එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක සහ ආරක්ෂක නි.ඇමති අතර හමුවක්….

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර අතර හමුවක්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

ඒ දිවයිනේ වත්මන් ආපදා සහන මෙහෙයුම්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මානුෂීය ආධාර සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සමාලෝචනයක් සඳහා ය.

මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයට මුහුණ දීමේදි ශ්‍රී ලාංකික ජනතාව ප්‍රදර්ශනය කළ අසමසම ජාතික සමගිය සහ අභියෝග හමුවේ නොසැලි සිටීමේ හැකියාව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය.

වත්මන් ආපදා සහන මෙහෙයුම් අතීත අඩුපාඩු මග හරවා ගනිමින් වඩාත් විධිමත් සම්බන්ධීකරණයකින් සහ තිරසාර පදනමකින් ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී හැරවුම් ලක්ෂයක් බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ආයතනික සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ආපදා කළමනාකරණ පනතට හඳුන්වා දීමට නියමිත නව සංශෝධන මෙන්ම, ‘ පරිසර ආරක්ෂණය’ ජාතික ආරක්ෂාවේම අනිවාර්ය අංගයක් ලෙස පිළිගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ඇතුළු ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

විදේශ ආධාර ගලා ඒම විධිමත්ව නිරීක්ෂණය කිරීම, ඒවා කළමනා කරණය කිරීම සහ රජයේ ආයතන හා ජාත්‍යන්තර හවුල්කරුවන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා පිහිටුවා ඇති ‘විදේශ සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ඉහළ මට්ටමේ කමිටුවේ’ සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැනුවත් කළේය.

මීට අමතරව, සහන සේවා සැපයීමේදී මුහුණ දීමට සිදුවන සැපයුම් දාම අභියෝග, ප්‍රවාහන දුෂ්කරතා සහ ගබඩා පහසුකම් සීමිත වීම වැනි ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එම ක්‍රියාවලිය වඩාත් සරල සහ කාර්යක්ෂම කිරීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) භාණ්ඩ ලබා ගන්නා ප්‍රධාන ආයතනය ලෙස නම් කිරීමේ වැදගත්කම සහ මධ්‍යගත සැපයුම් සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනා කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර හවුල්කාර සංවිධාන ශ්‍රී ලංකාව වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ සහෝදරත්වය අගය කරමින්, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව මෙහිදී පිරිනැමීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දෙන බව මෙහිදී යළිත් තහවුරු කළ නේවාසික සම්බන්ධීකාරකවරයා, ජාත්‍යන්තර මානුෂීය ආධාර නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ගුවන් තොටුපළ සහ වරාය පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් තාවකාලික One-stop facility ‘සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කම යෝජනා කළේය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටට ලබා දෙන අඛණ්ඩ සහාය නැවත තහවුරු කළ අතර, මනා නායකත්වයක් සහ කළමනා කරණයක් සහිත ඒකාබද්ධ විධානයක් සඳහා ජාත්‍යන්තර පිළිවෙත් බෙදා ගන්නා ලදි.

මානුෂීය ආධාර නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා ගුවන් තොටුපළේ සහ වරාය කේන්ද්‍ර කර ගනිමින් තාවකාලික One-stop facility පහසුකම් සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කමද, මෙහිදී පෙන්වා දී ඇත.

හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….

මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ඉන් නිවාස 3කට හානි සිදුවී ඇති බවය.

ප්‍රදේශයේ පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වි ඇති බව ද සඳහන් වේ.

පැවති අවදානම් තත්ත්වය හේතුවෙන් ඒ අසල පිහිටා තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක සිටි පවුල් 90ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….

මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපාි පියසේන මහත්මිය පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය.

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි….

ඉදිරි පැය 36 දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් එළැඹෙන 20වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කිලෝමීටර 70ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අවහිර වූ බවත්, එම ප්‍රමාණය මේ වනවිට පිළිසකරකර අවසන් බවත් ඔහු පවසයි.

“බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා උඩරට දුම්රිය මාර්ගයේ කිලෝමීටර 70ක් අපට අයිති. ඒක හදලා ඉවරයි.

