නීති විරෝධී ගිණීවියක් හක්කපටස් හා මදු සමඟ සැකකරුවන් තිදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට….

හොරොව්පතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර නිලධාරීන් අද(30) හොරොව්පොතාන ප්‍රෙද්ශයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක්, හක්ක පටස් දෙකක් හා කේබල් මදු සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව හොරොව්පොතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී හොරොව්පොතාන ආනඔලොන්දෑව වන රක්ෂීතයට අයත් බව කියන බැඳපුවැව ප්‍රෙද්ශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වන රක්ෂීතයට අයත් බව කියන ප්‍රෙද්ශයක පිහිටි කුඹුරු යායක දී එම ගිණී අවිය ඇතුළු දෑ සොයා ගත් බව වනජීවී නිලදාරීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හක්ක පටස් හා කේබල් කම්බි වලින් සැකසූ මදු දෙකක් හා සඟවා තිබූ ගිණී අවිය ඇතුළු දෑ සොයා ගෙන තිබේ.
වන අලි තර්ජනය බහුල වශයෙන් ඇති ප්‍රෙද්ශයක් බවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රෙද්ශය හඳුනාගෙන ඇති බවත්, හක්කපටස් හේතුවෙන් සිදුවන වන අලි මරණ මෙන්ම වන අලින්ට සිදුකරන වෙඩිතැබීම් ආදිය ද හොරොව්පොතාන ප්‍රෙද්ශයෙන් ඉකුත් සමයේ වරින් වර වාර්තා වී ඇති බවත් වනජීවී නිලධාරිහු පෙන්වා දෙති.
මෙරට නිෂ්පාදික නීති විරෝධී ගිණී අවිය හා හක්කපටස් මෙන්ම කේබල්වලින් සැකසූ මදු දෙකක් ද සමඟ මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රෙද්ශයේ හා නොච්චියාගම දුනුදඹුවැව ප්‍රෙද්ශවල පදිංචිකරුවෝ බව වනජීවී නිලධාරීහු පවසති. අත්අඩංගුවටපත් එම සැකකරුවන් අවුරුදු 38, 30 හා 26 යන වයස් වල පසුවන්නෝ වෙති.

කැකිරාව කුෂාන් ජයවර්ධන

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි.  තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට එරෙහිව පෙත්සමක්…..

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිණියක්වන අමානි රිෂාඩ් හමිඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

නීතීඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී ඇත.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

සුදත්ත තිලකසිරිට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්….

හිටපු අමාත‍ය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින් සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා පෙනී සිටියා. නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යලි කැදවීමට නියමිතයි.

ආසන පටි නීතිය දැඩි වෙයි…..

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ඔහු සඳහන් කර සිටියේ, එම නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2,350 මැරෙනවා අවුරුද්දකට. තව 6,000 විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා. දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ නැතුව. 

ඒ නිසා අපි 2,300ක් මැරෙන එක 2,000කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් 30 දාලා තියෙනවා සියලුම අධිවේගී මාර්ගවලට. මට මතක විදියට අපි කියනවා සීට් බෙල්ට් දාන එක මගීන්ට. මොකද ගොඩක් බස්වල අනිවාර්යෙන්ම සීට් බෙල්ට් තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා එක්කො තහනම් කරනවා බස්. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”

එම කමිටුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අර්බුදවලට එහි ප්‍රධානීන් වගකිව යුතු බවය.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්…

ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා,  ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවය.

එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙත්සම්කරුවන් පවසයි.

ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මන්ත්‍රී රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජූලි 19 වෙනිදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා වන අතර ඔහු මේ වනවිට ඇප මත මුදාහැර තිබේ.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලීසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවත්ය.

ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවනවරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ පුත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවය.

කුරුළු උයනේ හිමිකරුට ඇප

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදාහැර තිබේ.

ඒ අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම පුද්ගලයා මුදාහැර තිබේ.

ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට හිටපු ජනපති ගෝඨාභය සුදානම්……

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් ‘කෝපුස් නඩුකරයට’ අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ, මෙම ඉල්ලීම අද සිට සති හතරක් තුළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළේය.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

2011 වසරේ දෙසැම්බර් මස 9 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ දී එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණි.

ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම විභාග කළ අභියාචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය…

ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වෙයි…

ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (29) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්ථා වෙයිමෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.මරණකරු ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමුව ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලදී.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි