කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා කරයි…..

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.

අද (14) පෙරවරුවේ සිට විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි අතර ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව රන්ගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශකූල කටයුතු සිදුකරන්නට විය.

මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය ‘කණ්ඩලමේ හැඩකාරයා’ට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදුකර තිබේ.

මෙම වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.

මිට වසරකට ඉහතදී මුලින්ම මෙම අලියාට වෙඩි වැදී සිටියදී වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණු අතර මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවී වැව ඉස්මත්තට පැමිණි විට ජනතාව ආහාර ලබාදෙමින් රැක බලාගත්තේය.

කෙසේවෙතත් වනජීවි නිලධාරීන්ව අවස්ථා කිහිපයක දී දැනුවත් කිරීමෙන් අනතුරුව, වරින් වරින් පශු විද්‍යා කණ්ඩායම් පැමිණ වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබුණි.

මාධ්‍ය මඟින් දිගින් දිගටම ‘කණ්ඩලමේ හැඩකාරයා’ සම්බන්ධයෙන් ජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද අදාළ ස්ථානයට ගොස් වනඅලියාගේ සුව දුක් සොයා බලා ප්‍රතිකාර නිසි ලෙස සිදුකිරීමට උපදෙස් ලබා දුනි.

නමුත් ප්‍රතිකාර හමුවේ වුවත් දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්වූ වනඅලියාට අවසාන කාලයේ දී සිංහල වෙදකම සිදුකිරීමට ද අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව දින 5ක පමණ කාලයක් වෙදකම් කරමින් සිටිය දී රටම හඬවමින් මහා සද්ධන්තයා ඊයේ සිය ජීවිතයට සමුදුනි.

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයේ අලුත්වැඩියාවක්….

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදු කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත්වැඩියා කටයුතු මෙලෙස  සිදුකිරීමට නියමිතය.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින්  සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්  සිදු කරනු ලබයි.

පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ…..

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නව පොලිස්පති වැඩ භාරගනී…..

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරනු ලැබීය.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භාරදුනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

මීගොඩ නිවසක් ඉදිරිපිට අහසට වෙඩි….

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (13) රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩිල්ලක් පමණක් තබා ඇති අතර,උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇති අතර මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

හංවැල්ලේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු ඒලියට එයි…..

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු පුද්ගලයා 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අසල්වාසීන් මෙලෙස අදහස් පළ කළේය.

“බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහුවා. සද්දෙට දොර ඇරගෙන ගියා මම. අපි මුකුත් දැක්කේ නෑ. මල්ලි පුතාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ ත්‍රීවිල් එක්ක නග්ගලා ඉස්පිරිතාලේට යැව්වා…

මම නිදාගෙන හිටියේ. ජනේලෙ ගාවින් අපේ ගෙදරට තියෙනවා වගේ ඇහුණේ. වෙඩි හඬවල් තුනක් ඇහුණා. මම පුතාව අරන් ඇදෙන් බිමට ආවා. මම පුතාව බිම නිදිකරවලා එයාව කවර් කරගත්තා. අපි නිදාගෙන නේ හිටියේ. කෑ ගහන සද්දේ ඇහුණා. මම එකපාරට නැගිට්ටේ නෑ. පුතාව කවර් කරගෙන ඇවිත් තාත්තාගේ කාමරේට දැම්මා. කෑ ගහන සද්දේ විතරයි අපිට ඇහුණේ.”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බරපතළ ගැටලු ඇති බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීම ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් බව එම වාර්තාවේ දැක්වේ.

පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මඟින් කනස්සල්ල පළ කර තිබේ.

2022 වර්ෂයේ අරගලයෙන් පසු පැවති මැතිවරණවලින් විශිෂ්ට ලෙස බලය ලබාගත් වත්මන් රජය, සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග බව එම වාර්තාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම්, කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම්වලට භාජනය කිරීම්, සම්බන්ධයෙන් ද එම වාර්තාව මඟින් චෝදනා එල්ල කර තිබේ.

2024 වර්ෂය තුළ වෙඩි තැබීම් 103ක් සිදුව ඇති බව ද පොලිස් අත්අඩංගුවේ දී මරණ 7ක් සිදුව ඇති බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2024 වර්ෂය තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් යුද්ධයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ගේ චෝදනා විමර්ශනය කිරීමේ සුළු ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

හංවැල්ලේ වෙඩිතැබීමක්…..

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

මෙහිදී එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර තිබේ.

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව තුළදීම මියයයි…..

බේරුවලින් මුහුදු රැකියාවට ගිය බහුදින යාත්‍රාවක රැකියාව කරමින් සිටි ධීවරයෙකු ඈත දියඹේ දී ඇතිව තිබෙන අසනීප තත්වයකින් හේතුවෙන් මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල, සුමංගල මාවත පදිංචි (31) හැවිරිදි ඩබ්ලිව් සුමිත් ප්‍රභාත් කුමාර නැමති ධීවරයෙකි.

(7/22) මීට දින (21) කට ඉහතදී බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පස්දෙනකුන් යුත් කණ්ඩායමක් “මංජු මල්ලි “නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් දියබට ගොස් ඇති අතර මීට දින (03) කට පෙර එක් ධීවරයකු මිය ගොස් ඇත මියගිය ධීවරයා රාත්‍රී කෑම ගැනීමෙන් අනතුරුව නිදාගෙන ඇත. පසුදා අළුයම ස්කීපර් වරයා ධීවරයින් අවදි කිරීමට යාමේදී ධීවරයා නාහය සහා කට ප්‍රදේශයෙන් රුධිරය හා සෙම වහනය වී තිබී ඇති බවත් සිරුරු සීතල වී තිබී ඇති බව දැක සෙසු ධීවරයන්ටද මෙය පවසා ඇත.
අනතුරුව ධීවරයින් විසින් බේරුවල ධීවර වරායත් මියගිය පුද්ගලයාගේ නිවසටත් දැනුම් දීම් සිදු කර ඇත.ධීවරයින් විසින් දින (03) ක් සිරුර අයිස් පෙට්ටි තුල බහා බහුදින යාත්‍රාව ගොඩබිම වෙත ගමන් ආරම්භ කර ඊයේ(11) රාත්‍රී 8.30ට පමණ බේරුවල යාන්ත්‍රික ධීවර තොටුපොල වෙත පැමිණ තිබුණි. ධීවරයා මියගොස් ඇත්තේ මුහුදු සැතපුම් 150 ක දුරකින් බව පොලිසිය පවසයි.

මියගිය ධීවරයා විවාහයෙන් 7-11 වයස් වල දරුවන් දෙදෙනෙකු සිටීයි.

කළුතර අපරාධ පරීක්ෂණාගාර නිලධාරී පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර කළුතර මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථානය පරීක්ෂණය සිදු කරන ලද අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත රැගෙන යන ලද.

රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්‍….

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16 සහ 23 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

‘AI for Transforming Public Service’ යන මැයෙන් පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් පැවත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙහි පළමු වැඩසටහන පසුගිය දා ජනාධිපති කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වුණු අතර දෙවන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තෙවන වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්විණි.

සෙසු සියලු අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ඉදිරි වැඩමුළු මාලාව සංවිධානය කර තිබෙන අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු එහි සම්පත් දායකයන් ලෙස එක්වෙති.