ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි…..

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 65 වැනි වියේ පසුවිය.

මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත මෙරට ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් USD 10,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

දේශය ගොඩනැගීමට සහාය දක්වන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලොව පුරා වෙසෙන තම සැපයුම්කරුවන් ගෙන්  සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ආධාරය ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇත.

ඊට අදාළ චෙක්පත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ කලමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර යන මහත්වරු විසින් පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වන ලදී.

පාතාලයේ දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයේදී කොටුවෙයි….

පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තාද සිටින බවත් වාර්තා වේ.

එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක්වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු ද ඒ අතර වන බවද පොලිසිය පැවසුවේය.

එමෙන්ම මෙහිදී වංචා රැසකට සම්බන්ධව සිටින කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට පොලිසියට අවශ්‍යව සිටින සැකකාරියක බවද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් රැගෙන ඒමට කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඩුබායි රාජ්‍ය බලා මේ වන විට පිටවගොස් තිබේ.

එමෙන්ම කොණ්ඩ රංජි නැමැත්තා ද සිය අත්අඩංගුවේ පසුවන බව ඩුබායි රාජ්‍ය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවත් ඒ අනුව ඔහුව ද කඩිනමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවත් පොලසිය සඳහන් කළේය.

IMF දූත පිරිසක් එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට…….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි.

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව ඇය පැවසීය.

මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ…

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් ‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.

‘මන්නාරම වින්ඩ්ස්කේප්’ සුළං විදුලි ව්‍යාපෘතිය යටතේ මෙරට බලශක්ති ඉතිහාසයේ පළමු වතාවට, එක් ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 05 ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින 04ක් බලගැන්වේ.‍

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5 (5 MW) ධාරිතාවෙන් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර පූර්ණ දේශීය සමාගමක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

සුළං විදුලි බලාගාරය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා ටර්බයින ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවටද එක් විය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කාම් ඉල්යාස් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද,   ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන්,  ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශර්ලි කුමාර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුද, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරියට කල්යයි…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි.

එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

පසුව 2023 වසරේ ජූලි 28 වන දින සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 37දෙනා දැඩි ඇප කොන්දේසි හමුවේ ඇප මත මුදාහැරුණි.

ඉන් අනතුරුව 2024 වසරේ පෙබරවාරි 12 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගක් නිකුත් කළේය.

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග….

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණි.

ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා….

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව එම පළාතේ ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේදී පවත්වන ලදී.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාර්යයන් කිහිපයක් කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත.

පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙම මෙහෙයමු යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 69,960ක් සිදු කර තිබේ.

එහිදී සැකකරුවන් 69,318ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1,446කි.

සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට පත්ව මේ වන විට පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රාජ්‍ය සේවකයින්ගේ උත්සව අතිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ….

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

ඊයේ (13) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම අතිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා  වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය.

රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට මේ වනවිට හැකියාව පවතී.

එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අයකර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත.

එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/-ක් දක්වා වැඩි කිරීමට 2026 අයවැය මඟින් යෝජනා කර තිබුණු අතර ඒ සඳහා වූ චක්‍රලේඛය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් බස් රථය ධාවනය කළ රියදුරු යළි රිමාන්ඩ්…..

අධික වැසි හේතුවෙන් රටපුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 ක් රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම පෞද්ගලික බස් රථයේ රියදුරා ජනවාරි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නොච්චියාගම මහෙස්ත්‍රාත් පී. ආර්. අයි. ජමීල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.

සැකකාර රියදුරාට එරෙහිව පොලීසිය එල්ල කර ඇති මිනි මැරුම් චෝදනා සහ මිනි මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරුගේ නීතීඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, එම චෝදනා යටතේම නඩුව පවත්වා ගෙන යෑමට ද තීන්දු කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගර ගතකර ඇත්තේ සාලියවැව ඉහළ පුලියන්කුලම බලගොල්ලාගම ලියද්දේ ගෙදර ධනෂ්ක කුමාරසිංහ නැමති බස් රථයේ රියදුරෙකි.

මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියදුරාට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියදුරාට එරෙහිව මෙම නඩුව පැමිණිල්ල විසින් පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයට කියාසිටියේ මෙම සිද්ධි දාමයට අදාළ කිසිවක් මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමේ චේතනාවකින් සිදුව නොමැති බවය.

ඒ අනුව සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවද ප්‍රකාශ කල නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අයැද සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කළ සියලු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

නීතිඥවරුන්ගේ එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කල මහෙස්ත්‍රාත්වරයා මිනී මැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව සැකකරුට එරෙහිව පවත්වා ගෙන යාමට තීන්දු කර තිබේ.

නීතිඥයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ සැකකරුට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් කල හැකි බවය.

පැමිණිල්ල වෙනුවෙන් රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ උපදෙස් මත සැරයන්වරුන් වන (28004) තිලක් සහ (71992) දිසානායක යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ දුෂාන්තිකා දිසානායක මහත්මිය පෙනී සිටියේය.

එමෙන්ම, අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.