ලබන 20වනදා උදෑසන අඹේවෙලින් දුම්රියයි බදුල්ලෙන් දුම්රියයි දෙපැත්තට ධාවනය කරන්න පටන් ගන්නවා. 

මේ සංචාරකයෝ එන මාසය. නුවරඑළියට එන සංචාරකයා, ඇල්ලට එන සංචාරකයා මේ දුම්රිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කඩිනමින් මේ මාර්ගය හැදුවා” ඔහු පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මහාමාර්ග පද්ධතියට මෙන්ම දුම්රිය මාර්ග පද්ධතියටද දැඩි බලපෑම් එල්ල වූ බවය.

දුම්රිය මාර්ග නායයෑම් හා ගල් පෙරළීම් 91ක්, බෝක්කුවලට හානි සිදුවීම 38ක්, දුම්රිය මාර්ගවලට ගස් පෙරළීම් 149ක් සහ දුම්රිය පාදම කැඩී යෑම් 177ක් වාර්තා වූ බව ඔහු පැවසීය.

මීට අමතරව ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථාන 27කටද හානි සිදුව තිබේ.

කෙසේ වෙතත් දුම්රිය කාර්ය මණ්ඩල සහ සේවකයින්ගේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මාර්ගය මේ වනවිට විවෘත කර ඇති බව අමාත්‍යාවරයා සඳහන් කළේය.

එමෙන්ම දැනට මහව දක්වා පමණක් සිදුවන දුම්රිය ධාවනය කන්කසන්තුරය දක්වාත්, පුත්තලම මාර්ගයේ නාත්තන්ඩිය දක්වා පමණක් ධාවනය වන දුම්රිය හලාවත දක්වාත් හා මඩකඩලපුව දුම්රිය මාර්ගයන්හි ධාවන කටයුතු ජනවාරි 1 සිට ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මාතලේ හා වත්තේගම අතර කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දැනට වත්තේගම දුම්රිය ස්ථානයේ නවත්වා ඇති දුම්රිය ධාවන කටයුතු සඳහා එක්කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය පෙබරවාරි මස 1වනදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර මහා මාර්ග පද්ධතියේ A හා B මාර්ග කිලෝමීටර 1,450ක ප්‍රමාණයක් මුළු මනින්ම විනාශ වූ බවත් ඔහු පවසයි.

ඉන් කිලෝමීටර 723ක මාර්ග විනාශ වී ඇත්තේ මාධ්‍යම පළාතේ බව සඳහන් කළ ඔහු, සියලු මාර්ග සකස්කිරීමට සඳහා මේ වනවිට රු.බි. 69ක මුදලක් ඇස්සමේන්තු කර ඇති බව ප්‍රකාශ කළේය.

මීට අමතරව ප්‍රධාන පාලම් 18ක් ඇතුළව පාලම් 40ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

එම පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු.බි. 6කට වඩා වැඩි මුදලක් වැයවන බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් සිහි කැඳවීමක්…..

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

‘119’ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද මෙම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලබා දෙමින් එය අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන අතර මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරිම තුලින් මෙම අංකය ඔස්සේ පොලිසියේ සහය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබී යන බව පොලිසීය පවසයි.

එසේම, මෙම 119 ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව පොලිසියේ සහය සෘජුවම අවශ්‍ය නොවන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කර මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නා ලෙසත් මෙම හදිසි ඇමතුම් අංකය අවභාවිතා නොකරන ලෙසත් පොලීසියෙන් දැනුම්දීමක් කර ඇත.

01. Police Emergency Service – 119
02. Ministry Of Child Development and Women’s Affairs (Women Help Line) – 1938
03. Ministry Of Child Development and Women’s Affairs (Child Help Line) – 1929
04. Fire and Rescue Service – 110
05. National Transport Commission – 1955
06. Drug Organized Crime Issues Emergency Notification unit – 1997
07. The Bureau for the Prevention and Investigation of Abuse of Children and women – 109
08. Emergency Call Center (Tamil Medium) – 107
09. Commission to Investigate Allegations of Bribery or Corruption – 1954
10. Expressway Emergency – 1969
11. Department of Immigration and Emigration – 1962
12. National Dangerous Drug Control Board – 1984
13. Sri Lanka Bureau Of foreign Employment – 1989
14. National Help Desk (Ministry of Defance) – 118
15. Disaster Management Call Center – 117
16. Sri Lanka Tourism – 1912
17. Government Information Center – 1919

වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ….

