රන්වලගේ සානුකම්පිත දීමනාව තුවාලකරුවන් ප්‍රතික්ෂේප කරයි…..

තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමේ සිද්ධියට අදාළ නඩුව අද මහර අංක 02 අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අධිකරණයේ පෙනී නොසිටී අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම මන්ත්‍රීවරයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 76 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීන බවට වූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේය.

එහිදි අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විවෘත අධිකරණයේදී මෙලෙස ප්‍රශ්න කළා.

” දැන් මේ සිදුවීමේදී තුවාලවෙලා තියෙන්නේ සැකකරුට ද, නැතිනම් වින්දිතයින්ටද? ”

ඊට පිළිතුරු දුන් සපුගස්කන්ද පොලිසියේ විමර්ශන නිලධාරින් ” මෝටර් රථයේ ගමන් කළ තැනැත්තන්ට ස්වාමිනි, දැනටත් රෝහල්ගතව සිටින කාත්තාවගේ වම් කකුළ දනහිසට පහළින් කැඩිලා ” යැයි පැවසුවා.

එහිදි පෙරළා අතිරේක මහේස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේ ” එහෙනම් සැකකරුට පවතින තුවාල මොනවාද? ” යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රන්වල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අකලංක උක්වත්ත මහතා පැවසුවේ සිය සේවාදායකයාගේ ශාරීරික තත්ත්වය යෝග්‍යනොවන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතද යන්නයි.

ඊටද නීතිඥ අකලංක උක්වත්ත මහතා නැත යනුවෙන් පිළිතුරු දුන්නා.

පසුව අදාළ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවන සපුගස්කන්ද පොලිස් නිලධාරින් විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිටියේදැයි සොයාබැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ සිටියදී ලබාගත් රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවය.

කෙසේ වෙතත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සපුගස්කන්ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථයේ දුර්වල නඩත්තුව හේතුවෙන් තිරිංගවල ගැටලුවක් පැවත ඇති බව ද විමර්ශන නිලධාරින් කියා සිටියේය.

මෙහිදී නීතිඥ අකලංක උක්වත්ත චෝදනා කර සිටියේ අනතුරට රියදුරන් තිදෙනෙකු සම්බන්ධ වුවද, ඉන් සිය සේවාදායකයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පමණක් පොලිසිය විමර්ශන සිදුකිරීම ගැටලු සහගත බවය.

සිදුවීමට අදාළව මෝටර් රථයේ රියදුරු සහ යතුරුපැදියේ පැදිකරු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බව නීතිඥවරයා විවෘත අධිකරණයේදී පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සපුගස්කන්ද පොලිස් නිලධාරින් කියාසිටියේ ජීප් රථය පැදවූ මන්ත්‍රීවරයා පළමුව හැප්පීම සිදුකර ඇති බවය.

කෙසේ වෙතත් අනෙක් රියදුරන් දෙදෙනා සම්බන්ධයෙන්ද අධිකරණ වෛද්‍ය සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බව සපුගස්කන්ද පොලිස් නිලධාරින් පැවසුවේය.

මෙහිදී සිය සේවාදායකයා කැමැත්තෙන් සානුකම්පිත දීමනාවක් ලෙස අනතුරින් තුවාල ලබා මේවනවිටත් රෝහල්ගතව සිටින කාන්තාවට රුපියල් 50,000ක්ද, ප්‍රතිකාර ලබා පිටව ගොස් සිටින කුඩා දරුවාට සහ මවට රුපියල් 25,000 බැගින්ද ලබාදීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල වෙනුවෙන් නීතිඥ අකලංක උක්වත්ත අධිකරණයට මුදල් ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් අනතුරින් තුවාල ලබා මේවනවිටත් රෝහල්ගතව සිටින කාන්තාවගේ ස්වාමි පුරුෂයා එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාර අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළේය.

එමෙන්ම රෝහලෙන් පිටව ආ පසු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ගොස් ශාරීරික හා මානසික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

නඩුව යළි ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතය.

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඊයේ (18) නිවේදනය කර තිබුණි.

ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..

පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය ද ජාතික ජන බලවේගය අද (19) පරාජයට පත්ව තිබේ.

පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කර ඇති අතර වැඩි ඡන්ද 1කින් මෙසේ ආණ්ඩුව පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී අයවැයට විපක්ෂව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය, පොදුජන එක්සත් පෙරමුණ සිය ඡන්දය භාවිත කර තිබුණි.

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය…..

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබේ.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඒ අනුව අද (19) දින පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට අදහස් දෙන්න ජනතාවටත් අවස්ථාවක්….

