ජනපති, පාසල් සංවර්ධන නිලධාරීන්ට කළ ආරාධනය….

පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙසට පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී මෙම ආරාධනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී  දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පවසා ඇත්තේ, පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවය.

යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට තීරණය කළාද ? – කැබිනට්ටුවේදී පිළිතුරක්…..

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා  සම්බන්ධයෙන් අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරිණි.

එහිදී මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද කරුණු පැහැදිලි කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි පුවත් සමාජ මාධ්‍ය හරහා පළ කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට දැනුම්දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධව කරුණු පැහැදිළි කරලා තියෙනවා.  යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමට සූදානම් තිබෙන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍යයි. මෙය කිසිම පදනමක් නෑ. කිසිසේතම ආරක්ෂක අමාත්‍යාංශය එහෙම කිසිදු තීරණයක් අරන් නෑ. මෙවැනි තොරතුරු ප්‍රචාරය කරලා මහජනයා තුළ අනවශ්‍ය කැළඹීක්, බියගැන්වීමක් සම්බන්ධයෙන් අමාත්‍යාංශය අවධානය යොමු කරලා තියෙනවා ඒ නසිසා මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ ගත කරන අයට එරෙහිව දැඩිලෙස නීතිමය  ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දීලා තිබෙනවා. ඒ නිසා පුද්ගලයා කවරු වුණත් ඒ පිළිබඳ තොරතුරු වගකීම අරගෙන ඒ නීතිමය කටයුතුවලට සහයවීම තමයි හොඳ. මොකද මෙවැනි පුවත් හරහා ජනතාව අතර ඇති කරන්න හදන කැළඹීම එතරම් සුදුසු වන්නේ නෑ.”

ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයයේ සඳහන් කර තිබුණේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබූ බවය.

එවැනි පසුබිමක අද දින යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඒ පිළිබඳ කරුණු විමසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්

1111

 

 

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක්…..

පෙබරවාරි 6 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 1.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව, එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනයකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.

තවද, 2026 ජනවාරි 28 දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතයද පෙබරවාරි 6 වැනි සිකුරාදා ප.ව. 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළ වී ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.

මාස 9ක ඉඩෝරය නිමකළ විගණකාධිපති තනතුර….

පුරා මාස 9ක කාලයක් පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද (03) සම්පූර්ණ විය.

ඒ අද පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද අනුමත කළේය.

මින් පෙර මාධ්‍ය වාර්තා පළවුණේ ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කළ බවය.

සමස්ත රාජ්‍ය ආයතනවල වගකීම තහවුරු කෙරෙන මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවන අතර එහි ප්‍රධානියා වන විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

මේ හේතුවෙන් විගණකාධිපති ධුරයේ මාස 9ක් පුරාවට පැවති මෙම පුරප්පාඩුව සම්බන්ධව මෙරට පක්ෂ විපක්ෂ රැසක මාතෘකාවක් බවටද පත්වුණු අතර මෙම පුරප්පාඩුව සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක්ද නිර්මාණය විය.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා මෙරට නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක්ද රජයෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේදී ද මෙම විගණකාධිපති ධුරය සම්බන්ධව කතා කෙරෙනු දක්නට ලැබුණි.

මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළේය.

පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්විය.

එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළේය.

පුරප්පාඩුව

විගණකාධිපති ධුරයේ  කටයුතු කළ චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

චුලන්ත වික්‍රමරත්න මහතා විගණාධිපති ධුරයට පත්වූයේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 29 වැනි දිනය.

ඒ මෙරට 41 වැනි විගණකාධිපතිවරයා ලෙසය.

40 වැනි විගණකාධිපති ලෙස කටයුතු කළ ගාමිණි විජේසිංහ මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව චුලන්ත වික්‍රමරත්න මහතා 41 වැනි විගණකාධිපතිවරයා ලෙස පත්විය.

ඒ අනුව පුරා වසර 6ක සිය සේවා කාලය නිම කරමින් ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

ඒ මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨමයෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතව තිබුණද ඒ මහතා සම්බන්ධව පැවැති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම පත් කිරීම සිදු නොවීය.

එමෙන්ම අවස්ථා 4කදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළද එම නාමයෝජනා සියල්ලද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කවුද මේ සමුදිකා ජයරත්න 

දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ සේවය කර ඇති සමුදිකා ජයරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

ඇය මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරිය ලෙසද කටයුතු කරන්නීය.

එමෙන්ම සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක්ද වේ.

තවද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්ද විය.

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට…

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසියට අනුව, ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ.

හේමාල් රණසිංහ අද උදෑසන වැල්ලවත්ත පොලිසියට භාර වී ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරි ධුර උසස් කිරීම්වලට එරෙහිව ගොනු කළ පෙත්සම් ඉවතට…..

2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් දීර්ඝ විභාගයකින් අනතුරුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

2020 වසරේ ජනවාරි මස 31 වනදා සහකාර පොලිස් අධිකාරි ධූර උසස් කිරීම් සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව අයදුම් පත්‍ර කැඳවීම සිදු කෙරුණි.

පසුව රාජ්‍ය සේවා කොමිසම විසින් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ උසස්වීම් පිරිනැමූ බවත් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට එම උසස් වීම් නොලැබුණු බවත් පෙත්සම්කරුවෝ චෝදනා කර තිබුණි.

පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු වැරදි බවට රාජ්‍ය සේවා කොමිසම විසින් පිළිගෙන පසුව යළි ලකුණු වෙනස් කිරීම් සිදුකළ බවය.

මේ ආකාරයෙන් ලබාදුන් ලකුණු පසුව වෙනස් කිරීමට රාජ්‍ය සේවා කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවත් සඳහන් කර තිබේ.

ඊට අමතරව පෙත්සම්කරුවන් තමන්ට සිදුවූ අසාධාරණ ක්‍රියා කිහිපයක් ද සිය පෙත්සම්වලින් විස්තර කර තිබුණි.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු සටහන් කැඳවා කරුණු සොයා බැලීමක් ද සිදු කරන ඇත.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අගවිනිසුරුවරයා මෙම සම්මුඛ පරීක්‍ෂණයේදී අපේක්ෂකයින් ලබාගත් ලකුණු රාජ්‍ය සේවා කොමිසම විසින් වෙනස් කිරීමට භාජනය කළ බවට පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන අතර එසේ කිරීමට හේතු වූ කරුණු රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ පැහැදිලි කර ඇති බවත් එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන බැවින් එම ක්‍රියාවලිය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගන්නා බවත් ප්‍රකාශ කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන තර්කවල කිසිදු නීතිමය වටිනාකමක් නොමැති බවත් ඔවුන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට සාධාරණ හේතු නොමැති හෙයින් අදාළ පෙත්සම් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්….

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණි.

ඒ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවය.

මෙම සිදුවීමට, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට…..

කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 26 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන අය බව නාවික හමුදාව සඳහන් කරයි.

පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්, කැස්බෑ මස් සහ බිත්තර හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

කැරට් 24 රන් පවුමක් රු 12,000කින් අඩුවෙයි…..

ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහත වැටි ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 368,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස අද (02) වාර්තා වී ඇත.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 4,687 සීමාවේ පවතී.

එය පසුගිය සිකුරාදාට සාපේෂව අමෙරිකානු ඩොලර් 200 ක අඩුවීමක් බව සඳහන් වේ.