විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි…

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.

පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටියේදැයි සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ අරුවක්කාඩුව අධිසංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම භූමිය සිය භාරයට ගත්තේය.

මෙහිදී එම කටයුතුවලට භාවිත කළ යන්ත්‍ර සූත්‍ර තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර, එහි වටිනාකම රුපියල් කෝටි 200කට අධිකය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීකරණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට අනාවරණ වී ඇත්තේ, අක්කර 20ක භූමි ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක කර තිබූ මෙම නීතිවිරෝධී ජාවාරමේදී වසර සිය ගණනක් පැරණි කළුවර, බුරුත, වීර ඇතුළු දැවැන්ත වෘක්ෂයන් කපා දමා ඇති බවය.

මෙය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට මිටර් 500ක දුරකින් පිහිටා ඇති අතර, එම ස්ථානයට ජලය සපයාගෙන ඇත්තේ විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත් සීමාවේ පිහිටි ලුණු ඔයෙනි.

මෙම ස්ථානයේ ජලාශයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර ගෙන තිබුණ ද, කැණීම් කිරීමට අවසර ලබා දී නොමැත.

නමුත් පුරාවිද්‍යා නිර්දේශ නොතකමින් මෙහි අක්කර දෙකකට වැඩි භුමියක අඩි 20කට වැඩි ගැඹුරට ජලාශයක් ඉදිකර ඇති බවද හෙළි වී තිබේ.

මෙම ජාවාරම පිටුපස හිටපු මැති ඇමතිවරුන් සිට ඇද්දැයි මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙහිදී මෙම ස්ථානය සිය භාරයට ගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථානයේ ආරක්ෂාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් පිරිසක් රැඳවීමටද පියවර ගත්තේය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හෙට පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කරන බවය.

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී…..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

චිචීගේ රොකට් එක ගැන ඇමති නලින්දගේ මතය…..

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බවය.

අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
”ඔබ හිතනවද සුප්‍රීම් සැට් එකෙන් එච්චර ආදායමක් ලංකාවට ආවා නම් රාජපක්ෂලා අවුරුදු දහයක් දහතුනක් විතර නිහඬව ඉඳියි කියලා.  ඒගොල්ලෝන්ට පහුගිය අවුරුදු දහතුනේම ඒ චෝදනාව එල්ල වුණා. මේ වගේ ආදායමක් ආවා නම්, රාජපක්ෂලා නිහඬව ඉදී කියලා හිතනව ද? එහෙම රටට වාසියක් ගේන්න මොකක් හරි එකක් රාජපක්ෂලා කරයි කියලා ඔබ හිතනවද? තමන්ට වාසියක් වෙන්නේ නැතුව. පරීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ සිද්ධ වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද වුණේ කියලා. සුප්‍රීම් සැට් කියලා කියන්නේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. ඒකේ ව්‍යාපෘති ගණනාවක එකතුවක්. ඒ නිසා ඒ සමාගම තවත් ව්‍යාපෘති කරනවා. මං හිතන්නේ ඇත්ත හෙළිදරව් වේවි ළඟදිම. ඉතින් මේක බලන්න ඕනකම තියෙන්නේ රාජපක්ෂගේ සියලු ව්‍යාපෘති පැත්තක දාලා මේක තනියෙන් අරගෙන නෙවෙයි. ඒගොල්ලන්ගේ සමස්ත මැදිහත් වීම් අතරේ මේ රොකට් ව්‍යාපෘතිය කොතනද ස්ථානගත වෙන්නේ කියන එක.”

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට….

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක්ද වාහන 9,758ක්ද යතුරු පැදි 7,509ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

බීමත් රියදුරන් 58ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 2,992ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලි ග‍්‍රෑම් 11ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව 2025-08-08 දිනය තුළදී පමණක් සමස්ථයක් වශයෙන් මුලූ දිවයිනෙන්ම හෙරොයින් කිලෝ 01 ග‍්‍රෑම් 547ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 726 මිලිග‍්‍රෑම් 107ක ප‍්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි….

ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැසී උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇත.

ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය 07 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා තිබේ.

අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුනද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවය.

ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.

එමෙන්ම ඒ මගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත් ඒ මගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ වැටලීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.

අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වෙයි….

‍ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.

1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.

එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.

බලන්ගොඩ නිවසක ගින්නකින් මව පියා බේරී දරුවා මරුට….

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බව පොලීසිය පැවසීය.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව  සඳහන්.

එමෙන්ම මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (8) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අයෙක් අත්අඩංගුවට…..

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අද (09) පෙරවරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවද වාර්තා වේ.

බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයක සැරසිළි කටයුතු කරමින් සිටි තරුණයින් පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබුණි.

එහිදී තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාස විසින් සිදුකරයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්….

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්….

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,

“පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ.  පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.”

“දෙවෙනි ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. අවසන් වෙන්නේ 10:45ට.”

“ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් තිබෙනවා.”

“පළමු ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ පෙරවරු 11:15ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක් තියෙනවා. ඒ අනුව 12:15ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15ට.”

“විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දෙන්න පුළුවන්. විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 7,951 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.