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනත පිළිබඳව ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

නව රජය බලයට පත් වීමත් සමග දෙන ලද ප්‍රධාන පොරොන්දුවක් වූයේ පැරණි ත්‍රස්‍තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර මානව හිමිකම් ආරක්ෂා වන පරිදි පුද්ගලයින්ගේ භාෂණයේ නිදහස ආරක්ෂා වන පරිදි නව ත්‍රස්‍තවාදයට එරෙහි පනතක් සැකසීම වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ප්‍රමුඛ විද්වතුන් 17 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පරණ නීති ඉවත් කර අලුතින්ම ත්‍රස්‍තවාදයට එරෙහි පනතක් ගෙන එනු ලැබූ බවත් එය මේ වන විට භාෂා 3න්ම සකස් කර ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම කෙටුම්පත් තුන අධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියට උඩු ගත කර ඇති අතර මෙම පනත පාර්ලිමේන්තුවට හෝ කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගෙන් අදහස් විමසීම සඳහා කාලය ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම නව නීතිය භාෂා තුනෙන්ම නිල වෙබ් අඩවියේ පල කර ඇති අතර මේ පිළිබඳව ජනතාවගේ අදහස් ගැනීමට, සංශෝධන කිරීමට අවශ්‍ය නම් ඒ කුමක් ද යන්න පිළිබඳව දැනුම්දීමට මේ කාලය විවෘතව පවතියි.

හර්ෂණ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යනය කර අලුත් අදහස් ලබා දී රජයට සහාය වන ලෙසය.

එමෙන විවිධ පුද්ගලයින්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයින් මේ වන විටත් අදහස් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව සාධනීය ලෙස සලකා බලන බවද මෙහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෙබරවාරි 28 පසුව නීතිඥ රියන්සි අර්සකුලරත්න ප්‍රමුඛ කණ්ඩායම මගින්ම ඒ යෝජනා සලකා බලමින් ඉතා සාධනීයව මෙම පනත වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ වෙබ් අඩවියේ පල කර ඇත්තේ අවසන් වූ පනතක් නොව ජනතාවගේ අදහස් ලබා ගැනීමට යොදා ගත් කෙටුම්පතක් පමණක් වන බවය.

ඒ අනුව ඕනෑම අයෙකුට මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බවත් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ සම්බන්ධයෙන් වූ සාධනීය අදහස්, විවේචන ලබා දෙන ලෙසත් ඒවා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බවද පැවසු ජනාධිපතිවරයා ඒ තුළින් ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

පූර්ණ නිවාස හානි 6,228ක්,  NBRO අවසර ලබානොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබානොදෙන නිවාස 6,877ක් ඇති අතර, මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සහන පැකේජය

* හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රු 25,000ක් ලබාදීම.

* නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබාදීම.

* පළමු වටයේ දී මුළුමනින්ම නිවාස අහිමි වූ  ආදායම් මාර්ග අහිමි වූ, NBRO නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාසහිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රු 50,000ක දීමනාවක් ජනවාරියේ සිට මාස තුනක කාලසීමාවක් ලබාදීම.

* නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව NBRO නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රු 25,000 බැගින් ලබාදීම.

* ආපදාවට ලක්වූ මුළු නිවාස 17,648ක ජනතාවට රු ලක්ෂ 50 බැගින් ලබාදීම.

* වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වගා කර ඇති අයට හෙක්ටයාරයකට රු 150,000ක දීමනාවක්.

* මිරිස්, ලූනු, ගස්ලබු, කෙසෙල් ඇතුළු එළවළු වගාකළ ගොවීන්ට හෙක්ටයාරයකට රු 200,000ක දීමනාවක්.

* ඝණත්වය අනුව ගම්මිරිස්, එනසාල් සහ කෝපිවලට වන්දි ලබාදීම. (ගම්මිරිස් වැළකට රු 250ක්.)

* පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වූ දෙමුහුන් ගවයෙක් වෙනුවෙන් රු 200,000ක බැගින් උපරිම ගවයින් 10ක් සඳහා ආධාර මුදලක් ලබාදීම.

*දේශීය ගවයෙකු වෙනුවෙන් රු 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබාදීම.

*සූකරයින්, එළුවන් සහ බැටලුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින පිරිසට එක් සතෙකුට රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබාදීම.

*කුකුළු පාලනයේ යෙදෙන පිරිසට මියගිය එක් ලේයර් සතෙකුට රු 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර ලබාදීම. බ්‍රොයිලර් සතෙකුට රු 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබාදීම.

* කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටුවට රක්ෂණයක් ඇති අයට, රක්ෂණයේ මුදල සීනෝර් ආයතනයට ලබාදී එම පිරිසට අලුත් බෝට්ටුවක් ලබාදීම.

