විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගනී….

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ඒකල ප්‍රදේශයේ මාර්ගයක සඟවා තිබියදී ජාඇල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒකල පන්සල පාරේ මෙය සඟවා තිබී ඇති අතර, එය ඉටි කවරයකින් ඔතා තිබූ බව පොලීසිය පවසයි.

අදාළ රිවෝල්වරය ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කිරීමට තවත් පුද්ගලයකුට රැගෙන යාම සඳහා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

පොලිස් භාරයට ගත් රිවෝල්වරයේ හිමිකාරීත්වය හා එයින් සිදුකිරීමට උත්සහ කළ අපරාධය කුමක් ද යන්න සම්බන්ධයෙන් ජා-ඇල පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි….

ලෝකය  තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයකින් ලොවට කිසිදු ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරටට අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව මනාවට තේරුම් ගැනීමට හැකි වූ බවය.

සංවර්ධනය, තාක්ෂණය ලෙස මොනයම් දෙයක් ගැන කතා කළද, ස්වභාවධර්මය සමග ගැටෙන්නට ගිය විට අප තෙතරම් කුඩාද යන්න අවබෝධකර ගත හැකි බව ඇය පැහැදිලි කළාය.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ  අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ඨයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 36.1ක් වැය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“ජනාධිපති අරමුදලේ කාර්යභාරය ගැන ඔබ කවුරුත් දන්නවා. ජනතාවට අයිති අරමුදල ඔබට තවදුරටත් සමීප කරවීමට අප කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත උසස් පෙළ විශිෂ්ටයන්ට යම් දිරි ගැන්වීමක් ලෙස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ වගේම උසස් පෙළ සෑම විෂය ධාරාවකින්ම ඉහළින්ම ලකුණු ලැබූ සිසුසිසුවියන්ට තමන් කැමති විදේශීය විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද තීන්දු කර තිබෙනවා. 

මේ සඳහා අයැදුම් කරන ලෙසට ඔබ සියලු දෙනාට මා යෝජනා කර සිටිනවා. අප මානව සම්පත දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකයේ සංකීර්ණත්වය තේරුම් ගෙන මානව සම්පත බිහි කළ යුතුයි. ඒ මානව සම්පත බිහි කිරීමට රජයක් විදිහට ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්. ඒ වෙනුවෙන් 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනුම අතින් පමණක් නොව, සෑම අතින්ම දක්ෂ පුරපුරක් අපට අවශ්‍යයි. 

විභාග සමත් වීම පමණක් අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය මේ රටට, ලෝකයට අවශ්‍ය  හොඳ පුරවැසියෙක් බිහි කිරීමයි. ලෝකය  තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නැහැ. අපිට ළඟඳීම අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව හොඳටම තේරුම් ගත්තා. අපි සංවර්ධනය, තාක්ෂණය මේ මොන දෙයක් ගැන කතා කළත්, ස්වභාවධර්මය සමඟ හැප්පෙන්න ගියාම අපි කොතරම් පුංචිද කියන එක තේරුම් ගන්න පුළුවන්. 

අපිට මේ සුළි සුළඟ විශාල පාඩමක් උගන්වා තිබෙනවා. මනුෂත්වය ස්වභාවධර්මය අමතක කර සංවර්ධනයක් ගැන හිතන්න බැහැ. ඒ පාඩම අප ඉගෙන ගත යුතුයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන, නායකත්වයක් තිබෙන, අනෙකා ගැන හැඟීමක් තිබෙන, වගකීමක් භාරගත හැකි මානව සම්පතක් බිහි කිරීම අපිට අවශ්‍යයි. 

ඔබට මේ කරන ඇගයීම තුළින් දෙයක් තේරුම්ගත යුතුයි. මේ කරන්නේ ඔබේ, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙමඟින් ඔබ අපට වටින බව පෙන්නුම් කරනවා. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ තනිවම නොවෙයි. හොඳ පවුල් පරිසරයක් ඔබට තිබෙනවා. ඔබට හොඳ ගුරුවරුන් මුණගැසෙන්න ඇති. ඔබට අවශ්‍යම තැන්වල හරි මඟ පෙන්වූ නෑදෑයන්, ගුරුවරුන්, මිතුරන් ඉන්න ඇති. ඒ සියලු වරප්‍රසාද සමඟ තමයි ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වී තිබෙනවා. ඒ මැදිහත්වීම කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව කිව යුතුයි. ඔබ මෙතැනට ගෙන එන්න විශාල ව්‍යුහයක්, කණ්ඩායමක් මැදිහත් වී තිබෙනවා. එනිසා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට වගකීමක් තිබෙනවා.”

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට….

බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව සමනලවැව පොලීසිය පවසයි.

නිවස ආසන්නයේ ඇති ඉඩමක තිබී මෙම තුවක්කුව පත්තු වී ඇති අතර එහිදී අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බව සඳහන් වේ.

මෙම පුද්ගලයා ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සමනලවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….

Ritz Carlton ජාලයට අයත් අති සුඛෝපභෝගී නෞකාවක් මගින් 400ක් රැගෙන අද (14) කොළඹ වරායේ මගී නෞකා අංගනයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම්කිසි අභියෝගයකට මුහුණ දී තිබුණු පසුබිමක මෙවැනි විශාල මගී නෞකාවක් මෙරටට පැමිණීම සංචාර කර්මාන්තයට මහත් පිටිවහලක් බව මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දින දෙකක් පුරා මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර හෙට දිනයේදී ගාල්ලට පැමිණීමට නියමිතය.

මෙහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ නිරීක්ෂණයකට ද එක්විය.

එහිදී සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරිණි.

සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….

මෙරට මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානයක් හා ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව ගොස් තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරටට බලපෑ අපදා තත්ත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා  පසුගිය 07 වනදා අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.

එම ගුවන් යානා කටුනායක හා රත්මලාන ගුවන් හමුදා කඳවුරු වල සිට යාපනය, මත්තල, අම්පාර, අනුරාධපුරය යන ප්‍රදේශ වලට ගුවන් හෙහෙයුම් සිදු කරමින් ආපදාවට පත්ව සිටි ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරමින් දැවැන්ත මානුෂීය මෙහෙයුමක් සිදුකළ අතර අද (14) ඉන් එක් ගුවන් යානයක් සහ  සහන සේවා කණ්ඩායමක් සමග දිවයිනෙන් පිටව ගොස් තිබේ.

තවද, ඉන්දීය ගුවන් හමුදාවේ (MI-17) හෙලිකොප්ටර් යානා දෙකක් මගින් අත්‍යවශ්‍ය සහන සැපයුම් ගුවනින් ප්‍රවාහනය, පීඩාවට පත් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ඇතුළු වැදගත් මානුෂීය ගුවන් මෙහෙයුම් සිදු කර දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

එමෙන්ම පසුගිය 08 වනදා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් ද මෙහෙයුම් කටයුතු අවසන් කර අද (14) දින දිවයිනෙක් පිටව ගොස් ඇත.

මෙරට මුහුණ දුන් මෙම ව්‍යසනය හමුවේ ලබා දුන් මෙම ගුවන් සහයෝගය ජන ජීවිත යථාතත්වයට පත් කිරීම සඳහා මහත් පිටුවහලක් විය.

මෙහෙයුම පුරාවට කැපවූ සේවය සහ සමීප සහයෝගීතාවය වෙනුවෙන් අමෙරිකානු හා ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි කෘතඥතාව පළ කිරීමට මෙන්ම සහන සේවා කණ්ඩායම් වලට සමුදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා සහ ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට….

මහනුවර – ගොහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවා අද (14) අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවය.

මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ (13) බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහර දී තිබුණි.

ඊට අදාළ වීඩියෝ පටයක් ද අයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර එම වීඩියෝ පටයද සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කෙරේ….

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක අද (14) අලුයම පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.

කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයක් අදාළ කාන්දුව සිදුව ඇති අතර, ඒ හේතුවෙන් බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක පමණ ප්‍රමාණයක් මුහුදු ජලය සමග මිශ්‍ර වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික සහ ගුවන් හමුදාවේද සහාය ඇතිව මුහුදු ජලයට මිශ්‍ර වු බොරතෙල් ඉවත්කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

‘බටු මීයා’ගේ බිරිඳ සහ තවත් තිදෙනෙකු පොළොන්නරුවේ දී අත්අඩංගුවට…..

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුසවිතාන නමැත්තා ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයේ පසුගියදා අත්අඩංගුවට ගත් ‘බටු මීයා’ නම් සැකකරුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් පිරිස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව ඇත.

මෙහෙයුම් අවසන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයින්….

” දිට්වා ” සුළි කුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කර තිබේ.

ඒ අනුව, එම භටයන්ගෙන් පිරිසක් ඒ සඳහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් රැගෙන අද (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක්, විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම, මෙම මෙහෙයුම් සඳහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියහ.

පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට…

මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්.

මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.