හලාවතින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්…..

ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

මෙම ධීවරයින් දෙදෙනා අද (19) අලුයම 2ට පමණ එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර මොවුන් ගිය ධීවර යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් විසින් දැක එය ගොඩබිමට දැනුම් දී ඇත.

මෙම දැනුම්දීමෙන් අනතුරුව මෙම ධීවරයින් සෙවීම මේ වන විට ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත වැල්ල කරුස පාඩුව පදිංචි 40 සහ 44 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.

ඔවුන් මුහුදු ගිය ධීවර යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන විත් ඇති අතර සිද්ධිය පිළිබඳව හලාවත වැල්ල ධීවර සමිතිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට හා ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදුකර ඇත.

දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය…..

දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා අද (19) උදෑසන කටයුතු කර තිබේ.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර අසාධ්‍ය වූ ධීවරයාව නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කර තිබේ.

‍ගාල්ල ධීවර වරායෙන් පසුගිය දෙසැම්බර් 25 වනදා ධීවරයින් හත්දෙනෙකු රැගත් ‘සිනූෂ’නැමති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, නාවික සැතපුම් 474ක් දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි එහි සිටි ධීවරයෙකු තදබල පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත.

එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම්දීමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දුරකථන මඟින් රෝගියාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දී, රෝගියා ආසන්නතම ධීවර වරායක් වෙත රැගෙන ඒමට දැනුම්දී, එම රෝගියා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කර ඇත.

ඒ අනුව, අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයාගේ දිවි බේරා ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට…..

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ඒ අනුව, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ක්ලවුඩ් යටිතල පහසුකම් මධ්‍යස්ථානය පිහිටු වීම, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහන, Single window (තනි කවුළු) පහසුකම් ලබා දීම, ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමේ ව්‍යාපෘතිය සහ දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය සඳහා වූ ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සැලසුම් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහෝමයක් අවිධිමත් ක්ෂේත්‍ර ලෙස පවතින අතර එම කටයුතු විධිමත්ව ලේඛනගත කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි ආර්ථික සහ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එය අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

එමෙන්ම,  ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය  සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්ද මෙහිදී විමසා බැලිණි.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කෙරුණු GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා – බිමල් රත්නායක…..

හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ‘බාලදක්‍ෂ මාවත’ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයනවා.

කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්. 

එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා. මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිමකරන්න සැලසුම් කර තිබූ එකක්.
නමුත් ආර්ථික අර්බුදය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා. පොලිස්පතිතුමා සමඟ අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකි වුණා.

රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා. මේ ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කිරීම ජනතාවට විශාල පහසුවක් වගේම ප්‍රයෝජනයක්. 

මෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට සහයෝගය ලබාදුන් පොලිස් දෙපාර්තමේන්තුවටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පළ කරනවා.”

හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්….

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 16 වනදා දක්වා කල් තබා තිබේ.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්…..

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළේය.

ඒ සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලීසිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

ත්‍රි‍කුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩුව ඉකුත් ජනවාරි 14 වනදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි සැකකරුවන් 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

එහිදි ත්‍රිකුණාමලය පොලීසිය සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවරස ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබූ අතර පසුව එය තාවකාලිකව නවතා තිබුණි.

එවන් පසුබිමක අදාළ නඩුව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීය.

එහිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටී භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 09 දෙනා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර තවත් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

එහිදි සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය නියෝජනය කරමින් සැකකාර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කියා සිටියේ ප්‍රශ්නගත බුදු පිළිම සිදුවීමට අදාළව මුල් අවස්ථාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප දිය හැකි චෝදනා ඉදිරිපත් කර තිබුණද, පසුව ද්වේශ සහගත ලෙස ඇප ලබාදීමේ බලය නොමැති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

කෙසේ වෙතත් පෙර නඩුවාරයේ නීතිපතිවරයා කළ යෝජනාව වූ ප්‍රශ්නගත බුදුපිළිමයේ ආවරණය ලෙස පවතින ඉදිකිරීම ඉවත් කරන්නේනම් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත් කළ හැකි බවට වූ මතය අනුව යමින් එම ආවරණය ඉවත් කිරීමට තමන් සූදානම් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේය.

එබැවින් වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනා ඉවත්කර සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදි ත්‍රිකුණාමලය වරාය පොලීසිය ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ තමන්ට එරෙහිව ඉහළ අධිකරණ හමුවේ ගොනුකර ඇති රිට් සහ මූලික අයිතිවාසිකම් නඩු ඉවත්කර ගන්නාතුරු සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉවත්කරගත නොහැකි බවය.

එහිදී රජයේ නීතිඥවරයාද කියා සිටියේ අදාළ රිට් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුකර පිළිබඳ තමන් වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා සැකකාර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්දෙනා සහ සෙසු සැකකරුවන් හයදෙනා ජනවාරි 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි…..

ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (19) දින පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.

2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි නොසන්සුතාවක් නිර්මාණය වූ බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් තමන් විසින් සිදු කිරීමට යෝජිත වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙයි.

පියාට නින්ද ගොස් බිලිඳිය දෑතින් වැටී මිය ගිහින්……

පියෙකු තුරුලේ නැලවෙමින් සිටි බිලිඳියක් පියාට නින්දයෑම හේතුවෙන් ඔහුගේ දෑතින් වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් බිලිඳිය මියයෑමේ සිද්ධියක් අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි රුසේලි කෙයාශා නම් මාස දෙකහමාරක් වයසැති බිලිඳියකි.

ඒ අනුව බිලිඳියගේ පියාව අළුබෝමුල්ල පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිලිඳිය මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුවී ඇත්තේ හිසේ දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් සිරවීම බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මරණ පරීක්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර බිලිඳියගේ මව හා පියා කැඳවා ඒ සම්බන්ධයෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්ය.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතරවාරයේ දී මියගිය දැරියගේ පියා පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පසුගිය 06 වනදා තමන් රාත්‍රී වැඩමුරය අවසන් කර 07 වනදා උදෑසන 06.15 ට පමණ නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී දියණිය කාමරයේ ඇඳ මත තනිව සිටි බව දැක දරුවා අතට ගෙන මුළුතැන්ගෙට ගොස් පසුව නිවසේ ඉදිරිපස පුටුවක් මත වාඩිවූ බවය.

මඳ වේලාවකින් දරුවා හඬන්නට වු බැවින් තමන් පුටුවෙන් නැගිට දියණිය අතට ගෙන ඇවිදිමින් ඇය නැලවූ බවත් එම අවස්ථාවේදී නොදැනීම තමන්ට නින්ද ගොස් දියණිය තම අතින් ගිලිහි බිම වැටි ඇති බවත් තමන් එකවරම අවදි වුයේ දියණියගේ හැඬීමේ ශබ්දයට බවත් පියා පොලීසියට පවසා ඇත.

පසුව අසල්වැසියෙකුට කතා කර දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියබවත් අනතුරුව දරුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ළමා රෝහල වෙත එදිනම මාරුකර යැවූ බවත් එයින් දින තුනකට පසු දරුවා මියගිය බවත් තමාට ඇතිවූ බිය නිසා නිවසේදී සිදුවූ අනතුර කිසිවෙකුටත් නොකී බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ…..

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්…..

ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් හා මරණකරුගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර රියදුරාට නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

2017 වසරේ ජූලි මස 8වනදා ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ අදාළ ලංගම රියදුරාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අදාළ චෝදනා සඳහා විත්තිකරු වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, දඩ සහ වන්දි නියම කර තිබේ.

එමෙන්ම විත්තිකාර ලංගම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.