මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් පරීක්ෂාවේදී ඇතැම් බස්රථ ආපසු හරවාගෙන ගිහින්…..

මොරටුව ප්‍රදේශයේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමක් අද (5) මොරටුව බස්නැවතුම්පොළේ දී සිදු කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පොලිසිය එක්ව බස් රථ රියදුරන් 250 දෙනෙකු මෙහිදී පරීක්ෂා කරනු ලැබීය.

ඉන් 8 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, අදාළ පරීක්ෂාව මගහැරගිය රියදුරන් හා කොන්දොස්තරවරුන් අදාළ පරීක්ෂාව හෙට (6) දිනය තුළ සිදුකර නොගතහොත් ඔවුන්ට පොදු මගී ප්‍රවාහනය සිදුකිරීමට අවසර ලබා නොදෙන බවය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා,

“කොළඹට ගිය සමහර බස් රථවල කොන්දොස්තරවරු හා  රියදුරු මහත්වරු මොරටුවට එන්නේ නැතුව හරවන් ගිගින්. ඒ සියලු දෙනා හෙට දවස ඇතුළත ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් මෙඩිකල් ටෙස්ට් එක කරගෙන රිපෝට් එක ගෙනත් දෙන්න ඕන. 

එහෙම නැතිවුණොත් කිසිම කෙනෙකුට නැවත පොදු මගී ප්‍රවාහන සේවයේ නැත්නම් බස්රථල සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ තීරණයේ දැඩිව ඉන්නවා” යනුවෙන් පැවසීය.

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි…..

දිවයින පුරා ස්ථාන කිහිපයකදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද (03) අලුයම දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී ස්විස් හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 22 ක් වූ රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ (02) දහවල් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නාරම්පිටිගොඩ හන්දිය ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්  ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී  මියගොස්  ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි ගිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අනතුරට සම්බන්ධ බස්රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ දහවල් වාරියපොල හලාවත මාර්ගයේ බංඩාරකොස්වත්ත ප්‍රදේශයේදී වාරියපොලදෙසට ධාවනය වූ යතුරුපැදියක්  ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී  මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 25ක් වූ යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, ඊයේ උදෑසන පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ මාතලේ හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පදික කාන්තාව සහ යතුරුපැදියේ පසුපැදිකාරිය තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 65ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ සවස රත්නපුර පානදුර මාර්ගයේ මුණසිංහපුර ප්‍රදේශයේදී රත්නපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඉන්ධන බවුසරයක ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ත්‍රීරෝද රථයෙන් ඉවතට විසිවී බවුසර් රථයට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.

ත්‍රීරොද රථයේ රියැදුරු හා එහි ගමන්ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරට සම්බන්ධ බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ දහවල් කන්කසන්තුරය පේදුරුතුඩුව මාර්ගයේ ඌරනිය හන්දිය ප්‍රදේශයේදී කන්කසන්තුරය දෙසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් 62 හැවිරිදි පාපැදිකාරිය තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

හේමාල් ගැන උසාවියේදී හෙළිවූ කරුණු මෙන්න | “ඔළුවටත් බෙල්ලටත් පහරදුන්නලු”

වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිනමා විචාරකයෙකුට මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීමක් කිරීම සහ පහරදීමක් සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 8 වන දා හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන අවසන් කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් වැල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
එහිදී සැකකාර හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික වේරගොඩ අධිකරණය හමුවේ මෙසේ පැවසීය.

“ස්වාමීනී, මෙම පැමිණිලිකරු සිනමා නිර්මාණ පිළිබඳ විචාර හා විවේචන සමාජ මාධ්‍ය හරහා සිදු කරනවා. මාගේ සේවාදායකයා ජනප්‍රිය නළුවෙක්. මොවුන් දෙදෙනා ම සිනමා ක්ෂේත්‍රයේ කාලයක් එකට වැඩ කර තිබෙන දෙදෙනෙක්.”

“නමුත් අවස්ථා කිහිපයකදී ම පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද විචාර හා විවේචන මාගේ සේවාදායකයා අවතක්සේරුවට ලක්වන හා අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදුකළා. දෙදෙනා අතර පැවති සුහදත්වයෙන් ඉල්ලීමක් කළා මෙවැනි දේවල් ලිවීමෙන් වළකින්න කියා. බුද්ධිමත් විචාර සිදු කරන්න සහ ඒ සඳහා අපගේ කිසිදු බාධාවක් නොමැති බව මාගේ සේවාදායකයා පැමිණිලිකරුට පවසා සිටියා.”

“ස්වාමීනී, මෙවන් පසුබිමකදී හැව්ලොක් සිනමා ශාලාවේ පසුගිය දා පැවති චිත්‍රපට මුහුරත් උළෙලකදී මොවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවෙන අතර එම අවස්ථාවේදී පැමිණිලිකරු අහකට යන්න හදනවා. එහිදී මාගේ සේවාදායකයා “ලක්මිණ එන්න අපි කතා කරමු” කියා අතින් ඇදීමක් සිදු කරනු ලබනවා. එහිදී පැමිණිලිකරු කරදරයට පත්වූ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කර එතැනින් ඉවත්ව යන අතර මෙම සියල්ල සිදුවන්නේ එම චිත්‍රපටය සම්බන්ධව මාධ්‍ය විසින් විචාර සිදු කරනු ලබන අතරතුරදී යි.”

“අප මේ සම්බන්ධයෙන් කිසි ම දෙයක් දන්නේ නෑ ස්වාමීනි. මාතර පොලිසිය මගින් මගේ සේවාදායකයාගේ මවගේ නිවසට සිදු කරන ලද දැනුම් දීමකට අනුව තමයි, අද දින පොලිසියට පැමිණියේ. මාගේ සේවාදායකයාගේ දුරකතනය පසුගිය කාලයේ නැති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. එම දුරකතන අංකයට තමයි පොලිසියෙන් කතා කරලා තියෙන්නේ. පසුව අපට පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා. නිසි දැනුම් දීමක් ලද වහා ම අප පොලිස් ස්ථානයට ඉදිරිපත්ව ප්‍රකාශයක් ලබා දුන්නා.”

“කිසිදු ආකාරයක පහරදීමක් එදින සිදුවුණේ නෑ. ඔවුන් මිතුරන් ස්වාමීනි, ඔහු සමග කිසි ම ගැටලුවක් මගේ සේවාදායකයාට නෑ.”

“ස්වාමීනී, මේ සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙන අතර සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

පැමිණිල්ලේ නීතිඥවරයාගේ අදහස්

මෙහිදී පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මෙසේ පැවසීය.

“ස්වාමීනී, අතින් අල්ලන විදිය පැහැදිලිව පේනවා සීසිටීවී දර්ශනවලින්. පැමිණිලිකරු වන මාගේ සේවාදායකයා සිනමා විචාරකයෙක් ලේඛකයෙක් මෙන් ම මාධ්‍යවේදියෙක්. පැමිණිලිකරු විසින් අයිස් ක්‍රීම් කියන චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරයක් කරනවා. එම විචාරය කළාට පසුව සිටි ඔෆ් ඩ්‍රීම් එකේ සිනමා ඉවෙන්ට් එකකදී සැකකරු මාගේ සේවාදායකයාට පහර දීමක් සිදු කරනවා. මොවුන් එකට වැඩ කරන නිසා සහ අනිත් අයගේ ඉල්ලීම් මත මාගේ සේවාදායකයා නිශ්ශබ්දව ඉන්නවා.”

“ඊට පසුව ස්වාමීනි, මාරියා චිත්‍රපට විචාරයේදී මොහු සම්බන්ධයෙන් නොලියපු නිසා මගේ සේවාදායකයාගේ ඔළුවටත් බෙල්ලටත් පහර දෙනවා. ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පරීක්ෂා කළ හැකි යි. දවසක් ඔහු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවා ඉදිරියේදී ඔහුට පහර දීම සිදුකරන්නේ.”

“මේ පුද්ගලයා සම්බන්ධයෙන් විචාරය කරන්න එපා කීවා ම ඔහු සම්බන්ධයෙන් විචාරය කිරීම නැවැත්තුවා. පොලිසියට දින හතරක් එන්න කියනවා. නමුත් ඒ කිසි ම අවස්ථාවක සැකකරු පොලිසියට පැමිණෙන්නේ නැහැ. පොලිසියට සියලු ම සීසිටීවී දර්ශන ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාව තමන්ගේ අතට නීතිය අරගෙන කටයුතු කිරීමක්, ස්වාමීනි. මොහු මේ විදියට ක්‍රියා කරන පළමු අවස්ථාව මෙය නෙවේ. දිගින් දිගට ම මේ ආකාරයෙන් හැසිරෙනවා.”

