ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……

අලුත්ගම, ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී අද (10) පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරදාන සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල සීග්‍රාමී දුම්රියේ, මෙම ත්‍රිරෝද රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය දර්ගා නගරයේ සිට අලුත්ගම දෙසට ධාවනය කර ඇති අතර, දුම්රිය මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……

ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කළේය.

මේ යටතේ ගාල්ල නගර මධ්‍යයේ පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය.

විධිමත් නගර සැලැස්මක් තුළ ගාල්ල නගරය සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නගරය සැලසුම් කිරීම, රාජ්‍ය ආයතන ගාල්ල කොටුවෙන් පිටත ස්ථාපනය,  ගොඩනැගිලි, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීම හා භූමිය උපරිම ඵලදායීතාවකින් සංවර්ධනය සඳහා යොදා ගැනීමේදී සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරිමේ වැදගත්කම අවධාරණය කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරියට සුවි‌ශේෂී වගකීමක් පැවරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ආයෝජන ගෙන්වා ගැනීම සහ නව ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජනතාවට වඩා පහසුවෙන් සේවා ලබා ගත හැකි අන්දමින් ගාල්ල නගරයේ සියලු රජයේ කාර්යාල එක් පරිපාලන ගොඩනැගිල්ලකට ගෙන ඒම සහ දැනට පවතින සෞන්දර්ය පාසල සංවර්ධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සලේ සම්බන්ධයෙන් අද කැඳවූ නඩු විභාගයේ සාරාංශය…..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, රැදවුම් භාරයේ සිටියදී වධහිංසාවට පත්ව ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (10) යළි කැඳවිණි.

එහිදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, සම්පූර්ණ නියෝගය පිටු 17කින් සමන්විත බවය.

“පූර්වගාමී මහෙස්ත්‍රාත්තුමා අප්‍රෙල් 22 වැනිදා ලබාදී ඇති නියෝගය 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9 (ආ) (3) වගන්තියෙන් මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට වන පදනමේ සිට ලබාදී ඇති බව විත්තියේ ලිඛිත දේශනයේ සඳහන් කර තිබෙනවා. 

නමුත් කරුණු සලකා බැලීමේදී පෙනී යනවා එම නියෝගය සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට මතයක් සහිතව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් නොවන බව. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවුණු පෙබරවාරි 25 වනදා සිට එම නියෝගය නිකුත් කළ අප්‍රේල් 22 වැනිදා දක්වා සැකකරු කෲර අමානුෂික වධහිංසාවට ලක්ව ඇති බවට නිශ්චිත අනාවරණයක් වී නැහැ. මැයි 20 මා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීත් මා ඉදිරියේ කෲර අමානුෂික වධහිංසාවට ලක්වූ බවට කරුණු ඉදිරිපත් කෙරුණේ නැහැ”.

එමෙන්ම පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග ප්‍රකාරව මින් පෙර අධිකරණය කැඳවා ඇති මානසික වෛද්‍ය වාර්තාවක් සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය තුළ කරුණු පැහැදිලි කළේය.

“පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෝෂණවේදියෙකු, අක්ෂි විශේෂඥයෙකුට සහ මානසික විශේෂඥයෙකුට යොමුකරන්න කියලා නියෝගයක් කරලා තියෙනවා. එහිදී අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍ය සී.ජී.කේ. ප්‍රනාන්දු නිකුත් කළ වාර්තාවේ මෙම සැකකරු මානසික වධදීමකට ලක්ව ඇති බව සඳහන් වෙනවා. 

ඒ වගේම මානසික රෝග කිහිපයක් තිබූ බවත් සඳහන්. එසේම සැකකරුගේ බාහිර තුවාල නිරීක්ෂණය නොවුණු බවත් ඔහු තමන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා අවබෝධ කරගනිමින් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු තත්ත්වයක සිටින බවත් එම වාර්තාවේ සඳහන් වුණා. 

නමුත් එම වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් තවදුරටත් සම්පූර්ණ පරීක්ෂණයක් කළයුතු බවටත් එහි නිර්දේශ කර තිබෙනවා. කොහොම නමුත් මේ විශේෂ වෛද්‍ය වාර්තාවට එම වෛද්‍යවරයා විතරයි අත්සන් කර තිබෙන්නේ. පරීක්ෂා කිරීමට සහභාගි වූ සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා අත්සන් කර නැහැ. 