* දැල් ආම්පන්න නැති වූ සෑම ධීවරයෙකුටම රු 100,000 වවුචරයක් ලබාදීම.

* ආපදාවට ලක්වූ බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ සාදා දීම.

* මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ඔරුවක් අහිමි වූ අයෙකුට රු 100,000 මුදලක් හා හානියට පත්වූ ජලාශවලට පැටව් ලබාදීම.

* ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට රු 25,000 දීමනාවක්.

* කර්මාන්ත අමාත්‍යාංශයයේ ලියාපදිංචි වූ කර්මාන්ත 9,600ට ලක්ෂ 2ක මුදලක්

* අර්ධ හානියට පත්වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ 5ක් හෝ තක්සේරු කිරීමෙන් පසු උපරිමය ලක්ෂ 50ක්

* කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍රාදේශීය ව්‍යාපාර සඳහාත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවෙන් පසු දීමනාවක්

* මහා පරිමාණ ව්‍යාපාර සඳහා සහනශීලි ණයක් යටතේ කුඩා කර්මාන්ත සඳහා ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වාත් සහ විශාල කර්මාන්ත සඳහා රුපියල් මිලියන 25ක්

කොටහේනේ පිහි ඇනුමක් – අයෙක් මරුට….

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය.

ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටප්‍ර කථානායක අශෝක රන්වල මහතා ධාවනය කළ ජිප් රථය ඉකුත් දෙසැම්බර් 11 වැනිදා රාත්‍රීයේ සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පසුව ඇප මත මුදා හැරිණි.

කෙසේවෙතත් අනතුර අවස්ථාවේ බීමත්කම පරීක්ෂා කිරීම පමාවීම ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමේ පමාවන් සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් මෙහිදී විවේචන එල්ල විය.

ඒ අනුව එහිදී සපුගස්කන්ද පොලිස් නිලධාරීන් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා විමර්ශනයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

එහි වාර්තාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාවෙත භාර දී ඇත.

අදාළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, ඉකුත් 11 වනදා රාත්‍රී 7.25ට පමණ අනතුර සිදුව ඇති අතර ඉන් විනාඩි 25කට පසුව එනම් රාත්‍රී 7.50ට පමණ සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයෙකු අදාළ ස්ථානයට ගොස් ඇති බවය.

අනතුරුව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රී 8.00ට පමණය.

ඒවන විටත් රන්වල මන්ත්‍රිවරයා හා ඔහු අනතුරට ලක් කිරීමෙන් තුවාල ලැබූ දරුවා හා කාන්තාවන් දෙදෙනා එම ස්ථානයේ සිට නොමැත.

එදින රාත්‍රී 9.30ට පමණ අනතුර සිදු වූ ස්ථානයට ගිය සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇති බවත් ආදළ වාර්තාවේ සඳහන් වේ.

ඔහු එහි ගේට්ටුව අසල සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, රෝහල් ගතකළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවය.

අනතුරුව අදාළ සැරයන්වරයා රෝහලේ කිසිඳු බලධාරියෙකුගෙන් ඒ පිළිබඳව විමසා හෝ පෞද්ගලිකවම පරීක්ෂා කර නොමැති බව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.

කෙසේවෙතත් ඒවන විට රන්වල මහතා කිරිබත්ගොඩ රෝහලේ සිට ඇති අතර ඔහු රෝහලෙන් රාත්‍රී 10.35ට පමණ පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

අනතුරුව රන්වල මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර සඳහා ඊට ඇතුළත්වීමට උත්සහා දැරීමේදී ඔහු විසින් අනතුරට ලක් කළ පිරිසේ ඥාතීන්ගෙන් දැඩි දෝෂාරෝපනයක් එල්ල වී තිබේ.

එම ස්ථානයේ අදාළ අනතුර පිළිබඳව සොයාබැලීමට පැමිණි සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා සිට ඇති නමුත් රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමග ඔහු කිසිඳු විමර්ශනයක් නොකර එම ස්ථානයෙන් පිටත්ව ඇති බව පොලිස්පතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු මත්පැන් පානය කර සිටියේද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන බීමත්කම පරීක්ෂා කරන නල පිම්බීමට ලබාදීමට පොලිසියට නොහැකි වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක් වේ.

එහෙත් එවැනි අවස්ථාවක පොලිසිය විසින් භාවිත කරනු ලබන අධිකරණ වෛද්‍ය පෝරමයවත් කිරිබත්ගොඩ රෝහලේදී සපුගස්කන්ද පොලිසියෙන් ලබාදීමක් කර නොමැත.

එය ඔහුට ලබාදී ඇත්තේ අනතුර සිදුවීමෙන් පසුදින කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසිනි.

ඉන් අනතුරුව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙවැනි ආන්දෝලනාත්මක අනතුරක් සිදුව ඇති පසුබිමක විමර්ශන සඳහා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අවම වශයෙන් කිරිබත්ගොඩ හෝ කොළඹ ජාතික රෝහලට ගොස් නොමැති බවත් අදාළ විමර්ශනයේදී හෙළි වී ඇත.

පසුදින රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ සෘජුව මැදිහත්වීමෙන් සිදුකළ විමර්ශනයේදී බව ද වාර්තා වේ.

රිය අනතුරෙන් පසුව රන්වල මන්ත්‍රීවරයා මත්පැන් පානය කර ඇති බවට විවිධ පිරිස් චෝදනා කිරීම, ඔහු විසින් අනතුරට ලක් කළ තිදෙනෙකු රෝහල්ගතව සිටීම වැනි තත්ත්වයකදී නියත වශයෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය කටයුතු කළ යුතු වූවද එසේ සිදුකර නොමැති බවත් පොලිස්පතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

අදාළ විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධව විමර්ශනය කළ රථවාහන අංශයේ ස්ථානාධිපති හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා හා දිස්ත්‍රික්භාර නිලධාරීන් රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

මේ අතර අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුරට අදාළ නඩුව හෙට (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවිමට නියමිතය.

ඩයලොග්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි…..

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා ශ්‍රී ලංකාවේ දොරගුළු විවර කරන ‘Dialog 5G Ultra’ ජාලය වාණිජ වශයෙන් දියත් කරන බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකාව පුරා සජීවී 5G ආවරණ කලාප 220 කට අධික සංඛ්‍යාවක් හරහා ලක්ෂ 15 කට අධික පාරිභෝගිකයින් වෙත මෙම නවීනතම ඩයලොග් 5G ජාලය රැගෙන එනු ලැබේ.

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ප්‍රථම වරට 5G වාණිජ ජාලය අත්විඳීමේ හැකියාව මෙලෙසින් උදාකර දෙන ඩයලොග්, ඒ හරහා අනාගත සන්නිවේදන තාක්ෂණය මෙරටට දායාද කිරීමේ පුරෝගාමී කාර්යභාරය තවදුරටත් සනාථ කරයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීම සඳහා පවත්වන ලද 5G සංඛ්‍යාත වෙන්දේසියේදී, 3500 MHz සංඛ්‍යාත පරාසයෙන්, 100 MHz ක ප්‍රමාණයක් සහ 27 GHz සංඛ්‍යාත පරාසයෙන්, 200 MHz ක ප්‍රමාණයක් පසුගියදා ඩයලොග් විසින් හිමිකර ගන්නා ලදී.

එම සුවිශේෂී පියවරෙන් අනතුරුව, ඩයලොග් 5G ජාලය වාණිජ වශයෙන් මෙලෙස දියත් කිරීමේ කටයුතු සිදුකෙරේ.

නවීනතම, Dialog 5G Ultra ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට, පෙර නොවූ විරූ වේගයක, ඉහළම ක්‍රියාකාරිත්වයේ, කාර්යක්ෂම අන්තර්ජාල පහසුකම් අත්විඳිය හැකි වේ.

ඒ හරහා ගෘහස්ත පාරිභෝගිකයින්ට ඉහළ අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාර‌ හා කර්මාන්තවල දියුණුවට ඉවහල් වන තාක්ෂණික විසඳුම් කරා යාමටත් මෙම ජාලය ඉවහල් වේ.

දිවයින පුරා පොදුවේ පුළුල් ආවරණ හැකියාව සලසන 3500 MHz සංඛ්‍යාත සමගින්, 27 GHz සංඛ්‍යාත උපයෝගීකරගනිමින් ව්‍යාපාරික සහ කර්මාන්තමය අන්තර්ජාල අවශ්‍යතාවන් සුපරාලීම  සඳහා විශේෂයෙන් උපකාරීවන ඉහළ ධාරිතාවයකින් යුත් Gigabit වේගය පිරිනැමීම පිණිස ඩයලොග් සැදී පැහැදී සිටියි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.
“Dialog 5G Ultra ජාලය දියත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් අනාගත ඩිජිටල් යටිතල පහසුකම් පිරිනැමීම වෙනුවෙන් අප තැබූ සුවිශේෂී පියවරක්. ඩිජිටල් ආර්ථිකයක් තුළ 5G තාක්ෂණය කියන්නේ වේගවත් සන්නිවේදනය පමණක් නොවෙයි. 5G තාක්ෂණය, වේගය අභිභවා නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය වගේම, සියලු දෙනා ඇතුළත් කරගැනෙන විසඳුම් සඳහා බලගන්වන ප්‍රධානතම සාධකයක්. ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය ලෙස, ඉදිරි වසර දෙක තුළ මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කරමින් දිවයින පුරා එම සම්බන්ධතාවය ව්‍යාප්ත කිරීමට අප කැපවී කටයුතු කරනවා. එවිට, ඩිජිටල් ශ්‍රී ලංකාවේ පූර්ණ ප්‍රතිලාභ අත්විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, ව්‍යාපාරයකටම වගේම සෑම කර්මාන්තයකටම අවස්ථාව සැලසෙන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම 5G සංඛ්‍යාත පරාසයන් වෙන්කරදීම වෙනුවෙන් මනා විනිවිදභාවයකින් යුත් වෙන්දේසියක් පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට මෙන්ම ශ්‍රී ලංකා රජයටද අපේ ස්තුතිය පිරිනැමෙනවා”

ආරම්භයේ පටන්ම අඛණ්ඩව සිදුකෙරුණු පර්යේෂණ ඇතුළුව, දකුණු ආසියාවේ පළමුවෙන්ම 2G, 3G සහ 4G හඳුන්වාදීමේ සිට දිවයිනේ විශාලතම 5G පර්යේෂණ ජාලය දියත් කිරීම දක්වා දිගහැරුණු ඩයලොග් හි නවෝත්පාදන උරුමය, මෙලෙස Dialog 5G ජාලය වාණිජ වශයෙන් දියත් කිරීමට ශක්තිමත් පදනම බවට පත්ව තිබේ.

Dialog 5G Ultra ජාලය වාණිජ වශයෙන් දියත් කිරීමත් සමග, නවීනතම තාක්ෂණික පහසුකම් හරහා ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා දිවිපැවැත්ම වඩාත් සාර්ථක කර ගැනීමටත්, ව්‍යාපාරික දියුණුව උදාකර ගැනීමටත් සක්‍රීය දායකත්වයක් එමගින් සැලසෙනු ඇත.

මෙම දියත් කිරීමත් සමගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට 5G තාක්ෂණය හා එක්ව සැබෑ අන්තර්ජාල අත්දැකීම් විඳගැනීම සඳහාම වූ 5G ස්මාර්ට්ෆෝන්, Data Plan සහ විනෝදාස්වාද අන්තර්ගතයන් රැසක් ඩයලොග් හඳුන්වාදෙනු ලැබීය.

ඒ පිළිබඳ වැඩි විස්තර, www.dialog.lk වෙබ් අඩවියෙන් දැනගත හැක.

එසේම, විදෙස්ගතවන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ටත්, මෙරටට එන සංචාරකයින්ටත්, තම 5G ස්මාර්ට්ෆෝන් හරහා ලොව පුරා ගමනාන්ත 76 කදී, අධිවේගී 5G අන්තර්ජාල පහසුකම් අත්විඳීමේ හැකියාව උදාකරමින්, ජාත්‍යන්තර රෝමිං සහකරුවන් 155 ක් හා අත්වැල් බැඳගත්, ශ්‍රී ලංකාවේ සිට පිරිනමන විශාලතම 5G රෝමිං ජාලයද ඩයලොග් සතු වේ.

ඒ හරහා දෙස් විදෙස් පාරිභෝගිකයින්ට, ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවාවන් අත්විඳීමට හැකියාව සැලසීමේ පුරෝගාමී මෙහෙවර උදෙසා වන කැපවීම, ඩයලොග් තවදුරටත් තහවුරු කරයි.

ශ්‍රී ලංකාවට අනාගත තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස, ඩයලොග්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය උදාකිරීමේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යාම උදෙසා මෙන්ම රටේ දිගුකාලීන සංවර්ධනයට දායක වීම පිණිසද අඛණ්ඩව කැපවෙයි.

ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ අසමසම සම්බන්ධතාවන් මෙලෙස පිරිනැමීම තුළින්, ශ්‍රී ලංකාවේ ජන ජිවිත සරුසාර කරමින්, ව්‍යාපාර සවිබල ගැන්වීමට ඩයලොග් නිරන්තරයෙන් ඇප කැපවී කටයුතු කරයි.

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩිවිය හැකි බව ද සඳහන් වේ.

එමෙන්ම ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොළඹය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද සෘජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස එම අධිකාරිය දැනුම් දී ඇත.

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී එම ජලාශ ද වාන් දැමිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස මහවැලි අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය