මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ඇප…

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නිය කර තිබේ.

රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයාට ලබා දී ඇති බව වාර්තා වේ.

සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය අද (22) පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආදායමක්…

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රු බි 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සඳහා ඍජු සහ වකු බදු ගෙවන්නන් දැක්වූ ආදායකත්වයට රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදාළ නිවේදනය මඟින් ස්තූතියද පුදකර ඇත.

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්….

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් අද දින (22) ‘ඉසුරුපායේ’ දී පැවැත්විණි.

2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය හමුවේ ඉදිරිපත් කරන ලදී.

එහිදී වැඩිදුරටත් පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බවයි.

එහිදී වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙම සාකච්ඡාවේ දී පසුගිය දිනවල සිදු වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා විය.

මේ වන විටත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයේ ඇති පාසල් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, එම ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු විය.

NIRDC යටතේ පළමු කාර්තුවේ තෝරාගත් ව්‍යාපෘති 9කට සහතික පත් පිරිනැමේ…

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකර තිබුණි.

ඒ අනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිලාභීන් වෙත සහතික පත් පිළිගැන්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යන මහත්වරු විසින් සිදු කරන ලදී.

ලංකා බැංකුව මගින් මෙම මුල්‍ය පහසුකම ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරු අතර මෙහිදී අත්සන් තැබිණි.

ගිවිසුම ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන, අයදුම්කරුවන්ගේ ව්‍යාපෘතියට අදාළ කාර්ය සාධක දර්ශක (KPI) අනුව ප්‍රගතිය පරීක්ෂා කරමින් කොටස් වශයෙන් නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව,
1 – විදුලි සංදේශ ආශ්‍රිත ජාලගත ළමා හිතකාමී අන්තර්ජාල පද්ධතිය සහ ඩිජිටල් යහපැවැත්මේ  නව නිර්මාණයක් වන Vx Safenet මෙවලම වෙනුවෙන් සහතික පත්‍රය Visuamatix (Pvt) Ltd සමාගමේ තීක්ෂණ කුමාර මහතා වෙතද,

2 – Fractal Graphene and Activated කාබන් තාක්ෂණය වැනි අති නවීන රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත Volfpack Energy සුපිරි ධාරිත්‍රක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Volfpack Energy (Pvt) Ltd හි සංජීව කරුණාරත්න මහතා වෙතද,

3 – ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, සීනි හෝ මධ්‍යසාර භාවිතයෙන් තොරව කුරුඳු පොතුවල අන්තර්ගත සියලුම අත්‍යවශ්‍ය පෝෂක කොටස්වල ගුණය මනාව සුරැකි Cold Brewed කුරුදු නිස්සාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Pure Cinnamon Exports (Pvt) Ltd හි මුදිත ජයතිලක මහතා වෙතද,

4 – අපනයනය කරනු ලබන පොල් තෙල්වල පිරිසිදු බව රසායනාගාරයකින් බැහැරව ඉතා වේගයෙන් සහ නිවැරදිව පරීක්ෂා කළ හැකි සුවිශේෂී  අධි තාක්ෂණික උපකරණය හඳුන්වාදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආලෝකා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය මහාචාර්ය  ජී.කේ.ඩී.එස්. ජයනෙත්ති මහතා වෙතද

5 – තේ කලාවේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණය ලොව හමුවේ දිග හරින දේශීය අනන්‍යතාවට මුල් තැන දෙන Samanala Farm ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Samanala Farm ආයතනයේ පබසරා මනතුංග මහත්මිය වෙතද,

6 – සිංහල අකුරු ටයිප් කිරීමේ අපහසුව මගහරවා ගනිමින් රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම කර ගැනීමටත්, විශේෂයෙන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ඩිජිටල් ලෝකය සමග බද්ධ කිරීමටත් නිර්මාණය කළ ස්වභාවික හඬින් යුත් AI System (Chatbot) for Sinhala පද්ධතිය වෙනුවෙන්  සහතික පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ආචාර්ය රනිදිල් පුෂ්පානන්ද මහතා වෙතද,

7 – කිතුල් කර්මාන්තයට නව පණක් ලබා දෙමින් සීනි සහිත පාන වෙනුවට ස්වභාවික ගුණය සහිත කිතුල් කෝලා සහ මේද රහිත කිරි නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Planet’s Pick Holdings (Pvt) Ltd වෙනුවෙන් කපිල විජේසේකර මහතා වෙතද,

8 – Flat knit තාක්ෂණය ඔස්සේ අපනයන ඉලක්ක කර ගනිමින් ගලගෙදර, මාතලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල කාන්තාවන් සවිබල ගන්වමින් ඉහළ සමාජයීය බලපෑමක් ඇති කරන TDR Knitting ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය TDR Knitting (Pvt) Ltd හි ලක්මාලි වනසිංහ මහත්මිය වෙතද

9 – රසායනික පොහොර භාවිතය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගනිමින් පසෙහි වෙසෙන ස්වභාවික ක්ෂද්‍ර ජීවින් සක්‍රීය කිරීම මගින් ඉහළ අස්වැන්නක් ලබා දෙන “Magic-grow” පාංශු සක්‍රීයකාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Wasala Agro ආයතනයේ වාසල සිරිවර්ධන මහතා වෙතද භාර දෙන ලදී.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම්  ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ පර්යේෂණ සොයා ගැනීම් වාණිජකරණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව මානයක් එක් කෙරෙන බවත්, එබැවින් සංවර්ධනය සහ ආර්ථික වශයෙන් මෙම අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත්ය.