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියේය.

අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට පත්ව ඇති බවට නියගමනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

මිනුවන්ගොඩට තද සුළං…..

මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානි සිදු ව ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සිදුව ඇති නිසා ප්‍රදේශයේ නිවාස හා මාර්ගවලට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ.

මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී ඇත.

ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැහැදිලි කළේ ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ ඇතැම් ළමුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

එම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් නීත්‍යානූකූල ලෙස අදාළ රජ්‍ය ආයතන ඔස්සේ හෝ පොලීසිය හරහා තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි.

එසේ නොමැතිව සද්භාවයෙන් වුවත් අනීතික ලෙස කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“මෙම ආපදා තත්ත්වයෙන් පසුව අපේ පුංචි දුවා දරුවෝ අනාරක්ෂිත තත්ත්වයට පත් වුණ අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. දෙමාපියන්, වැඩිහිටියන්, භාරකරුවන් අහිමි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අතැම් ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය හරහා මේ පුංචි දුවා දරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා වෙලා තියෙනවා. ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙකුට ළමයෙකුගේ හෝ මේ ආපදාවට පත් වෙච්ච දුවා දරුවෙකුගේ තොරතුරු අවශ්‍ය නම් ඔබ ක්‍රියා කළ යුත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා හෝ  ළඟම තිබෙන පොලීසියකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ ග්‍රාම සේවක මහත්ම මහත්මීන්ගෙන් මේ පිළිබඳ විස්තර ලබා ගැනීම මිස ඔබ සමාජ මාධ්‍ය හරහා යම් කිසි දුරකථන අංකයක් හරහා තොරතුරු ලබා ගැනීම යම්කිසි වරදකට වරදකරුවෙකු වෙනවා. ඇතැම් මහජනතාව මේ දරුවන්ව ආරක්ෂා කරන්නට හෝ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන්නට ඔහු හෝ ඇයව සුරක්ෂිත කරන්නට මේ ගනු ලබන උත්සහයන් විටකදී අපයෝජනයක් වෙන්න පුළුවන්. විටකදී සමාජ විරෝධි හෝ අනීතික වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ සද්භාවයෙන් යම් කිසි අවස්ථාවක ප්‍රවේශ වන්නේ නම් ඔබට පුළුවන් ළඟම තිබෙන ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා මේ පිළිබඳ තොරතුරක් ලබා ගන්නට.”

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට මහාධිකරණයෙන් තීන්දුවක්…..

2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් කොළඹ මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියම කර ඇත.

ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළේය.

අදාළ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි පැමිණිලිකරු වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි සෙයිද් මොහොමඩ් මවුලානා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචක විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරව එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2022 දෙසැම්බර් මස 02 වනදා ප්‍රතික්ෂේප කර තිබූ බව තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කිරීමට පෙර විනිසුරුවරයා නිසි මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් අධිකරණ මනසකින් යුතුව ඒ පිළිබඳව සලකා බැලීම අවශ්‍ය බවත් විනිසුරුවරයා පැවසුවේය.

මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීම සදහා සිතාසි නිකුත් කරන්නේද? යන්න තීරණය කිරීමට පෙර චෝදනාවලට සම්බන්ධ වරදේ අංග සහ සාක්ෂිවල ස්වභාවය මහේස්ත්‍රාත්වරයා විසින් සලකා බැලිය යුතු බවත් විනිසුරුවරයා කියා සිටියේය.

එහෙත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව නිසි අධිකරණ මනසකින් සලකා බලා නොමැති බවත් ඔහු පුද්ගලික දැනුම මත මෙම තීන්දුව ලබා දී තිබෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

චෝදනාවල අංග සහ සාක්ෂිවල ස්වභාවය සැලකිල්ලට භාජනය නොකොට මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබෙන මෙම තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව එය තම අධිකණය විසින් ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සලකා බලා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස වර්තමාන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් නියම කළේය.