සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියෙහි ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංචාරකයන්ගේ වීසා සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීම කෙරෙහිත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

තවද, සංචාරකයන්ගේ පහසුව සඳහා රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීමටත්, ඒවායේ පවතින ගැටලු පිළිබඳව මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ සහ සංචාරක ගමනාන්ත අතර බස් රථ සේවා ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.

එසේම මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් සංචාරකයන් මුහුණ දෙන ගැටලු සංචාරක පොලිසිය මගින් විසඳීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානවල පවතින ගැටලු මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට…..

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පෙබරවාරි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (30) වත්තල මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගයකට අනුවය.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් පමුණුගම ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති  M.G චානක මහතා විසින්.

එහිදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මාරාන්තික උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්……

උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ බව ජනාධිපති  මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට අද (30) දැනුම් දුන්නේය.

ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන් වේ.

ලබන සඳුදා දින සියලු සංවර්ධන නිලධාරින් කොළඹට කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් ඊට පෙර එම සාකච්ඡාව ලබා දෙන ලෙසත් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා ඉල්ලා සිටියේය.

තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි 26 වැනිදාය.

උපවාසයේ නිරතව සිටි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී පසුගියදා රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ද අයහපත්වීම නිසා අද පෙරවරුවේ ඔහු රෝහල්ගත කෙරිණි.

ඒ අනුව මේ වනවිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින්නේ එක් අයෙකු පමණය.

ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු…..

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (29) මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

එහිදී රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබුණි.

ගොඩබිමදී සොයාගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය එය බව පසුව පොලිසිය අනාවරණය කළේය.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් හා මත්පෙති 3,450ක් සොයා ගැනුණි.

අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 20කට අධික අතර මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලිසිය පැවසීය.

අනතුරුව නිවෙස්හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇයගේ වැඩිමහල් පුත්‍රයා විසින් එම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටකින් මෙරටට ආනයනය කර ඇති බවය.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

රාත්‍රී සමාජ ශාලා වෙත අලෙවි කිරීම සඳහා මොවුන් මෙම මත්ද්‍රව්‍ය තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක්…..

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) නියෝග කළාය.

ඒ විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙඩ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටියි.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය කළ දැනුම්දීමක් අනුව විමර්ශනවල ප්‍රගතිය එහි නිලධාරීන් අදත් අධිකරණයට දැනුම්දුන්නාය.

නඩුවේ මැදිහත්කාර පාර්ශ්ව ‍වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මන්දගාමීව ක්‍රියාත්මක කරන බවටය.

අධ්‍යාපන අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලුදෙනා වගකිවයුතු මෙම සිද්ධියේදී නිලධාරීන් දෙ‍දෙනකුගේ පමණක් වැඩ තහනම් කිරීමෙන් ‍මෙය සරල ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රශ්නගත මොඩියුලයේ 51 සහ 52 පිටුවල අදාළ වෙබ් අඩවිය පිළිබඳ සටහන්ව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම පිටු අංක 47 සහ 48 ලෙස දක්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් එම මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ ප්‍රශ්නගත වෙබ් අඩවිය පිළිබඳ සඳහන්ව ඇත්තේ මොඩියුලයේ 47 සහ 48 වැනි පිටුවල බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් මොඩියුලය 2025 දෙසැම්බර් 23 වැනිදා මුද්‍රණය කර ඇති මොඩියුලයක් බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී යළි අධිකරණයට කියා සිටියේ ගුරුවරු පුහුණු කිරීමට භාවිත කළ මොඩියුලය නොව වෙනත් මොඩියුලක් එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

එම මොඩියුල දෙකම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ ඇයිදැයි අනතුරුව මහේස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය.

ඊට පිළිතුරුදෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව එය සිදුකර ඇති බවය.

ප්‍රශ්නගත සිදුවීමේදී වී ඇත්තේ රාජකාරිමය නොසැලකිල්ලක්ද? නැතිනම් චේතාන්විතව සිදුකළ ක්‍රියාවක්ද?

එමගින් පොදු දේපළ අවභාවිතයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් මොඩියුලයට අදාළව පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ දැනුම්දුන්නේය.

සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ සැකයක් පවතින්නේනම් ඔහුද මෙහි සාක්ෂිකරුවෙක් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසීය.

එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සැකකරු පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලට අනුවය.

මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රිකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක් ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38ක් වූ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 02ක් මත මුදාහැර ඇති අතර සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්…..

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි.

ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සයිබර් ආරක්ෂාව, නීති,  පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්….

ආපදා බලපෑම  හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබාදී ඇත.

2025 නොවැම්බර් මස 21 සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා පැවැති විස්තීර්ණ ආපදා තත්ත්වය තුළ සිදුවූ ව්‍යාපාර හානි මේ සඳහා අදාළ වේ.

‘සිහින පාසලක්’ කරා යන සැලසුම අගමැතිනිය හෙළිකරයි….

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.

එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද අවධාරණය කර සිටි අග්‍රාමාත්‍යවරිය, වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද කියා සිටියාය.

‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

අද (29) අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ගුණධර්මවලින් හා සහකම්පනයෙන් යුතු සිසු පරපුරක් බිහිකරන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, දරුවන් ඔසවාගෙන යන පොත් බෑගයේ බර අඩුකිරීමෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙල පීඩනයෙන් තොරව ඉගෙන ගැනීමට අවශ්‍ය වටාපිටාවක් සකස් කිරීමට දායක කරගන්නා බවද කියා සිටියාය.

ආදරණීය දුවේ, පුතේ, 

පළවෙනි ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන ඔබට, අප තිළිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා 13 වසරක අධ්‍යාපනය තුළින් පාසලෙන් එළියට යන්නේ සමතෙක්, දක්ෂයෙක් විදියට රටට ලෝකයට ප්‍රයෝජනයක් දෙන අයෙක් විදියට බවට මට විශ්වාසයි. අන්න ඒක තමා අපි ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා ඒ ලෝකය භාරගන්න කල්. 

ආදරණීය ගුරුවරුනි,

මව් ඇකයෙන් මිදී ඔබ වෙතට පැමිණෙන දරු දැරියන්ට අධ්‍යාපනය පමණක් නොව, ආදරය, සෙනෙහස හා රැකවරණයද ලබාදෙන බව අපි දනිමු. ඔවුන්ට අකුරු පමණක් නොව ජීවිතයද උගන්වන ඔබට ප්‍රණාමය පුදකර සිටිමු. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබගේ කැපවීම මත බව මතක් කිරීමට කැමතියි. ගුරුවරු සමඟ ඇති කරගන්නා සබඳතාවය දියුණු කරගත යුතු අතර, එය අතිශ්‍ය වැදගත්ම දෙයක් ලෙස අපි දකිනවා. එහි ගෞරවණීය බව රැකගෙන වෘත්තීය බව රැකගෙන ඉදිරියට යා හැකි බවට වන විශ්වාසය අප සතුව තියෙනවා.

දයාබර දෙමාපියණි,

ඔබ දරුවන්ව පාසලට භාරදෙන්නේ විශාල බලාපොරොත්තු හා විශ්වාසයකින් යුතුවයි. ඒ සිහින දකින අනාගතයට යා හැකි යන අසීමිත බලාපොරොත්තුව අපි සියලුදෙනා හොඳින් තේරුම් ගෙන ඉන්නේ. ඔබ අපට භාරදුන්න දරුවන්ගේ වගකීම අපි භාරගන්නවා. ඒ බර අපි ගන්නවා. ඔබ දකින සිහිනය, බලාපොරොත්තුව රටට ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියෙක් බිහිකරන්න දකින සිහිනය අපි තුළත් තියෙනවා. මේ වැඩේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් පමණක් නොව. ජනාධිපති ඇතුළු සමස්ත රජයේම වගකීමක්. ඒ වගකීම අපි භාරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබේ මුදල් පසුබිම්බිය මත ඔබේ දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට කිසිලෙසකවත් අපි ඉඩනොතබන බව විශ්වාසයෙන් කියන්න කැමතියි.

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්…..

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය.

නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්ය.

නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බව වාර්තා වේ.

ආසියානු කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෛම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”

මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් ද ‘අද දෙරණ’ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසීමක් කළේය.

“අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්.” 

එහිදි ඔහු සඳහන් කළේ, එවැනි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.