මෙම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් ලැබූ සියලු ව්‍යාපෘතිලාභීන් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා මෙහිදී  සිය සුබපැතුම් එක් කළේය.

අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව….

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු අද (22) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඒ ඔහු සේවය කරන ආයතන පරිශ්‍රය තුළදීය.

ඝාතනය පිටුපස පාතාල සබඳතාවක් ඇතැයි විමර්ශකයින් සැක පළකරන අතර මියගිය තැනැත්තා සමගි ජන බලවේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් තරගවැදුණු අපේක්ෂකයෙකි.

අද පෙරවරු 8.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර අදාළ සිද්ධිය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එහි දැක්වුණේ වෙඩික්කරුවකු පැමිණ එහි සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට උත්සාහ දරන ආකාරයයි.

නමුත් එහිදී ඔහුගේ පිස්තෝලය ක්‍රියාත්මක නොවන අතර උත්සාහය ව්‍යර්ථ වූ වෙඩික්කරු එම ස්ථානයෙන් පලාගොස් තිබුණි.

වෙඩිල්ලේ ඉලක්කය වූ තැනැත්තා එහිදී වෙඩික්කරු හඹා ගොස් ඇත.

නමුත් ඉතා සුළු කාලයකදී වෙනත් රිවෝල්වරයක් රැගෙන යළි පැමිණෙන වෙඩික්කරු සිය ඉලක්කය වූ පුද්ගලයාට  වෙඩිතබයි.

වෙඩික්කරු පලායන අතර වෙඩි පහර කෑ තැනැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය, එහි පැදිකරු අපරාධයෙන් පසු අතුරු මාර්ගයක ධාවනය කරන අයුරු cctv කැමරාවල සටහන්ව තිබුණි.

අනතුරුව ඔහු එම යතුරුපැදිය ආඳාගල ප්‍රදේශයේදී දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රීරන් කෝසල ද සිල්වා නැමැත්තෙකි.

අම්බලන්ගොඩ විද්‍යාල මාවතේ පදිංචිකරුවෙක් වන ඔහු සමගි ජන බලවේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් තරගවැද ඇති බව ද පොලීසිය පවසයි.

මියගිය තැනැත්තා 2014 සහ 2015 වසරවලදී සිදු වූ පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ යැයි විමර්ශනවලදී හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මින් පෙර අවස්ථාවක එම පුද්ගලයා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා පාතාල කල්ලි නායක සමයං නැමැත්තා ඝාතන සිද්ධියට අදාළව ද ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට පත්වූවෙක් බවත් විමර්ශකයන් සඳහන් කළේය.

එහිදී ඔහු තුවාල ලැබූ අපරාධකරුවන් සඟවාගෙන ප්‍රතිකාර සිදුකර ඇති බවත් සඳහන්ය.

අද සිදුවූ ඝාතනයෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය අස්ථානගතව ඇති අතර ඒ පිළිබඳ ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදුකළ සොයාබැලීමේදී එය මරණකරුගේ ඥාතියෙකු සඟවාගෙන සිටියදී සොයාගෙන තිබුණි.

එම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඝාතනය වූ ශ්‍රීරන් කෝසල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නම් අපරාධකරු සමග ඊයේ රාත්‍රියේත් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවය.

ලොකු පැටී සමග පමණක් නොව ඔහුගේ ප්‍රධාතම ප්‍රතිවාදියා වන කරන්දෙණියේ සුද්දා සමග ද මෙම පුද්ගලයා සබඳතා පවත්වා ඇති බවත් සඳහන්ය.

එමෙන්ම ඔහු කොස්ගොඩ සුජී හා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ ඉන්දික වැනි අපරාධකරුවන් සමගත් සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

පොලීසිය පැවසුවේ මොහු එම අපරාධකරුවන්ගේ මුදල් පාලනය කර ඇතැයි ද තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව ඔහුගේ ඝාතනය කුමන පාර්ශ්වයකින් මෙහෙයවූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීම අපහසු කරුණක් බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන්, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොල්ස් අධිකාරී ලකී රන්දෙණිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ මෙහෙයවීම දිගින් දිගමට සිදුකරන බවය.

ඔහු පැවසුවේ ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කළ ද මේ දක්වා ඔවුන් මෙය පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ එම තත්ත්වය හේතුවෙන් අපරාධකරුවන් මෙලෙස සිය ක්‍රියා සිදුකරන බවය.

මෙම වෙඩි තැබීමත් සමග මෙම වසර ආරම්භයේ සිට අද දක්වා වෙඩි තැබීම් 111ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 55 දෙනෙකු තුවාල ලබා තිබේ.

රතු නිවේදන දුන්නත් විසඳුම් නොදුන් බවට උඩපලාතේ වැසියන්ගෙන් රජයට චෝදනා…..

ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩගම, ඉහළගම දුනුකේඋල්ල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් අටක ජීවත් වන 15,000ක පමණ ජනතාවට නායයාමේ රතු නිවේදන පමණක් ලබාදී නාය යෑමට හසු වූ පවුල්වලට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඔවුහු මහත් අසිරුතාවට පත්ව සිටියි.

තම නිවෙස්වලට යෑමට නිසි ක්‍රමවේදයක් අනුව පරීක්ෂණයක් සිදුකර නොතිබීමෙන් මෙලෙස තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් එම පිරිස අද (22) උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත විය.

පසුගිය 27 වනදා ඇති වු නායයාම් හේතුවෙන් ගමට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිට ගම්මාන පුරා කිලෝමීටර ගණනාවක් ඈතට පැළුම් ඇති වී තිබේ.

මේ වනවිට ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ නිසි වාර්තාවක් ලබාදීමට භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ හෝ ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පැමිණ නැති බැවින් ඒ සම්බන්ධයෙන් උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට කරුණු ඉදිරිපත් කළත් ඇය කිසිදු අවධානයක් ඒ සම්බන්ධයෙන් ගෙන නැතැයි විරෝධතාකරුවන් චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්, ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගෙන් විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, මෙම පිරිස තමා හමුවට පැමිණි අවස්ථාවේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන්ටද ඇසෙන්නට සලස්වා මෙහි කරුණු අවබෝධ කරදුන් බවය.

ඒ අනුව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් අදාළ වාර්තාව හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසා තිබේ.

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි….

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකු සමූහය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.

මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත.

එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.

මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇත.

පන්විල බය කළ කොල්ල කල්ලියක් මාට්ටු….

පන්විල පොලිස් වසමේ හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලක් කොල්ලකෑම සඳහා පැමිණ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි මංකොල්ල කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ කළු මුහුණු ආවරණ, ප්ලාස්ටින් අත් මංචු, මිටි, අඬු, සෙල්ලම් පිස්තෝල සහ මැගසින් සමඟ පන්විල පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද රහසිගත තොරතුරක් මත අදාළ කල්ලිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් රක්වාන,  දික්ඔය සහ බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ බවත් අධිකරණයේ නඩු සහ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු කිහිපයක් ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරුවන් අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන අය වේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල, සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ති ලොකුගේ යන නිලධාරින්ගේ මෙහෙය වීමෙන්, පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නුගේගොඩ වෙඩි තැබීමක්…..

අද (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.

අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සහ කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්….

දිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බවය.

“සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් තියෙනවා. හාල් හිඟයක් තියෙනවා. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නැත. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ අද අපිට විසි පන්දාහ හම්බුනා කිව්වා.” 

“මම පෙරේදා හිටියේ රාජාංගනයේ. එක ගොවියෙක් කිව්වා. මට දෙලක්ෂ හැත්ත තුන් දහසක් හම්බවුණා කිව්වා. මගේ කුඹුර පැහුණා නම්, මට වී විකුණලා දෙලක්ෂ හැත්ත තුන්දාහක ලාභයක් ගැන හිතන්නවත් බැහැ කිව්වා. ඊට වැඩි මුදලක් මට හම්බෙලා තියෙනවා කිව්වා. ඊළඟ ඒගොල්ලන්ට හිතාගන්න බැරි වන්දි ගොඩක් හම්බෙනවා නේ.”

“ගේ ගහගෙන ගියා නම්, එයාට වෙනම ගෙට සල්ලි. එයාගේ කුඹුරට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ එළවළු කොටුවට හානි වෙනවා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ කුකුල් කොටුවට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ හරක් ගාලට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාට පොඩි කඩයක් තිබුණා නම් ඒකට හානි වුණා නම් ඒකට සල්ලි. එයා කොහු කර්මාන්තයක් හරි මොනවා හරි පොඩි කර්මාන්තයක් කෙරුවා නම් ඒකටත් සල්ලි.” 

“දැන් එක ම එක්කෙනාට හානි ගොඩක් වෙනකොට ඒ හැම එකකටම සල්ලි හම්බෙනවා. එතකොට ඒ හම්බෙන්නෙත් පට්ට ගණන්නේ හම්බෙන්නේ. විපක්ෂය බලාපොරොත්තු වුනේ ඕකේ අනිත් පැත්තනේ.”