පැමිණිලිකරු වන ලක්මිණ රණසිංහ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, ගීත්ම ප්‍රනාන්දු, අජිත් නන්දකුමාර ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර සැකකාර නළු හේමාල් රණසිංහ වෙනුවෙන් නීතිඥ ඉන්දික වේරගොඩ, ෆර්මිලා ඉර්ශඩීන් ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේ ය.

මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිත ය.

(උපුටාගැනීම – BBC සිංහල)

කියන ඕනෙ පරීක්ෂණයකට එන්නම් ඕනෙනම් පවුම් අනූව දාගත්ත බල්ලත් ගේන්නම්- නාමල් රාජපක්ෂ….

මට එන්න කියලා පහුගියකාලේ ගහපු පින්තූර ගැන හම්බවෙච්ච අය ගැන අහනවා.හැබැයි මම පැහැදිලිවම කිවුවා කන්ටේනර් දෙකක කුඩු තියනවා කියලා බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් ඒක පැන්නුවේ මම නෙමෙයි.එතකොට ආණ්ඩුවේ හිටියෙත් අපි නෙමෙයි, ඒ වගේම කන්ටේනර් 323ක් පැන්නුවෙත් අපේ ආණ්ඩුවෙන් නෙමෙයි මේ ආණ්ඩුවෙන්.මේ ආණ්ඩුවේ වැරදි වහගන්න අපිව ගෙනල්ලා ප්‍රශ්න කරලා වැඩක් නැහැ.ඉතින් මම මේ උසස්පෙල සම්මන්ත්‍රණයට ගියපුවා දේශපාලන පක්ෂ රැස්වීමකට ගියපු පිංතූරයක් පෙන්නලා මේ අහවලාද කියලා අහනවා යැයි නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අදදින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“එක කාරණයක් මම මතක් කරලා දුන්නා.අපේ ගමේ ප්‍රේමවතී මනම්පේරි කියන කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව.ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම ගරු අධිකරණයේ සදහන් කලා ඉහළ නිලධාරියා මොන උපදෙස දුන්නත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඒක වැරදිනම් ඒ වැරැද්ද ක්‍රියාත්මක කිරීම උපදේශයක් ලබා ක්‍රියාත්මක කිරීම යන එක නිදහසට කාරණයක් නෙමෙයි කියලා.ඒ හින්දා මේ නිලධාරිනුත් ඒ කාරණා මතක තියාගෙන වැඩ කළොත් හොදයි.සංවිධානාත්මක අපරාධ නවතින්න ඕන.මත්ද්‍රව්‍ය මේ රටේ නතර වෙන්න ඕන.හැබැයි සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කරන්නනම් ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් දෙකේ කුඩු තියනවා කියලා දැන දැනත් පන්නලා මේක විපක්ෂයේ අපෙන් අහනවනම් කන්ටේනර් 323ක් පන්නලා ඒකත් මගෙන් අහනවනම් ඉතින් මේ ආණ්ඩුව තව මොකටද.ආණ්ඩුවත් කියන්නේ ඔබේ නොහැකියාව වහගන්න අපිව මේකට ගෙනල්ලා වැඩක් වෙන්නේ නැහැ.අපි එනවා එන්න කියන ඕන වෙලාවක මම,අම්මා,තාත්තා,අර පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.හැබැයි ඔබ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න.මේවට ගෙනල්ලා බය කරලනම් අපේ කටවල් වහන්න බෑ.