සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….

මෙරට මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානයක් හා ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව ගොස් තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරටට බලපෑ අපදා තත්ත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා  පසුගිය 07 වනදා අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.

එම ගුවන් යානා කටුනායක හා රත්මලාන ගුවන් හමුදා කඳවුරු වල සිට යාපනය, මත්තල, අම්පාර, අනුරාධපුරය යන ප්‍රදේශ වලට ගුවන් හෙහෙයුම් සිදු කරමින් ආපදාවට පත්ව සිටි ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරමින් දැවැන්ත මානුෂීය මෙහෙයුමක් සිදුකළ අතර අද (14) ඉන් එක් ගුවන් යානයක් සහ  සහන සේවා කණ්ඩායමක් සමග දිවයිනෙන් පිටව ගොස් තිබේ.

තවද, ඉන්දීය ගුවන් හමුදාවේ (MI-17) හෙලිකොප්ටර් යානා දෙකක් මගින් අත්‍යවශ්‍ය සහන සැපයුම් ගුවනින් ප්‍රවාහනය, පීඩාවට පත් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ඇතුළු වැදගත් මානුෂීය ගුවන් මෙහෙයුම් සිදු කර දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

එමෙන්ම පසුගිය 08 වනදා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් ද මෙහෙයුම් කටයුතු අවසන් කර අද (14) දින දිවයිනෙක් පිටව ගොස් ඇත.

මෙරට මුහුණ දුන් මෙම ව්‍යසනය හමුවේ ලබා දුන් මෙම ගුවන් සහයෝගය ජන ජීවිත යථාතත්වයට පත් කිරීම සඳහා මහත් පිටුවහලක් විය.

මෙහෙයුම පුරාවට කැපවූ සේවය සහ සමීප සහයෝගීතාවය වෙනුවෙන් අමෙරිකානු හා ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි කෘතඥතාව පළ කිරීමට මෙන්ම සහන සේවා කණ්ඩායම් වලට සමුදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා සහ ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට….

මහනුවර – ගොහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවා අද (14) අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවය.

මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ (13) බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහර දී තිබුණි.

ඊට අදාළ වීඩියෝ පටයක් ද අයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර එම වීඩියෝ පටයද සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කෙරේ….

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක අද (14) අලුයම පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.

කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයක් අදාළ කාන්දුව සිදුව ඇති අතර, ඒ හේතුවෙන් බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක පමණ ප්‍රමාණයක් මුහුදු ජලය සමග මිශ්‍ර වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික සහ ගුවන් හමුදාවේද සහාය ඇතිව මුහුදු ජලයට මිශ්‍ර වු බොරතෙල් ඉවත්කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

‘බටු මීයා’ගේ බිරිඳ සහ තවත් තිදෙනෙකු පොළොන්නරුවේ දී අත්අඩංගුවට…..

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුසවිතාන නමැත්තා ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයේ පසුගියදා අත්අඩංගුවට ගත් ‘බටු මීයා’ නම් සැකකරුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් පිරිස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව ඇත.

මෙහෙයුම් අවසන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයින්….

” දිට්වා ” සුළි කුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කර තිබේ.

ඒ අනුව, එම භටයන්ගෙන් පිරිසක් ඒ සඳහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් රැගෙන අද (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක්, විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම, මෙම මෙහෙයුම් සඳහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියහ.

පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට…

මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්.

මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඩොලරය රු. 309 ඉක්මවයි…..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.32 ක් හා විකුණුම් මිල රු. 312.91ක් ලෙසින් සටහන් වී තිබේ.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 309.02 ක් ලෙසින් වාර්තා වන අතර එය 2024 මාර්තු 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය වේ.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited (CWIT) වෙතින් රුපියල් මිලියන 100ක මූල්ය පරිත්යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්ය මහ කොමසාරිස් Satyanjal Pandey සහ Colombo West International Terminal (Private) Limitedහි ප්රධාන විධායක නිලධාරී Munish Kanwar යන මහත්වරුන් විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
ආපදා තත්ත්වයෙන් පසු නැවත රට ගොඩ නැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඉන්දියානු රජය දක්වන සහාය අගය කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී ප්රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරියටත් ශ්රී ලංකාවට අවශ්ය සහාය ලබාදීමට ඉන්දියානු රජය සූදානම් බවයි.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක, ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ අංශයේ ප්රධානී Devika Lal, ජෝන් කීල්ස් හෝලඩිංග්ස් සමාගමේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරි ක්රිෂාන් බාලේන්ද්ර, Colombo West International Terminal හි Zafir Hashim සහ Anandhan Nagaysayanu Raj යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, ගලිගමුව, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, පල්ලේපොල, රත්තොට, යටවත්ත, අඹන්ගඟ කෝරළය, විල්ගමුව, උකුවෙල සහ නාඋල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, මතුරට, නෝර්වුඩ්, හඟුරන්කෙත, නුවරඑළිය, කොත්මලේ බටහිර, වලපනේ, තලවාකැලේ සහ නිල්දණ්ඩාහින්න මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත් වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1
——————————-
ගම්පහ දිස්ත්‍රික්කයේ: දිවුලපිටිය, මීරිගම සහ අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ : දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට

ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….

ආපදා තත්ත්වය හේතුවෙන් නිශ්කාෂන කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග මේ වනවිට බහාලුම් නිශ්කාෂනය කිරීමේ යම් ප්‍රමාදයක් මතුව තිබේ.

බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ මෙම ආපදා තත්ත්වයත් සමග විශාල බහාලුම් තොගයක් රට තුළට ආනයනය වෙන නමුත් එම බහාලුම් නිශ්කාෂනය කර ගැනීමට හැකියාවක් නොමැති බවය.

වරාය පරිශ්‍රය තුළ දින 4ක් 5ක් පුරා බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී කෙලවරපිටිය අංගනය කඩිනමින් සකස් කර දෙන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ, මේ සති අන්තය වනවිට බහාලුම් තදබදය අවසන් කිරීමට හැකිවනු ඇති බවය.