විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

 

ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා  www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර  www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

විදේශීය පරිත්‍යාගශීලීන්ට  ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.

 

ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (
DMC),
විද්‍යා මාවත, කොළඹ 07

 

 

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

 

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  හෝ  +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරයි.

අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය වෙළද ඇමති හමුවෙයි….

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය සමඟින් වූ සාකච්ඡාවක් අද (01) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේදී ඇති වී තිබෙන ගැටලු, හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ කටයුතු, සහන සැලසීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම වැනි අවශ්‍යතාවයන් පිළිබඳව සහ පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකොට එම ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා විය.

දිවයින පුරා සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ආපදා තත්වය හේතුවෙන් ළඟා වීමට නොහැකි ප්‍රදේශයන් වෙත ආරක්ෂක අංශයන් හි සහාය ලබා ගනිමින් එම සැපයුම් ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරරාජා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්, පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ලංකා සතොස ආයතනයේ සභාපති, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හ වෙළෙඳුන්ගේ සංගමයේ පිරිසක් සහභාගී වූහ.

ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්…..

දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව‍ේ හඳුන්වා දී තිබේ.

මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 තුළම සක්‍රියව සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් සමග සහය ඇවැසි ඇමතුම් ලබාදෙන්නන්ව වෛද්‍ය උපදෙස් සඳහා සම්බන්ධ කිරීම මෙම සේවාව මගින් සිදුවනු ඇත.

ජල ගැලීම් හේතුවෙන් සිදුවී ඇති තුවාල, උණ රෝගී තත්වයන්, ජලයෙන් බෝවන රෝග, හුස්ම ගැනීමේ අපහසුතා හෝ ජල ගැලීම් හේතුවෙන් පැන නගින වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් නිසා පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට ක්ෂණිකව අවශ්‍ය වෛද්‍ය උපදෙස්, 247 අංකය අමතා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව ඔස්සේ ලැබෙනු ඇත.

ආපදාවට ලක්වූ සියලු දෙනා හටම ප්‍රවේශය ලබාගැනීමට හැකියාව සලසමින්, ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ඇමතුම් ජාල හරහා මෙම සේවාව වෙත ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම අභියෝගාත්මක කාලය තුළදීත් ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදීමට නිරන්තරයෙන්ම කැපවීමෙන් කටයුතු කරයි.

විශේෂයෙන් සෑම පුරවැසියෙකුම ආරක්ෂිතව සිටින බවත්, ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ මෙන්ම හදිසි සේවාවන් සමඟද සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවත් සහතික කර ගැනීම සඳහා SLT-MOBITEL ඇප කැප වී සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසී හවුල්කරුවෙකු ලෙස සෑම විටම ඔවුන් සමඟ එක්ව සිටගන්නා SLT-MOBITEL, මෙම සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් නැවත නැගී සිටීම සඳහා ජාතිය එක්ව කටයුතු කරන අතරතුර, අත්‍යවශ්‍ය සන්නිවේදන සහාය සහ වෛද්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී සිටී.

මෙම අභියෝගාත්මක කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසටත්, ප්‍රජාවක් ලෙස එකට එක්ව සිටින ලෙසටත්, එකිනෙකා ගැන සොයා බලමින්, ආරක්ෂිතව සහ සාමූහිකව සිටින ලෙසටත් SLT-MOBITEL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ‌ ප්‍රදානය කරයි…

ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත.

ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක තොගය පසුගිය නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදී. ආපදා තත්වය හමුවේ වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක් වෙත එම අමුද්‍රව්‍ය තොගය බෙදා හැරීමට නියමිතය. මෙම සහනාධාරය එදිනෙදා ජන ජීවිතය තර්ජණයට ලක් වූ විශාල ජන පිරිසකගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට සහය වන බව විශ්වාසයි.

මෙම පරිත්‍යාගය භාරදීම ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා විසින් එම පරිත්‍යාගයන් භාර ගන්නා ලදී. ප්‍රීමා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සහ සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී සංජීව පෙරේරා මහතා යන මහත්වරුන් මෙම වියළි සලාක තොගය භාරදීමට සහභාගී වූහ.

ප්‍රීමා සමූහ ව්‍යාපාරය වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර, මෙම පරිත්‍යාගය අතිශය අසීරු හා අභියෝගාත්මක කාලවලදී ජාතිය කෙරෙහි ඇති හෘදයාංගම කැපවීම පිළිබිඹු කරයි. දිවයින පුරා සහන මෙහෙයුම් රැසක් අඛණ්ඩව සිදුවන මේ මොහොතේ රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව සහයෝගයෙන් විපතට පත් පවුල්වලට ඔවුන්ගේ ජන ජීවිත යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සහ අඛණ්ඩ සහන සැලසීමේ ක්‍රියාවලියට සහාය වීම ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණ වේ.

ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..

ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේ එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙන බවත්, හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

එසේම වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකුගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසූ සහකාර ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බවත් පැවසීය.

විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකි බවත්, තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය.

ජල ගැලීම්වලින් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස යම්කිසි ආකාරයකින් නැවත මඩ, පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා 1(2025) චක්‍රලේඛයේ 5(2) වගන්තිය සංශෝධනය කර තිබෙන බවත්, ඒ අනුව මෙම ආපදාවට මුහුණ දුන් සෑම නිවසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ  සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළ බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….

ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මේ වන විට මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මේ ආපදා අවස්ථාවේදී රටම එකට එක්ව සිටින අවස්ථාවේදී සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා රජය ප්‍රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බවත්, එහිදී සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකථන අංකයට හෝ ගුවන් තොටුපළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන් තොටුපළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කරදී ඇත.

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.

මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වී තිබේ.

ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්…..

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසය.

ආපදා මරණ 390 දක්වා ඉහළට….

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.