ඒ හින්දා කරුණාකරලා ගල් අඟුරු මගඩිය,පාසලේ 6 වසරේ දරුවන්ට මනස විකෘති කරන්න ආණ්ඩුව ගන්න උත්සහයන් වගේම උපාධිධාරින්ට රැකියා දෙනවා කියලා රවට්ටලා අද ගුරුවරු වෙන්න ඉන්න උපාධිධාරීන් සේරම පාරට ඇදලා දාලා දේශපාලනේ කරන්නෙ. අපි නම් මේවට කටවහගෙන ඉන්නේ නෑ.ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා ආණ්ඩුව ප්‍රසිද්ධ වෙනවා කියලනම් මම නෙමෙයි අපේ අම්මා නෙමෙයි කවුරු ගෙන්නුවත් ආණ්ඩුවට දෙන්න තියන උත්තරේ තමයි මේක.
ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය පොලිසිය පාවිච්චි කරලා කරනවා.හිර කූඩුවේ නාමල් රාජපක්ෂ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාගේ කතා ඇහුවම.ඒ අය කලින් කියලා තමයි මෙතෙන්ට එන්නේ.කවුද කෙදිරි ගාන්නේ කියලා ඔබතුමන්ලටම දැන් දැනගන්න පුලුවන්.අපි ජනතාව එක්ක දේශපාලන ගමන යනවා අණ්ඩුඅට අපිව සීඅයිඩී,එෆ්සීඅයිඩී ගෙන්නලා අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ.මේ රටේ ජනතාවට අපි වගකියන්න ඕන ජනතාවගේ වගකීම සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි පෙනී හිටිනවා.ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා පෙන්නලා අපේ කටවල් වහන්න ආණ්ඩුව ඔය 88 89 සෙල්ලම් තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා.
ආණ්ඩුව අපිව මෙහෙම ගෙන්වන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න.තවත් පැත්තකින් පොලිසියේ තියෙන කීර්තිනාමය නැති කරන්න.මොකද ඒ අයට 88 89 පොලිසිය එක්ක ප්‍රශ්නයක් තියනවා.මොකද පොලිසිය වැඩියෙන්ම ගහලා තියෙන්නේ ජෙවිපීකාරයන්ටනේ.ඉතින් ඒවා වහගන්න අද පොලිසියේ කීර්තිනාමය හානි කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා.
අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා.මම කිවුවනේ පින්තූර පෙන්නලා සාමාන්‍ය පෙල විභාග සම්මන්ත්‍රණ වාට ගියපුවා උසස් පෙළට ගියපුවා රැස්වීම් වලට ගියපුවා තරුණ සංවිධාන රැස්වීම් වලට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවට ඒකට දෙන්න ඕන උත්තරේ මම දුන්නා.හැබැයි ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන මොන ප්‍රශ්නේ ඇහුවත් මම අහපු ප්‍රශ්නෙට උත්තර නෑ.කවුද කුඩු කන්ටේනර් දෙක පැන්නුවේ කවුද කන්ටේනර් 323 පැන්නුවේ කෝ නුවරඑළියේ අයිස් ෆැක්ටරිය කවුද හෝමගමට මිද්දෙණියට අයිස් ගෙනල්ලා දැම්මේ.උත්තර නැත.හැබැයි මගෙන් අහනවා උත්තරේ, මම කොහොමද දන්නේ ආණ්ඩුව එයාලගෙනේ.
2029ට තව කල් තියනවනේ ඊට කලින් මේ අවුරුද්ද තුල ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන්න ඕන දේවල් ලබා දෙන්න ඕන.ඒ සඳහා අපි සටන් කරනවා.

