IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (28) පැවති හමුවේදී එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මේ බව තහවුරු කර ඇත.

මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සහතික කිරීම සඳහා ඇය දිවයිනට පැමිණෙන බව සඳහන්.

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුයි – ජනාධිපති ලේකම්…..

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට  අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.

මෙම  වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා එම නිලධාරීන් පුහුණු කිරීම මීට පෙර සිදු කරන ලදී.

එහි දෙවන පියවර ලෙස තවත් රාජ්‍ය ආයතන 250ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අනුග්‍රහය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක රැඳී සිටියත් 2024 දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ 121 වන ස්ථානය බව ද ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

එය සෙසු ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය ජනතා නැඟී සිටීමේදී ප්‍රධාන සටන් පාඨය දූෂිත දේශපාලනයට එරෙහිව වුවත් එම චෝදනාව දූෂිත දේශපාලනඥයින්ට පමණක් නොව දූෂිත රාජ්‍ය නිලධාරීන්ටද එල්ල විය.

එම ජනතා නැගී සිටීම සිදු වූයේ ආර්ථික වශයෙන් රට බංකොලොත් වී එහි අනිටු ප්‍රතිඵල ඔවුන්ට දැනෙන්නට වූ අවස්ථාවේ බවත් ජනතාව නැඟී සිටීම ක්‍රමානුකූල ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය වන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

”ජනතා නැගී සිටීම සුළුපටු නැහැ. එය බොහොම ප්‍රබලයි. ඒ නිසා ජනතා නැගී සිටීම සහ ජනතා අභිලාෂ පිළිබඳ දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද යම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවට සුපිළිපන්න සේවාවක් ලබා දීමට රාජ්‍ය සේවකයින් ලෙස අප බැඳී සිටිනවා. ඒ නිසා ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවය සුපිළිපන්න කිරීම සඳහා කිසියම් ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ් ඔස්සේ තමයි අපි අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවනු ලැබුවේ. 

රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ සුපිළිපන්නභාවය වර්ධනය කර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, එමඟින් රාජ්‍ය අංශයේ දූෂණ සංස්කෘතිය වෙනස් කළ හැකිය. අභ්‍යන්තර කටයුතු ඒකක, රාජ්‍ය සේවය තුළ සුපිළිපන්න සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් ලෙසත් රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය විමසීමට ජනතාවට පහසුකම් සලසන වේදිකාවක් ලෙසත් සැලකිය හැකියි.”

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා….

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන අමෙරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර එම සාකච්ඡාව බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බව එහිදි වැඩබලන අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

මෙහිදි මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබඳවද පැහැදිලි කර ඇති බව සඳහන්ය.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය….

ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිය කොළඹදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින දිගු කාලීන ආර්ථීක හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර සැසියේදී එකඟතාවන්ට එළඹුනු බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී ඇති අතර පාකිස්තාන දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාද පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් මහතා විසින් මෙහෙයවා තිබේ.

මෙම සැසියේදී දෙපාර්ශවය විසින් වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ පශූ සම්පත්, බැංකු සහ මූල්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව සමාලෝචනයට ලක් කළ බව අමාත්‍යංශය සඳහන් කළේය.

නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ගැන පොලීසියෙන් නිවේදනයක්….

78වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එම උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් හෙට (30) සිට පෙබරවාරි 2වනදා දක්වා පැවැත්වේ.

එම දින හා නිදහස් දින උත්සවය සැලකිල්ලට ගෙන කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව හෙට (30), අනිද්දා (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වාත් පූර්ව පෙරහුරුව පැවැත්වේ.

එමෙන්ම පෙබරවාරි 1වනදා පෙ.ව. 5 සිට දහවල් 1.30 දක්වා සහ පෙබරවාරි 4වනදා පෙ.ව. 5 සිට නිදහස් දින උත්සවය අවසන් වනතුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව මෙම නිවේදනයේ සඳහන්.

හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය….

ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදුකරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසම මීට පෙර අවසර ඉල්ලා තිබුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුව කරුණු දක්වමින් මෙම නඩුව සඳහා තම කණිෂ්ඨ නීතිඥවරයා පෙනී සිටි අවස්ථාවක අල්ලස් කොමිසම මෙම චෝදනා සංශෝධනය කිරීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත් එය  සාමාන්‍ය සම්ප්‍රදාය නොවන බවත් පවසා තිබේ.

කෙසේ වෙතත් විනිසුරුවරයා නියම කළේ අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන්නේ ද ? යන කාරණය පිළිබඳව නියෝගය ලබන 10 වනදා  ප්‍රකාශ කරන බවය.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක්  නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට  බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් අයෙකු අත්අඩංගුවට…..

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000(කෝටි 3)ක මුදලක් තම සන්තකයේ තබාගැනීම ඔහුට එරෙහි චෝදනාව වේ.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදුකිරීම යන චෝදනාවත් අදාළ ව්‍යාපාරිකයාට එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අත්අඩංගුවට ගත් සතොසේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු තිදෙනෙකුට ඇප….

2021 වසරේ සතොස ආයතනය විසින් සහන මිලට මහජනතාවට අලෙවි කිරීම සඳහා වෙන් කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,860ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද (29) ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද බහාලුම් දෙකක අඩංගු සුදුලූනු කිලෝග්‍රෑම් 54,860ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට අලෙවි කිරීම සඳහා එවක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවය.

එසේ තිබියදී එම සුදුලූනු තොගය මහජනතාවට අලෙවි නොකොට පුද්ගලික සමාගමකට අලෙවි කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.

අදාළ කාලය තුළ සතොස ආයතනය විසින් සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 445කට අලෙවි කර තිබියදී, එම සුදුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 135ක් වැනි අඩු මිලකට අලෙවි කිරීම හේතුවෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ 6,660ක පාඩුවක් සිදුවී ඇති බවද කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සුදුලූනු තොගය අලෙවි කිරීමට තීරණය ගනු ලැබුවේ සැකකරුවන් විසින් නොව සතොස ආයතනයේ ආයතනික තීරණයකට අනුව බවය.

එමෙන්ම අදාළ සුදුලූනු තොගය නරක්වීමට ආසන්න තත්ත්වයක පැවති බැවින් මෙලෙස අලෙවි කිරීමට කටයුතු කර ඇති බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුනි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 වැනිදා නැවත කැඳවීමට නියම විය.

අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් තොරතුරු හෙලිවෙයි….

අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මුල් කරගනිමින් සිදුවූවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (27) රාත්‍රියේ 28 හැවිරිදි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

නිවසක සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්ම අදාළ තරුණයාට වෙඩිතැබීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය සඳහන් කළේය.

මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවද පැවසෙයි.

කෙසේවෙතත් මෙම ඝාතනය අනියම් සබඳතාවයක් මුල් කරගනිමින් සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඊට උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

IMF ගිවිසුම වෙනසක් නොකර ඉදිරියට ගෙනයෑමට දෙපාර්ශ්වයේ එකඟතාව…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය 22 වන දා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී සිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ නියෝජිත පිරිස ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර ඇගයීමට ලක් කළහ. ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ අන්දම තමන් සමඟ කතා කළ බොහෝ ජනතාවගේ ඇගයීමට ලක් වූ බවත්, එය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙහිදී නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන ලද ඉහළ මුල්‍ය විනය මෙම අභියෝගයට මුහුණ දීමේදී වැදගත් සාධකයක් වූ බව පෙන්වා දුන් නියෝජිත පිරිස එම කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජයට හැකි වූයේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් පැවතීම නිසා බවත් එය ඉතා අගය කළ යුතු තත්ත්වයක් බවත් සඳහන් කළහ.

දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා මෙම මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බවත් සඳහන් කළහ.

මෙම ව්‍යසනයෙන් විශාල ලෙස බලපෑමට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමඟ සෘජුව සම්බන්ධ වන යටිතල පහසුකම්  සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග යළි සකස් කර දීම වෙනුවෙන් මෙම රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනය වෙන් කළ බවද සඳහන් කළේය.

මෙම පියවර කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරෙන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩාවැටීම ඇතුළු තත්ත්ව හමුවේ  දීර්ඝකාලයක් තිස්සේ පීඩාවට පත් මෙරට සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, රජය ඉදිරි වැඩසටහන් සැලසුම් කර ඇත්තේ එම දිශානතිය ඔස්සේ බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු  අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Krishna Srinivasan, ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sanjaya Panth, දූත මණ්ඩල ප්‍රධානී  Evan Papageorgiou,  එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.