ඒ වගේම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුනුත් නොවෙයි. මෙම වාර්තාව නිකුත් කළ දිනය ලෙස සඳහන් වෙන්නේ අප්‍රේල් 21. නමුත් වාර්තාව කැඳවන ලෙස නියෝගය කර තිබෙන්නෙත් අප්‍රේල් 22″.

ඒ අනුව මෙම සියලු කරුණු සලකා බලා රැඳවුම් භාරයේ සිටියදී සැකකාර සුරේෂ් සලේ වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේය.

“මෙම කරුණු සලකා බැලීමේදී සැකකරු රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය තීරණය කරනවා. 

පැමිණිල්ලේ යෝජනාව වුණේ ඒ පිළිබඳ පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරන්න කියලා. නමුත් විත්තිය ඊට විරුද්ධ වුණා. එබැවින් අධිකරණය විසින් ස්වාධීන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරනු ලබනවා”.

ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට අධිකරණය  පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතය.

එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් මහතා පත්කළ අතර සෙසු සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලෙයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධනය.

ඒ අනුව අදාළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට සුරේෂ් සලේ මහතා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පරික්ෂාවට ලක්කර ඉදිරි නඩු දිනට ප්‍රථම වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.

නඩුව ජුලි මස 01 වනදා යළි කැඳවීමට නියමිතය.

තලවතුගොඩ ගින්නෙන් තුවාල ලැබූ තිදෙනාම මරුට…..

තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබේ.

කෙසේවෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනුකර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිල්ල විසින් ඔප්පු කර තිබෙන බවය.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.

රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසුවේය.

මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

බැංකු කොල්ලයට සම්බන්ධ සහකාර කළමනාකරු රිමාන්ඩ්…..

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ එම බැංකුවේ සහකාර කළමනාකරු එළැඹෙන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

54 හැවිරිදි නන්දන සරත් කුමාර නමැති සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, පොදු දේපළ පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය.

එබැවින් සිද්ධියට අදාළ බැංකුවේ කාර්යපටිපාටිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර, ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය බව කියන මුදල් හා බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල් අතර සම්බන්ධතාව සොයා බැලීමට ද අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර, සැකකරුට එරෙහිව මීට පෙර ගොනු කර තිබූ 54(1) වගන්තිය යටතේ වූ නඩුව පොලීසිය විසින් අධිකරණයේදී ඉවත් කරගෙන ඇත.

සිද්ධියේ දෙවන සැකකරු වන ආරක්ෂක නිලධාරියා ද එළැඹෙන 11 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරණු ලබයි.

නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි……

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවාකාලය නිමකර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම සමුගැනීමේ නිල හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සහ ආචාර්ය පාණ්ඩේ මහතා අදහස් හුවමාරු කර ගත්හ.

ආචාර්ය පාණ්ඩේ මහතා සිය ධූර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ද, ලේකම්වරයා සුබ පැතුම් පිරිනමන ලදී.

ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් පිළිබඳ ජාතික විගණනයක්…..

ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික මට්ටමේ විගණනයක් අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

2026 අයවැය යෝජනා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ සහ පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථාන ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් ප්‍රවේශවිය හැකි පරිදි සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් දිවයින පුරා ආයතනවල ප්‍රවේශ පහසුකම් සම්බන්ධ විගණනයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමීව, මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් දිස්ත්‍රික්ක 17ක සමාජ සේවා නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදී තිබේ.

එහි ප්‍රථම අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෙත්සිරිපාය අදියර 1 සහ අදියර 2 ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් විගණනය ආරම්භ කර ඇත.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දැක්වීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම නව ප්‍රතිපත්තිය ජුනි 01 දින සිට බලාත්මක වන බවය.

1999 වසරේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කර තිබුණු අතර එය 2023 වසරේදී සංශෝධනය කර තිබුණි.

කෙසේ නමුත් වර්තමානයේ පවතින සමාජ ආර්ථික පසුබිම වෙනුවෙන් නව ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරන බැවින් නව ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබුණි.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය පෙබරවාරි 09 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ අතර ඒ අනුව නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ආරම්භ කෙරුණි.

ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය සම්පාදන කර ඇති අතර මේ තුළ දේශීය ඛනිජවල ආවේනික ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඛනිජ සම්පත් පිළිබඳව ශක්‍යතා අධ්‍යනය, අගය එකතු කරන ලද ඛනිජ සම්පත් හා පරිසරයේ තිරසාර කළමනාකරණය සහ ඛනිජ නිස්සාරණයට අදාළ ඉඩම් හිමිකම් ගැටලු යන කරුණු මෙම මෙහිදී කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ මෙරට ඛනිජ ක්ෂේත්‍රය ශක්තිමත් කරන ප්‍රතිපත්තිමය මූලධර්ම පුළුල් ලෙස හඳුනා ගැනීම වේ.

එමෙන්ම මෙම මූලධර්ම භූමියේ ක්‍රියාත්මක කළ හැකි සැලසුම් සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාවලියට මග පෙන්වන උපායමාර්ග හඳුන්වා දී ඇති අතර මෙම ප්‍රතිපත්ති රාමුව අදාළ ආයතන විසින් තම තමන්ගේ ක්ෂේත්‍රයන් හී සවිස්තරාත්මක ක්‍රියාකාරි සැලසුම් සකස් කිරීම සඳහා පදනමක් ලෙස භාවිත කිරීමත් සිදුවනු ඇත.

මෙම නව ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිපත්තිමය ඉලක්ක කිහිපයක් අපේක්ෂා කර ඇති අතර ඒ අනුව නිරන්තරයෙන් යාවාත්කාලීන වන ජාතික ඛනිජ සම්පත් ලේඛනයක් සකස් කිරීම, ඛනිජ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහතික කිරීම, ජාතියට ප්‍රශස්ත ප්‍රතිලාභ ලැබෙන පරිදි අගය එකතු කළ ඛනිජ අපනයන සහ ඛනිජ පදනම් වූ නිෂ්පාදන සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය සඳහා ඛනිජ සම්පත් තිරසාර භාවිතය සහ පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවය තහවුරු කිරීම, පර්යේෂණ හා සංවර්ධණ හා සංවර්ධන කටයුතු දිරිමත් කිරීම, ඛනිජ ක්ෂේත්‍රයේ යහපාලන මූලධර්මයන්ට අනුගත වීම සහ ආයෝජන හිතකාමී නියාමන රාමුවක් සැපයීම මගින් ඛනිජ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා පහසුකම් සැලසීම යන කරුණු වෙනුවෙන් අවධානය යොමුව ඇත.

එමෙන්ම මෙම ප්‍රතිපත්තියේ සඳහන් උපායමාර්ග, ප්‍රතිපත්තියේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා පදනම ලෙස ක්‍රියා කරන බවත් ඒවා අදාළ පනත් මගින් ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර එම ක්‍රියාමාර්ග බලගැන්වීම සඳහා නියාමන ආයතන වෙත බලය පැවරීමද සිදු කෙරේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මට්ටම මත මහජනතාව ඇතුළු පාර්ශ්වකරුවන්ට විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇතිවිය හැකි බවය.

එබැවින් අදාළ නියාමන ආයතන විසින් ඒකාබද්ධව පිළිගත හැකි රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග වැඩසටහන් සැලසුම් සහ අනෙකුත් නියාමන ලේඛන අවසන් කිරීම සඳහා පාර්ශ්වකරුවන් සමග උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බවත් සඳහන් කර ඇත.

තවද ඛනිජ ක්ෂේත්‍රයට අදාළ විෂයභාර අමාත්‍යාංශය, ඛනිජ ප්‍රතිපත්තිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටුකරන නමුත් ඛනිජ ඛනිජ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිහිපයක් විවිධ අමාත්‍යාංශ යටතේ පවතින බැවින් අධීක්ණ මණ්ඩලය අදාළ අමාත්‍යාංශ නියෝජිතයින්ගෙන් සමන්විත විය යුතු බවත් මෙහි සඳහන් වේ.

ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……

ජුනි මාසයේ මුල් දින 7 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 27,043ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 11,216ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 42%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 1,496ක්, එක්සත් රාජධානියෙන් 1,938ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට ජුනි 07 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,049,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 261,476ක්, රුසියාවෙන් 76,332ක් සහ එක්සත් රාජධානියෙන් 100,031ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.