කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී…..

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණි.

මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි.

කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි….

ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ඊයේ (19) පැවති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා, මෙලෙස අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඒ මහතා වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙම ඇමතුම අතරතුර, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා, ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට  සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්ත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට එවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුගමනය කරන දිගුකාලීන මානුෂීය ප්‍රතිපත්තිය යටතේ, ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථාවලින් පීඩාවට පත් ජාතීන්ට අවශ්‍ය සහාය සහ කඩිනම් සහන ලබා දීම මෙන්ම දිගුකාලීනව යළි යථා තත්වයට පැමිණ වීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම ආධාර ලබාදෙන බවද මෙහිදී සඳහන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අවශ්‍ය සහාය ලබාදීමට තම රට කැප වී ක්‍රියා කරන බවට යළි තහවුරු කළේය.

ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජිතායතනය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සමාජය ඒකාබද්ධව මෙරට කඩිනම් සහන සැපයීමේ මෙහෙයුම් දියත් කළ අතර, ඒ අතරට අබුඩාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදු කරන ලද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ හදිසි නවාතැන් පහසුකම් සැලසීමේ මෙහෙයුම්ද ඇතුළත් වේ.

මෙම ආපදා අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දක්වන ලද කඩිනම් සහාය, අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, එය දෙරට අතර ශක්තිමත් සහ දීර්ඝකාලීන සබඳතාවල පිළිබිඹුවක්ද වේ.

මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….

මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස අදාළ ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ ලිපියක් යොමු කරමින් “මාන් ෆාමසියුටිකල්ස්” නැමැති ඉන්දීය සමාගම දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බව ද අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇති බව අද දෙරණ කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

“මාන් ෆාමසියුටිකල්ස්” ඖෂධ සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන මතභේදයට තුඩුදුන් ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට…..

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකටත් තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී තිබුණි.

එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන්වල පවතින බව වාර්තා වේ.

ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..

ගල් පෙරළීයෑම හේතුවෙන් හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ එම පිරිස මේ වනවිට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවත් ය.

උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….

ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යොදවන බවය.

ඒ අනුව ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය කටයුතු කරන බවත් මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

“සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ ස්ථානාධිපතිවරු ඒ ඒ පොලිස් බලප්‍රදේශයන් හී පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන නායකයින් හමුවී ඉදිරි කාලයේදී පවත්වන්නා වූ සියලුම ආගමික වැඩසටහන් ආරක්ෂාව සැලසීම සඳහා ක්‍රියාකරනු ඇති. 

මේ උත්සව සමයේදී ආගමික ස්ථානවලට යන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ සඳහා අවධානයෙන් සිට යම් සැකකටයුතු පුද්ගලයෙකු සහ සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපළක් පිළබඳව යම් චකිතයක්, සැකයක් ඇති වේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්.

මේ සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගනිමින් මේ උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නයේ රැඳී සිටිනවා සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබේ ආරක්ෂාව සඳහා යොදවා සිටින අතර ශ්‍රී ලංකා පොලීසිය අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2,500කට වඩා අමතර පිරිසක් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙනවා.”

‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 846දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 10දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැදවුම් නියෝග ලබා ගෙන ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 16දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කර ඇති බව ද පොලිසිය පැවසුවේය.

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්….

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ද මේ සඳහා සහභාහී වී තිබේ.

නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බලන ලදී.

වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත්නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී සාධාරණ සහ විනිවිද භාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

මහ කන්නයට ගොවි ජනතාව සූදානම් කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන්දි ලබාදීම සහ බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්හි ක්‍රියාකාරිත්වයද ජනාධිපතිවරයා විමසා බැලීය.

එමෙන්ම හානි වූ සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දෙමින් එම ජනතාවගේ ජීවනෝපාමාර්ග යළි ආරම්භ කිරීම, ආපදවෙන් හානි වූ කුඩා වෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද සාකච්ජා කෙරිණි.

නාකොටික් යාත්‍රා නිරීක්ෂණ තොරතුරු ජාවාරම්කරුවන්ට ගිහින්…..

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත.

මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට ද පත්වී ඇති බවට තොරතුරු ලැබීමත් සමග පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ, විවිධ අයි.පී අංක 57කින් අදාළ පද්ධතියට පුද්ගලයන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බවය.

ඒ අනුව එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශ්වයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංක වෙනස්කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අධ්‍යක්ෂවරයාට පමණක් ලබාදී ඇති බව ද වාර්තා වේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකු ද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුම්වීම් ලබාදී ඇත.

ඒ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සබඳතා පවත්වන බවට ලද තොරතුරුවලට අනුවය.

එමෙන්ම ඔවුන් පසුගිය කාලයේ නිසිපරිදි සිය රාජකාරී ඉටුකර නොමැති බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර ඇත.

ඒ පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසිනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේවනවිට එම කාර්යංශයේ නිලධාරීන් 400ක අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබයි.

ඉන් 20කට අධික පිරිසකගේ වත්කම්බැරකම් වාර්තා ලැබී ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අතර සැකසහිත ලෙස වත්කම් බැරකම් ඇති නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කරන බව ද වාර්තා වේ.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් වුවහොත් දැඩි නීතිමට ක්‍රියාමාර්ග ගන්නා බව ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලුම නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් “Rebuilding Sri Lanka” අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

එමෙන්ම එම බන්ධනාගාර රැඳවියන් ද සිය දින දෙකක දිවා ආහාර වේල සඳහා වෙන්වූ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇත.

එම ද්‍රව්‍යමය සහ මුදල් ආධාර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වෙත නිල වශයෙන් භාර දීම අද (20) එම බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සඳරුවන් පී. බදුගේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී සමන්ත මහානාම, අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය, හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.