැනි විශාල මගී නෞකාවක් මෙරටට පැමිණීම සංචාර කර්මාන්තයට මහත් පිටිවහලක් බව මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දින දෙකක් පුරා මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර හෙට දිනයේදී ගාල්ලට පැමිණීමට නියමිතය.

මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ නිරීක්ෂණයකට ද එක්විය.

එහිදී සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරිණි.