රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත් මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවය.

එමෙන්ම අද උදෑසන වන විට තවත් නිවාස 169,944කට ගෙවීමට තිබූ බවත් මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487ක වැය බරක් දරා ඇති බවය.

එමෙන්ම මේ වන විට කඩිනම් සහන සඳහා රජය විසින් රුපියල් මිලිය 4,197ක් වියදම් කර ඇති බවත් මේ වන දේශීය සහ විදේශීය වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ආධාර අතරට දේශීය මෙන්ම විදේශීය ආධාරද ඇතුළත් බවත් දේශීය ආධාර සෘජුවම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සම්බන්ධීකරණය ඇතුව බෙදා හරින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ විදේශීය ආධාර නිෂ්කාශනයෙන් පසු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ඔරුගොඩවත්ත ගබඩාවේ සිට අවශ්‍යතාවට අනුව දිස්ත්‍රික් ලේකම්වරු හරහා අදාළ දිස්ත්‍රික්කය තුළ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බෙදා දීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම විදේශීය ආධාර අතරට විවිධ රටවල්වලින් ආහාර, උපකරණ, ඖෂධ, ඇතුළු භාණ්ඩ රැසක් ලැබී ඇති බවත් එම ආධාර නිසි යාන්ත්‍රණයක් බෙදා හැරීම් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා,

“මෙම විදේශීය ආධාර අතරට ආහාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඊශ්‍රායලය, මාලදිවයින, පාකිස්ථානය, ඕමානය, රුසියාව, තුර්කිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපිට ටොන් 2,125ක් ලබා දීලා තියෙනවා විදේශීය ආධාර වශයෙන්. මෙම ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල 20ක් තුළ මේ වන විට ටොන් 1,247ක් බෙදා හැර අවසන්. ඉතිරි ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉල්ලීම් ලැබෙන අනුපිළිවෙළ මත බෙදා හැරීම් කරනවා. 

මීට අමතරව ප්‍රධාන උපකරණ චීනය, ස්විස්ටර්ලන්තය, ජපානය, ඊශ්‍රායලය, පකිස්ථානය, රුසියාව, ලෝක ආහාර වැඩසටහන මගින් අපිට ලැබිලා තියෙනවා අයිතම 270ක් මේවාවලින් 130ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බෙදා දී අවසන්. ඒ වගේම සිවිල් ඉංජිනේරු භාණ්ඩ විශේෂයෙන්ම පාලම් ඉන්දියාවෙන් ලැබුණා ටොන් 55ක් මෙම ටොන් 55ම පාලම් අපි මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මේ වන විට මුදා හැරලා තියෙනවා. 

ඒ වගේම ඖෂධ ද්‍රව්‍ය ඉන්දියාව, මියෙන්මාරය, බංග්ලාදේශය, ඊශ්‍රායලය සහ පකිස්ථානය කියන රටවල්වලින් ටොන් 26.5ක් ලැබිලා තියෙනවා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විදිමත්ව භාර දී අවසන්. 

විවිධ කූඩාරම් වර්ග චීනය, පකිස්ථානය, රුසියාව සහ ලෝක ආහාර වැඩසටහනෙන් ලැබිලා තියෙනවා. අයිතම වශයෙන් 13,048ක්. ඒකෙන් මේ වන විට 3,150ක් බෙදා හැරලා අවසන්. 

ආපදාවට පෙර චීන ආධාර යටතේ ලැබුණ මේ වගේ භාණ්ඩ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බෙදා හැරලා පෙර සූදානම් වෙලා තිබුණේ. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 17ක් තුළ මේ භාණ්ඩ බෙදා හැරලා තියෙනවා. 

ඒ වගේම නිවාසවල භාවිත කරන උපකරණ චීනය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෝක ආහාර වැඩසටහන මගින් අයිතම 5206ක් අතුරින් 3274ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 18කට බෙදා හැරලා තියෙනවා. ඒ වගේම රෙදිපිළි ප්‍රංශයෙන් ඉන්දියාවෙන්, මාලදිවයින, කැනඩාව, ඕස්ට්‍රේලියාව, කටාර් යන රටවල්වලින් ටොන් 21ක පමණ ප්‍රමාණයක්. මෙයින් ටොන් 8ක් පමණ බෙදා හැරලා අවසන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 12කට. 

වෙනත් විවිධ ද්‍රව්‍ය ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, පාකිස්ථානය වෙතින් ටොන් 4ක් පමණ ලැබිලා තියෙනවා මෙයින් ටොන් .4ක් බෙදා හැරලා අවසන්.”

‘Beyond Recovery’ මානුෂීය මෙහෙයුම ඇරඹෙයි….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආපදාවට ලක්වූ ප්‍රධාන දිස්ත්‍රික් 6ක මානසික සුවය සම්බන්ධව අවබෝධයක් තිබෙන දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් තෝරාගෙන ඔවුන් පුහුණු කිරීම මේ යටතේ සිදු කරනු ලබයි.

එම පුහුණු වැඩසටහන් මෙරට මානසික සුවතාවය පිළිබඳ ප්‍රවීනයන් විසින් සිදු කරන බව සඳහන් වේ.

ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල සුරක්ෂා මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක කළ යුතු විද්‍යාත්මක වැඩසටහන් සැකසීම මෙන්ම උපදේශන මාලාවන් නිර්මාණය කිරීම ඇතුළු මානසික උපදේශන වැඩසටහන් සම්බන්ධවද මෙම මූලික වැඩසටහනේදී සාකච්ඡා කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මෙරට සමාජයීය ආචාරධර්ම සහ පාරිසරික යහපැවැත්ම උසස් මට්ටමකට ගෙන ඒම වන අතර, එය යථාර්ථයක් බව පත් කිරීමේ අරමුණින් මෙම ‘Beyond Recovery’ මානුෂීය මෙහෙයුම ආරම්භ කර තිබේ.

මෙම වැඩමුළුවට සහභාගි වී පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන් නුදුරේදීම සුරක්ෂා මධ්‍යස්ථාන හරහා ආපදාවට ලක්වූ ජනතාවගේ මානසික සුවතාවය ඉහළ නැංවීම උදෙසා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.

මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……

මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුවී ඇතැයි තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණ කළේය.

එම සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැවසුවේ අදාළ එන්නත මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් කිසිලෙසකින්වත් ඔවුන්ට නිදහස් විය නොහැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියටම අනුව මෙම වසරේ දී පමණක් මෙවැනි කොලිටි ෆේලියර්ස් පර්යේෂණාත්මකව තහවුරු වුණු අවස්ථා අනූවකට ආසන්න ප්‍රමානයක් ඇති බවය.

ඔන්ඩැන්සෙට්‍රෝන් නැමති ඖෂධය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වීම ඉන් ආසන්නතම සිදුවීම වන බවද වෛද්‍යවරයා පැවසීය.

එමෙන්ම අදාළ සමාගමේ තවත් ඖෂධ නමයක් මේ වෙනකොට අත්හිටුවා ඇති බවත් එය බරපතළ කාරණයක් වන බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

”හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අදාළ සමාගමෙන් දිගින් දිගටම මෙහෙම ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි එනකොට මේ ගැන ගත්තු තීන්දු තීරණ මොනවද? තැන් තැන්වල දේශපාලඥයින්ගේ, සහෝදර සහෝදරියන්ගේ නම් ගෑවෙනවා. ඖෂධ මාෆියාව ගැන කතා කරනකොට මේක මේ අර වගේ හැමතැනම තමන්ගේ අඩු විහිදගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ඒක නෑ කියන්න බෑ. සමහරු මේක ඇතුළට එන්නේ අර මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. දැන් මේ මොහොතේදීත් අපි දකින්නේ අර ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑ හයක් පුරා සිද්ධ වෙච්ච දේ. මේ හැත්තෑ හත්වෙනි අවුරුද්දෙත් ආයි ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එතනදි කවුරුහරි කියනවා නම් මේක අහවල් නිලධාරියා තමයි මේකට වගකියන්න ඕනේ. එහෙම මේවයින් මිදිලා යන්න බැහැ.”