අදත් මම කියනවා හෙටත් මම කියනවා අපේ අත්වල ලේ නෑ අපි වැරදි කරලා නෑ.අපි අදට අධිකරණය පද්ධතිය විශ්වාස කරනවා.ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන ග්‍රහණයට ලක්කර ගන්න.ඒක බැලූ බැල්මට පේනවා.හැබැයි අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරනවා කියලා.අපි අභියෝග කරනවා ආණ්ඩුව කියපු උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේන්න.ආණ්ඩුව කියපු ලැම්බොගිනි 16 ගේන්න.ආණ්ඩුව පොරොන්දු වෙච්ච බකිංහැම් මාලිගාව ගේන්න.මහා පරිමාණ තියන කෝටිගාණක දේපල රාජසන්තක කරන්න කියන එක අපි කියනවා.

කෙහෙළියගේ ඥාති සහෝදරයෙකු වූ බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල මහතාගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධි කරන චෝදනා මතය.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ….

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාර හිමිවරු කියාසිටියේ, වෙරළ සංරක්ෂණ පනත යටතේ තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවය.

එසේ තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණි.

කිසිදු මොඩියුලයක් ඉවත් කරගෙන නෑ-අගමැති හරිනි…..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ‍සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඇය පෙන්වාදෙන්නේ එම ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

“6 වසරේ පළවෙනි වාරයේ මොඩියුල තමා ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒවයින් සියල්ලම ප්‍රතික්ෂේප කරලත් නෑ. අයින් කරලත් නෑ. අපි 6 වසර 2027 ක්‍රියාත්මක කරන්න යෝජිතයි.  2027 ක්‍රියාත්මක කරනකොට ඒවා භාවිතා කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ අයින් කරලවත්, පාඩුවක් වෙන විදියට කිසිම තීරණයක් අරන් නෑ”

“6 ‍ශ්‍රේණියේ පෙළ පොත් අපි මේ වෙනකොට ප්‍රින්ට් කරලා ගබඩාවල තියෙන ඒවා බෙදන්න පටන් අරගෙන තියෙනවා. පෙබරවාරි මාසේ මැද වෙනකොට සියලුම පෙළපොත් අපි බෙදන්න සූදානම් කරලා තියෙනවා. ගුරුවරුන් උගන්වන වැඩේ ආරම්භ කරලා තියෙනවා. පරණ සිලබස් එක නිසා ඒවා උගන්වන්න හැකියාව තියෙනවා ගුරුවරුන්ට”

2026 ජනවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්……

2026 ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් අනාවරණය කර ඇත.

එය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයින් සංඛ්‍යාව ලෙස වාර්තා වන බවද එම අධිකාරිය සඳහන් කරයි.

2025 වසරේ ජනවාරි මාසය සමඟ සංසන්දනය කිරීමේදී මෙවර සංචාරක පැමිණීම සීයට 10කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන බවද දත්ත වාර්තාවල සඳහන් වේ.

ගත වූ ජනවාරි මාසය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින සිදුව ඇති අතර, එදින සංචාරකයින් 10,483ක් මෙරටට පැමිණ ඇත.

එම කාලය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇති අතර, එරටින් සංචාරකයින් 52,061ක් පැමිණ ඇත.

එසේම එක්සත් රාජධානියෙන් 29,540ක්, රුසියාවෙන් 27,134ක් සහ ජර්මනියෙන් 17,776ක් ලෙස සංචාරකයින් විශාල පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට දුන් තීන්දුව…..

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ධම්මික ගනේපොල ,මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

කෙසේවෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව විනිසුරු මඩුල්ල පැවසීය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ ජේසුරාජ් ගනේෂන් යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියාසිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීමේ චෝදනා එල්ල කරමින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු වග උත්තරකරුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 2022 වසරේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ඉදිරිපත් කළ නිගමන පදනම් කරගෙන මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියි.

එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්වූ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කර තිබෙන බවත් ඔහු චෝදනා කරය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිගමන සාක්ෂි වශයෙන් සැලකිය නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒවා පදනම් කරගෙන මෙම පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට මහෙස්ත්‍රාත්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේය.

ඒ අනුව තමන්ට එරෙහිව වග උත්තරකරුවන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව සිතාසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගැන PAFFREL සංවිධානයෙන් දැනුම්දීමක්….

2026 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින පැෆ්රල් සංවිධානය දැනුම් දෙයි.

2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු පෙබරවාරි 01 දා සිට ආරම්භ වී ඇත.

පෙර වර්ෂවල මෙන්ම මෙවරද ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් සෑම ගෘහයකටම යාම සිදුනොකරන අතර 2026 ඡන්දහිමි නාමලේඛන කෙටුම්පතට සංශෝධන ඇත්නම් පමණක් ග්‍රාම නිලධාරී විමසීමට කටයුතු කරන්න දැනුම් දී තිබේ.

එහිදී 2025.02.01 දින සිට 2027.01.31 දින දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන යොවුන් පුරවැසියන් ග්‍රාම නිලධාරීවරයා හමුවී YC ආකෘතිය සම්පූර්ණ කර බාරදීමෙන් පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කර ගත හැකිය.

ඊට අමතරව පෙර වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ඇතුළත් නොවූ තැනැත්තෙකුගේ නමක් 2026 ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවී ER ආකෘතිය සම්පූර්ණ කර බාරදීමේ හැකියාව පවතී.

එමෙන්ම www.elections.gov.lk  වෙබ් අඩවියට පිවීසීමෙන්ද වැඩි විස්තර ලබාගත හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක්‍රියාත්මක කල හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්යය අවශ්‍යතාවයක් බව අවධාරණය කරයි.

ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් ද වේ.

ඡන්දයක් ආසන්නයේ මැසිවිලි නැගීමෙන් පලක් නොවන අතර කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පැෆ්රල් සංවිධානය දැනුම්වත් කරයි.

මෙවර ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනයේ තේමාව වන්නේ “ඩිජිටල් සහභාගීත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු යන්නයි.”