රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති දිවයිනට…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

වෙළෙඳ සැලට පැන්න කාන්තා කොල්ල කල්ලිය……

ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි දෙහිවල පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 04 වෙනි දින සවස 06.30ට පමණ ව්‍යාපාරික ස්ථානය වෙත නාඳුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා ඇතුළු වී ඒ සඳහා රුපියල් 45,000/=ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇතැයි පොලීසිය පැවසීය.

ඔවුන් වෙත රූපවාහිනි යන්ත්‍රය ලබාදීමට එය පරීක්ෂා කරමින් සිටියදී ප්‍රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබාදුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් මද වෙලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු සමග වෙළෙඳ සැලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් 1,309,000/= ක මුදල කොල්ලකා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය පාර ඔස්සේ පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට – ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි…..

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % – 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.

ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ.

මේ අතර කෙටි ආහාර වර්ග රු 5කින් ඉහළ නංවා ඇති අතර, බිත්තර රොටිවල සහ පරාටාවල මිල වැඩිවීමක් නොමැති බවද හර්ෂණ රුක්ෂාන් මහතා අවධාරණය කළේය.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි…..

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය.

රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කරගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණද, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, මෙලෙස යළිත් වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබුණි.

වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්…..

ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

2023, 2024 සහ 2025 වසරවල ලැබී ඇති එම පැමිණිලිවලින් 2,300ක් පමණ විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.

2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ 4103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා ඇත.

තවත් පැමිණිලි 3348ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් සිදු කෙරේ.

2024 වසරේදී ලැබුණු පැමිණිලි 3159 අතුරින් 982ක් විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය‍.

එහිදී තවත් පැමිණිලි 2177ක් පිළිබඳව විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරමින් පවතින බව ද හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, 2025 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4742ක් ලැබී ඇති බවය.

ඉන් 572ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 4170ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රතාශ කළේය.

බොරතෙල් මිල යළිත් පහළට……

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙස සටහන්ව ඇත.

මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 96.20ක් ලෙසත් සටහන් වී තිබේ.

මෙය පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න පහළ යාමකි.

මේ අතර යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සකස් කර ඇති කරුණු 14කින් යුතු නව අවබෝධතා ගිවිසුම තමන් සලකා බලමින් සිටින බව ඉරානය පවසයි.

මෙවන් පසුබිමක ලෙබනනය සමඟ ඇති සටන්විරාමය නොතකමින් එරට බේරූට් අගනුවර නාගරික කලාපයක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය ඊයේ කටයුතු කළේය.

හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගල්ෆ් කලාපීය මුහුදේ කොටු වී ඇති වාණිජ නෞකා මුදාගැනීමේ අරමුණින් ඇරඹුණු Project Freedom මෙහෙයුම අත්හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළේය.

ඒ යුද්ධය නැවැත්වීමේ දේශපාලන විසඳුමකට ඉඩදීමේ අරමුණින්ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණයට ගුරු උපදේශකවරුන් සම්බන්ධ කර ගත යුතුයි – අගමැතිනිය……

පළමු ශ්‍රේණිය සඳහා ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා සකස් කරන විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සම්බන්ධ කර ගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇයගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කරමින්, ඉදිරි කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය කරුණු එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල් තුළ තාක්ෂණික පහසුකම් සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, නව ඉගැන්වීම් ක්‍රියාවලිය ඔස්සේ සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය වීම නිශ්චිත මිනුම් ක්‍රමවේදයක් මගින් ඇගයීමට ලක් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

එමෙන්ම, මොඩියුල සමාලෝචන ක්‍රියාවලියේදී ඒ ඒ විෂය ක්ෂේත්‍රවල විශේෂීකරණය වූ දැනුමක් සහිත පාර්ශ්වයන්ගේ සහය ලබා ගැනීමෙන් එම ක්‍රියාවලිය වඩාත් ඵලදායී කරගත හැකි බවද ඇය සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉගැන්වීම් රටාවේ සිදුවන වෙනස්කම් සහ එමගින් සිසුන්ට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මේ දක්වා ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ පත්කළ නව කමිටු, මොඩියුල සම්පාදනය, ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම, ගුරු පුහුණු වැඩසටහන් සහ පාසල්වල යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධනය පිළිබඳ තොරතුරු සහ සංඛ්‍යා දත්තද ඉදිරිපත් කෙරිණි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි……

ඉතිහාසයේ  පළමුවරට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමිනි.

“දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා. 

අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා. 

ඔයගොල්ලෝ වසර ගානක් තිස්සේ විනාශ කළ ආර්ථිකය. ඔය කියපු එල් – බෝඩ් ආණ්ඩුව ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස අවුරුදු එකහාමාරක් ඇතුළත ස්ථාවරව හදලා තියෙනවා. ඒ නිසා තමයි එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ, දිට්වා හානි පියවන්න, රුපියලක්වත් ණය ගන්නේ නැතිව භාණ්ඩාගරයෙන් ගන්නේ කියලා.”

හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා…….

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ සිදු කළ එරට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනාවට අනුවය.

වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවවීමත් විශේෂත්වයකි.

ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන වියට්නාම්හි ශක්තිමත් දේශපාලන සහ ආර්ථික දර්ශනය හඳුනාගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ක්‍රියාවලියට සහ විදේශ වෙළඳපොළ ජය ගැනීමට වියට්නාම් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.

විශේෂයෙන්ම නිපැයුම් සහ අපනයන ක්ෂේත්‍රයේ වියට්නාම් රාජ්‍යය ලබා ඇති අත්දැකීම් මෙරටට ලබා ගැනීමටත්, දෙරට අතර සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් මෙය අවස්ථාවක් වන බව සඳහන්ය.

කෘෂිකාර්මික නවීකරණය සහ සංචාරක කර්මාන්තය වැනි අංශයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම හරහා නව රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීමේ හැකියාව හිමි වනු ඇත.

අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වන වියට්නාම් රාජ්‍යය සමග පවත්වන සමීප සබඳතා මගින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට නව මාවත් විවර වන බව අදාළ නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව, වියට්නාමය සතු ශක්තිමත් කාර්මික පදනම සහ තාක්ෂණික දියුණුව මෙරට කුඩා සහ  මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වන උත්සාහයටද දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා එරට වෙළෙඳපොළ තුළ වැඩි ඉඩකඩක් වෙන් කරවා ගැනීමටද අවස්ථාව සැලසේ.

විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය සහ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කර ගැනීම මගින් මෙරට තරුණ පරපුරට ගෝලීය රැකියා වෙළෙඳපොළට පිවිසීමට දොරටු විවර කිරීම සඳහා මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව වැදගත් වේ.

එබැවින් මෙය දෙරටේම ආර්ථික සමෘද්ධිය උදෙසා දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැගීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති ටෝ ලාම්‍ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව වියට්නාම් රාජ්‍ය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර ද ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ඉහළ පෙළෙහි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

ඉන් අනතුරුව දෙරටේ නායකයින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරනු ලැබීමට නියමිත බව ද සඳහන්ය.

අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති වියට්නාම්-හෝ චි මිං කලාපයේ ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ද සැලැසුම් කර තිබේ.

ඉන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදු කරනු ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ තවත් දේශපාලන නියෝජිතයන් සමග වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේදී සාකච්ඡා කිහිපයකටම එක්වේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයට සහ වියට්නාමයට ආවේණික වූ නිෂ්පාදන, සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ සහ එරට නවීන කාර්මික නිපැයුම් ප්‍රදර්ශනයටද වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දිනයේ සහභාගි වනු ඇත.

අනතුරුව, ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය ඇමතීමට නියමිත අතර වියට්නාම් එයාර්ලයින්ස්  සහ වියට්ජෙට් එයාර්  මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සහ හෝ චි මිං නගරය/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා – වියට්නාම් ව්‍යාපාරික හමුවට සහභාගී වීමෙන් අනතුරුව හෙට (08) රාත්‍රියේ දී වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වැසේ……

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව  දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස  වසා දමෙනු ඇත.

අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස හා දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.