නීතිඥවරියකට තග දැමූ රන්ජන් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්……

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ සත්ව සුබ සාධන සංගමක් නියෝජනය කරමින් අදාළ නීතීඥවරිය පැමිණ සිටියදී නගරාධිපතිවරයා විසින් එහිදී හැසිරුණු අයුරු නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බවය.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සහ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ සිදුවීමේදී නගරාධිපතිවරයා නිල නොවන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ප්‍රකාශ කර ඇති බවත් එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැරදි සහ නොමග යවන සුළු වන බවත් සඳහන් කර ඇති නීතීඥ සංගමය සිය නිවේදනය මගින් පවසනුයේ නගරාධිපතිවරයා කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් යටතේ කටයුතු නොකරන බවත්ය.

ඒ අනුව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ මෙම හැසිරීම සම්බන්ධව නීතීඥ සංගමය දැඩි ලෙස හෙළා දකින බවත් එය නීතීඥයෙකුගේ වෘත්තිය වගකීම් සහ ස්වාධීනත්වයට සිදුකළ බරපතළ මැදිහත්වීමක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය සළකනු ඇති බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පත් මනම්පේරිට තවදුරටත් රැඳවුම් නියෝග…..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් හා තොරතුරු ලබා ගැනීමට ඇති බැවින් සහ සැකකරු විසින් ලබා දුන් තොරතුරු අනුව තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් මෙම කටයුතු සඳහා මොහු රඳවා ගැනීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව එම රැඳවුම් නියෝග අවසන් වන එළැඹෙන 24 වැනි දින සිට තවත් දින 90ක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙසත් ඒ සඳහා වන ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් සැකකරු එළැඹෙන 24 වැනි දින දක්වා රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී සම්පත් මනම්පේරි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයින් ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණ නියෝග නොසලකා හරිමින් කටයුතු කරන බවත් තවදුරටත් නියෝග ලබා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ලිපි අද දින ඉදිරිපත් කළ යුතුව ඇති බවත්ය.

කෙසේ නමුත් කරුණු සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් සැකකරු එළැඹෙන 24 වැනි දින දක්වා තවදුරටත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගැනීමට නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පියල් මනම්පේරි නැමැත්තාද අද දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුද එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි…..

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද (19) වන විට එම ප්‍රමාණය 300,191ක් ලෙස වාර්තා වී ඇත.

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වර්ෂයේදී ශ්‍රමිකයින් 314,673ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2025 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 184,085 හා කාන්තාවන් 116,106 ක් රැකියා සඳහා විදේශ ගතවී ඇත.

මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනෙකු විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200 කි.

දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037ක් ලෙස වාර්තා වේ.

කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමය.

ඒ අනුව 2025 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 6,272 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7.19ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් 47,000ක් අත්අඩංගුවට…..

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 47,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය ඔක්තොබර් 30 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 47,703 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදි එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 276යි ග්‍රෑම් 374ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1002යි ග්‍රෑම් 923 ක්, ගංජා කිලෝග්‍රෑම් 1,411යි ග්‍රෑම් 936ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ද පොලීසිය පැවසීය.

ඒ අතරින් සැකකරුවන් 1,081දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන් වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ තවත් සැකකරුවන් 1,130දෙනෙකු පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර සැකකරුවන් 47 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවය.

රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශවල වාන්දොරටු විවෘතව ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ඊයේ රාත්‍රීයේ විවෘත කෙරිණි.

ඉන් තත්පරයට ඝන අඩි 1500ක ජල ධාරිතාවක් අඹන්ගඟට මුදාහැරෙන බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද වාන් දමමින් පවතියි.

අම්පාර, කොණ්ඩුවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර – ඉඟිණියාගල මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.